කුවේණියගේ සාපයෙන් උපන් දිවිදෝෂය

ජූලි 8, 2022

කුවේණිය කපු කටින තවුසියක සේ වෙස්ගෙන රුක් මුලක කපු කටිමින් විජය හමුවීමේ අපේක්ෂාවෙන් සිටියා. විජයගේ පිරිස උගුලක සිරකළ ඇය, පිරිස සොයා විජය එන බව ඇය දන්නවා. එපරිදිම ආ විජය, කුවේණිය දැක

“මගේ පිරිස දැක්කද?”

“ පිරිස මොකටද? පොකුණෙන් නාගන්න” විජය කෝපාවිෂ්ට විය. කුවේණියගේ කෙස්වැටිය වමතින් ගෙන දකුණතින් කඩුව අමෝරාගෙන

“ වාහාම මගේ පිරිස දෙව. නැතහොත් තී මෙතනම මරමි.” බියට පත් යකිනිය, වෙව්ලමින්

“එපා එපා මා මරන්න එපා. මම මේ රටේ රාජ්‍යය දෙන්නම්.”

ඇයට අභයදානය ලැබිණ. විජයට ඇය මිනිසුන් පෙන්වීය.

සොළොස් හැවිරිදි යුවතියකගේ රූසිරිගත් ඇය රුක් මුලෙක අලංකාර යහනක් මවා පෑය. විජය අනාගතය බලමින් ඇය සමඟ යහනෙහි හොත්තේ ය.

ඒ රාත්‍රියේ විජයට නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් යුතු මහා උත්සවයක් පිළිබඳව දැනේ. “උඹ දැන ගනින් මට විශාල පිරිසක් ඉන්නවා. ඔය ඔක්කොම මරල දාන්න පුළුවන්. හරි අද ඔක්කොම යක්ෂ ප්‍රධානින් ඉන්නවනෙ. නියම දවස අද. මොකද කියන්නේ. උඹ උදව් කරනවද? උදව් කළොත් කෙළින්ම උඹ මේ රටේ අගබිසව නොකොළොත් ඒ උඹේ මරණය.”

කඩුව ගත්තා අතට. කුවේණි බියවුණා. “එපා මං මරන්න. මම උදව් කරන්නම්” කී විධියටම කුවේණිය උදව් කළා. විජය යක්ෂ නායකයන් විශාල පිරිසක් මැරුවා. විජය රජ වුණා. කුවේණිය බිසව වුණා. ඔවුනට පුතෙකුද දුවක ද වූ අතර තම්මැන්නා නුවර වාසය කළා. අමතිවරුද ගම් ජනපද සකස් කර ගනිමින් විසුවා.

ඇමතිවරු විජය රජුට රාජ්‍යයෙහි අභිෂේක කරන සේ කීවා. විජය ආර්ය ගෝත්‍රික රජකෙනෙක්. එහෙයින් ආර්ය ගෝත්‍රික රාජ වංශික කුමාරිකාවත් මෙහෙසිය වශයෙන් නොමැති නම් අභිෂේකය සිද්ධ කළ නොහැකි බව අදහස වුණා. මේ නිසා ඉන්දියාවේ පඬි රජුගේ දියණිය ගෙන්වා විජය රජ රාජ්‍යත්වයෙහි අභිෂේක කළා. පඬි රජුගේ දියණිය අග බිසොව ලෙස අභිෂේක කළා.

තම ස්වාමියා අන්‍ය ස්ත්‍රියක විවාහ කර ගෙනය. කුවේණිය කුමක් කරන්නද? දරුවන් දෙදෙනා තබා ඇයට යන ලෙස විජය රජ කීය. කෙතෙක් ඇවිටිලි කළත් පලක් නොවීය. දරුවන් ද රැගෙන තම්මැන්නාවෙන් පිටවූවාය. යන එන තැනක් පිළිසරණක් නැත. තම ඥාතීන් විනාශ කළ විපාය පල දෙන්නට විය. විජය රජුට සාප කළා ය. ඔහුට පමණක් නොව තමන්ට අසාධාරණය සිද්ධ කළ ආර්ය ගෝත්‍රයටම වෛර කළා ය. පළිගන්නා බවට දිව්රුවා ය. ලංකාපුරයට ගිය කුවේණිය එක් රෞද්‍ර යක්ෂයකුගේ අතුල් පහරකින් මිය ගියා ය. දරුවෝ පණ බේරාගෙන වනගත වූහ. විජය රජ කුවේණියටයි දරු දෙන්නටයි කළ දේ ගැන කල්පනා කළා. දුක් වුණා. කලක් ගියා. විජය රජු මළා.

