ලොවට සෙත සදන බුදුදහම හා ආයුර්වේදය

ජූලි 15, 2022
  • කරුණා සීතල හදයං
  • පඤ්ඤා පජ්ජෝත විහත මොහතමං
  • සනරාමර ලො ක ගරුං
  • වන්දේ සුගතං ගති විමුත්තං

සකල ජන මන ආනන්ද කරවූ කරුණාවෙන් තෙත් වූ හදවතක් ඇති ප්‍රඥාවෙන් ප්‍රභාමත්වූ අප බුදුරජාණන් වහන්සේ ලොව ඇති තාක් විෂයන් මනාව දැනගෙන සත්වයාට දේශනා කළ සේක. එම උතුම් විශ්ව ධර්මයන් ආයුර්වේදයන් සත්ව සන්තතියේ පැවැත්මට අදාළව සිදුවූ සේවය සිතා. කියා ලියා නිමකළ නොහැක. එම විෂය ධාරා ප්‍රවාහය ගලාගොස් බිහිවූ අතිශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් තුළින් කෝටිසංඛ්‍යාත මහා රහතන් වහන්සේලා, ඉසිවරු, මුනිවරු තාපසයෝ. විශේෂඥ වෛද්‍යවරු, පහළ වූහ. ලියන ලද ලිපි, ලේඛන, ග්‍රන්ථ ගද්‍ය, පද්‍ය නාට්‍ය ගීත ප්‍රබන්ධ සංඛ්‍යාත්මක වශයෙන් ප්‍රමාණය කරන්නට නොහැක.

පාලි, සංස්කෘත, සිංහල, චීන ටිබැට් ආදි විවිධ භාෂාමාධ්‍ය වලින් ලියා ඇති බුද්ධාගම හා ආයුර්වේදය එකම පරිසරයක උපන් පරිසරයම ප්‍රධාන කරගත් විෂය දෙකකි.

භාරතයේ ගංගාධාර ශිෂ්ඨාචාරයට වසර හත්දාහක පමණ කාල පරිච්ඡේදයක් හිමිවන බව ආයුර්වේද සාහිත්‍යයෙන් ප්‍රකට වන්නේය. මානව පරපුරේ ආයු කාලය කලින් කලට වෙනස් වන්නේය. වර්තමාන කාලයේ ජීවිත කාලය එකසිය විස්සකට සම්මත වුවද වසර සීයක් ජීවත්වන අය සොයාගැනීම ඉතා දුෂ්කරය. සසර ගමනේදී සතුන්ට අභය දානාදී පින්කම් කළ අයට ජීවනාධාර පරිසරය සකස් වේ.

ආයුෂ පැවැත්මට අදාළව පරිසරය සකස් කිරීම ආයුර්වේදයේ පරමාර්ථයයි. ආයුර්වේදය ප්‍රධාන කාරණා තුනකින් සමන්විතය.

01.රෝග නිදානය දැනීම 2. රෝගයට යෝග්‍ය පිළියම් 03. රෝග සමනය කෙනකුට රෝගය වැළඳුනවිට එයට පිළියම් යෙදීමට ප්‍රථමයෙන් එයට නිදානය දැනගත යුතු වන්නේය.

පූර්ව අකුසල කර්ම, අපවිත්‍ර පරිසරය, සාවද්‍ය ශරීර පරිහරනය පුද්ගලාන්තර එදිරිවාදකම්, නිසා ඇතිවන ශාරීරික හා මානසික රෝගාබාධවලට ආයුර්වේදයේ මෙන්ම බුදු දහමේද ශාස්ත්‍රීය වෙද හෙදකම් දක්නට පුළුවන.

ඉසිවරයින් විසින් සංහිතා කරන ලද ආයුර්වේදය ඥාණ කර්ම දෙකම පදනම් කරගෙන ක්‍රමයෙන් දියුණු විය.

මනෝවිඥාණය හා ද්‍රව්‍ය විඥාණය හඳුනා ගැනීමේදි ආයුර්වේද විද්‍යාවත් මහායාන දර්ශනයත් සමාන්තරව ගමන් කරන්නේය. භාරත ඉතිහාසය මෙතරම් ප්‍රභාමත් වුයේ ආයුර්වේදයේ හා බෞද්ධ දර්ශනයේ විද්‍යමානවන ආකර්ෂණය නිසාය.

බුදුදහමේ දර්ශන අංශය ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කළ අශ්වඝෝෂ, වඝ්‍රභණ්ධු, නාගාර්ජුන ආදි මහායාන පැවිදි පඬිවරුන් ආයුර්වේද වෛද්‍ය විශේෂඥයන් වශයෙන් කළ සේවය අපමණය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ සනීපාරක්ෂාව සඳහා ඖෂධ, දිනචාරියා ආදී සියලු කරුණු ප්‍රඥප්ති වශයෙන් දේශනා කළ වග විනය පිටකයේ දැක්වෙන්නේය.

බුද්ධාගම නිසා ආයුර්වේදයත් ආයුර්වේදය නිසා බුද්ධාගමත් අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධව දියුණුවිය. ආසියාතික විවිධ ජාතීන් එකම ශිෂ්ඨාචාරයක් යටතේ සමඟි සම්පන්නව, නීරෝගී සම්පන්නව, ප්‍රෞඪත්වයෙන් උසස් තම තලයේ විරාජමානවූයේ මේ විෂයන් දෙකින් ලද ඥාණශක්තිය නිසාය.