කුවේණිය විජය රජුගෙන් පළි ගන්නම උත්සුක වූවා ය. කුවේණිය එළවා පඬිරටින් ආ කුමරිය අග බිසොව කොට රජ ඔටුනු දරා උන් කල්හි දිවි වෙස් ගෙන විජය රජ මැරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

රජකමට තමාගෙන් පසු සුදුස්සෙක් නොවූ නිසා තම සොහොයුරු සුමිත්ත ගෙන්වා ගැනීමට විජය රජ හසුන්පත් යැවූ අතර, ඒ වන විට සුමිත්ත සිංහ පුර රාජ්‍යත්වය ඉසිලු හෙයින් සුමිත්ත රජ තම බාලපුත් පණ්ඩුවාස දේවයන් මෙරට රජකමට එවීය. පණ්ඩුවාස දේව රජතුමා විජය රජතුමාගෙන් පසු මේ රටේ පාලකයා වුණා.

පණ්ඩුවාස දේව රජතුමා රජ වී කෙටි කාලයක් තුළ දී මහා අකරතැබ්බයක් සිදුවිය.

රජතුමා නිදාගෙන සිටින විට ගිනිබෝල දෙකක් වගේ දිලෙසෙන ඇස් දෙකක් යකඩ උල්වගේ දත්, වීදුරු කඩුවක් වගේ දිවක්, දෑකැති වගේ නියපොතු ඇති මහා දැවැන්ත දිවියෙක් රජතුමාගේ ඇඟට පැනල රජතුමාගේ මුහුණ විකන්න ඇඟ කීතු කීතුවලට ඉරන්න හදල.රජතුමාගෙ මුළු ඇඟම දාඩියෙන් තෙමිල. බයේ ගැහෙනව ඇඟ වෙවුලනව. භය බිරාන්ත වෙලා කෑ මොරදීගෙන නැගිට්ටා. මුළු මාලිගාවම කලබල වුණා. මහ රෑ හැමෝම නැගිටල රජතුමා දිහා බලාගෙන තුෂ්ණිම්භූත වෙලා.

“අනේ රජතුමනි. අනේ දේවයිනි. මොකද වුණේ. පවසන්න. පවසන්න. ඇයි මේ මොකද? මොකද?” රජතුමාට කතා කරගන්නවත් බෑ හරියට ගොත ගහනව දිව පටලැවිල වෙවුල වෙවුල ගොත ගහන මහ රෑ තමන් මුහුණ පෑ සිද්ධිය කොහොම හරි කීවා. හැමෝම ඒකෙ භයානක බව දැනිල බයෙන් වගේ. කට ඇරගෙන පුදුම වෙල හපොයි හපොයි ඔය අතර සමහරු රජතුමාට කියනව.

“මහ රජතුමනි බිය වන්න කාරණාවක් නෑ. ඕක ගණන් ගන්න එපා. හීනයක් නෙ. එහෙම හිතන්න.”

“හීනයක්..... හීනයක් වුනත් නැතත් ඒක නම් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් වගෙ. ඒක මතක් වෙන කොටත් භයානකයි. ඇඟ ගැහෙනව. මේ බලන්න.” පණ්ඩුවාස දේව රජතුමා සිද්ධිය අමතක කරන්න මොන තරම් උත්සාහ ගත්තත් හරිම අමාරුයි. අර දිවියා මැවී පේනව. අගේ ඇස්, දත්, දිව, නිය ඔය ආදියේ භයංකාරත්වය කොහොම අමතක වෙනවද? ඒ නපුරු දිවියා ඇඟට පැන්න හැටි. කීතු කීතුවලට ඉරන්න හැදූ හැටි. නිදා ගන්න බැහැ. ඇස් පියාගෙන එනකොට මගෙ අම්මෝ කියල බය වෙලා නැගිටිනව. නින්දක් නෑ. කන්නත් බෑ. රජතුමා හොඳටම කෙට්ටු වුණා දුර්වල වුණා. රටේම ඉන්න දක්ෂ වෙද්දු ගෙන්වල පිළියම් කළා. හරිගියේ නෑ.