විනය පිටකය විශාල වශයෙන් පුළුල් වූයේ භික්ෂූන් වහන්සේලාගේ ආචාර සමාචාර පැවතුමෙන් ඉන්ද්‍රිය සංවරය හා ප්‍රතිභා ශක්තිය දියුණු කරගැනීමටය. ශාරිරික යෝග්‍යතාවය හා මානසික සංවර්ධනය සාපේක්ෂකව විනය නීතිරීති පැන වූ වග පැහැදිලි වන්නේය.

අප බුදුරජාණන් වහන්සේ විසින් අනුදත් ආහාර හා භාවිතය නවීන විද්‍යාත්මක ලෝකයට ඉතාමත් යෝග්‍ය වන අතර එයින් විවිධ රෝගාබාධ වේදනා සමනය කරගැනීමට මූලිකව හැකිවන්නේය. රෝගාබාධ වේදනා ඇතිවූ පසු පසුතැවිලි වීමට වඩා ඒවා ඇතිවීමේ හේතු දැනගෙන පිළියම් යෙදීම ප්‍රඥාගෝචර වන්නේය. විශේෂයෙන් අල්පේච්ඡ ජීවනයකට හුරුපුරුදු වන ශ්‍රමණ ජීවිතය සෙසු ආගමික පූජ්‍ය පක්ෂයට පරමාදර්ශයකි.

කාල වශයෙන් පුද්ගල වශයෙන් ආහාරපාන වෙන්කරගෙන එය සමාජයට හා තමන්ට බරක් නොවන ලෙස උපයා සපයා ගැනීමටත් බෙදාහදාගෙන පරිභෝජනය කිරීමටත් ශික්ෂා පද පනවා ඇත. මේනිසා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රමණ භාවයෙන් උසස් වූහ.

බුද්ධ කාලීන ජන සමාජය පූර්ව කාලීන දේව විඥානයට වඩා පරියේෂණාත්මක තීරණ ගැනීමේ කුසලතාවෙන් උසස් තලයට පත්වූයේ අප බුදුරදුන්ගේ දාර්ශනික චින්තාව සමාජ ප්‍රගතියට සාර්ව ප්‍රකාරයෙන්ම භාව්‍යාත්මක වූ නිසාමය. මහාවග්ග පාලියෙහි දැක්වෙන සෞඛ්‍ය විෂයන් අනුව බුද්ධ කාලීන වෛද්‍ය කර්ම ඉතා ආශ්චර්යමත් විෂයක් ලෙස රාජකීයයන් හා මහජනතාව අතරද සම්භාවනාවට පාත්‍රවීය.

භාරතීය රාජපරම්පරා අතර මෞර්ය යුගය ඉතිහාසගතව ඇත්තේ එකල පැවති වෛද්‍ය පහසුකම් හා බෞද්ධ දර්ශනය නිසාය. එකල පැවති උසස් අධ්‍යාපනයත්, වෛද්‍ය සායනයත් ලෝකයේ කිසිම රටක තිබී නැත.

අශෝක රජතුමා ථේරවාදී බුදු දහමත්, ආයුර්වේද වෛද්‍ය ශාස්තරයක් එවකට ශිෂ්ඨ සම්පන්න සෑම ජාතියක්ම රටකටම ධර්මදූතයෝ මඟින් හඳුන්වා දුන්හ. ආරෝග්‍ය ශාලා සේවය රාජ්‍ය පාලනයේ අත්‍යාවශ්‍ය විෂයක් ලෙස අශෝක රජතුමන් කළ සේවය අපමණය. ඔසු උයන් රෝපණය, වෛද්‍යවරුන්ට වැටුප් දීම, පසු වෛද්‍ය අංශය රෝගී ජනතාවට ආහර පානාදිය දීම, උසස් ලෙසම ඉෂ්ට සිද්ධ කළහ. කණිෂ්ක රජතුමාද මහායාන බුදුදහමත් ආයුර්වේදය හා ධාර්මික රාජ්‍ය පාලනයත් මහෝපකාරී කරගෙන ජනතා සේවය ඉෂ්ඨ සිද්ධ කළේය.

වෛද්‍ය විශේෂඥ භිෂක් රාජ චරක, ඉසිවරයාගේ උපදෙස් අනුව කණිෂ්ක රජතුමා වෛද්‍ය ශාස්ත්‍රයත් තර්ක ශාස්ත්‍රයත් ඉගෙන ගෙන කණිෂ්ක රාජ්‍යයේ පමණක් නොව චීන ටිබැට් ජපන් මොන්ගෝලියන් ආදි රාජ්‍ය වලද එම ශිෂ්ඨාචාරය ව්‍යාප්ත කළේය.

මධ්‍යම ආසියාවේ චීන දේශසීමාවේ “කෂ්ගර්” නම් ප්‍රදේශයේ චෛත්‍යයක නටබුන් අතර ඉතා ගැඹුරු සංස්කෘත භාෂාවෙන් ලියන ලද ආයුර්වේද වෛද්‍ය ග්‍රනථ හතරක් හමුවී ඇත. එකල පාලි භාෂාවෙන් ලියනලද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ හතරක් හමුවී ඇත. එකල පාලි භාෂාවෙන් ථේරවාදී බුද්ධාගමත් සංස්කෘත භාෂාවෙන් මහායාන ධර්මයත්, ආයුර්වේදයත් දියුණුවීමෙන් ජනතා අපේක්ෂා සඵල විය.

ශාස්ත්‍රවේදි රාජකීය පණ්ඩිත

අමුණුපුර

පියරතන නාහිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.