දක්ෂ සාස්තරකාරයකු ගෙන්නල වුණේ මොකද්ද කියල දැන ගන්න ඇමැති මණ්ඩලය තීරණය කළා. ඒ විධියට සාස්තරකාරයා ගෙන්නුවා. ඇමැතිවරු රජතුමාට වෙච්ච දේ මොකද්ද රජතුමා සනීප කරගන්න පුළුවන්ද කියල සාස්තර කාරයාගෙන් ඇහුවා.

“ඔබලගේ රජතුමාට වැලඳිල තියෙන දිවි දෝසය මගේ සාස්තර ඥානයෙන් මම හොඳට බැලුවා. ඒක වරදින්නෙ නැහැ. දිවි දෝසෙ, දිවි දෝසෙ”.

“දිවි දෝසෙ දිවිදෝසේ. ඒ මොකක්ද අනේ අපි ඇහුවෙත් අදයි නෙ කියන්න දිවිදෝසෙ මොකද්ද කියල”

“ඇමතිවරුනි, දිවි දෝසේ කියන්නෙ කෙනෙක් පළිගන්න කරපු භයානක සාපයක්. වෛරයෙන් ක්‍රෝධයෙන් කළ සාපයක්”

“කවුද අපේ රජතුමාට මේ වගෙ සාපයක් කරන්නෙ”

“ගැහැනියක් කරපු සාපයක් අති භයානකයි”

ඇමැති මණ්ඩලයට හරි කුතුහලයක්. කවුද මේ නපුරු ගැහැනිය. එක එක්කෙනා එක එක්කෙනාගෙ මුහුණ බලලම මහ ඇමැති කියනව“ හ්ම් හරි හරි මට දන්නව කවුද මේ ගැහැනි කියල” ඔලුව වන වනා මෙහෙම කියන්න කොට හැමෝම අහනව කවුද කවුද ඒ ගෑනි කියල.

“කුවේණි, කුවේණි ඇයි ඔබලාට මතක නැද්ද වෙච්ච දේ.”

හරියට හරි මහ ඇමැතිතුමනි. අපිත් හිතුව කුවේණි තමයි කියල.

“විජය රජ්ජුරුවො දුන් පොරොන්දු බිඳල, තමනුයි දරුවන්ගේ පිටම කරල කළ දේට පළිගන්න සාප කළා. මොන ගෑනි වුණත් එහෙමයි. ඒ වගෙ වරදකම නිකම් ඉන්නෙ නෑ. දරුණු සාප කරනව“

“ඒ සාපය විජය රජ්ජුරුවනට වැදුණෙ නැහැ. දැන් අපේ රජ්ජුරුවන්ට වැදිල. ඇමැතිවරු සාස්තරකරුගෙන් අනතුරුව මේක අපේ රජතුමාටට පමණක් නෙවි මුළු ආර්යගෝත්‍රයටම වැදේවිද. අනේ අපේ රජ්ජුරුවො සනීප කරගන්නෙ කොහොමද? මේ සාපයෙන් මිදෙන්න මොනවද කරන්න ඕන. අනේ අපට කියන්න කියන්න. උපදෙස් දෙන්න.” සාස්තරකාරය වටා තමන්ගේ ශාස්ත්‍රඥානය උපයෝගි කරගෙන බැලුවා.

“ඇමැතිවරුනි, ඕක පුදුම මහා බලගතු සාපයක්. නිට්ඨාවටම මේ සාපය ඉවත් කර නොගත්තොත් තත්ත්වය අති භයානකයි. මේකෙන් ගැලවෙන්න නම් විශාල යාගයක්. ශාන්තිකර්මයක් කළ යුතුමයි. ඒක මනුෂ්‍යයන්ට බෑ. ඒ කිව්වෙ මවුකුසෙන් බිහි වෙච්ච කෙනෙකුට බෑ. දෙවියන්ට පමණයි පුළුවන්.”

 

 

 

කලා භූෂණ, ශාසනදීපන සාහිත්‍ය කීර්ති ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.