මේෂ ලග්න හිමි කාන්තාව

ජුනි 17, 2022

හත්වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර ඇතැම් විට හදිසි අනතුරුවලින් මරණය පවා සිදුකරයි.

අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ ඒ ලග්නවලට අනුව කාන්තාවන් සතුව පිහිටන පලාපල විස්තරයක් ඔබවෙත ගෙන ඒමටයි.

ඔබ කාන්තාවක් නම්, ඔබේ කේන්දරයට අනුව මෙම කරුණු කොතෙක් දුරට ගැළපේදැයි නිවැරදිව පරීක්ෂා කර බලන්න. එමෙන්ම මෙය කියවන ඔබ, පෙම්වතෙක්, ස්වාමිපුරුෂයෙක්ද? එසේ නම් විවාහවීමට අපේක්ෂා කරන පෙම්වතියගේ, සහකාරියගේ ගතිගුණ පිළිබඳ, සුබ අසුබ තත්ත්වයන්, දියුණුව පිරිහීම ආදිය පිළිබඳ ඇය උපන් ලග්නය හා නවාංශකය අනුව සියුම්ව පරීක්ෂා කර ගත හැකියි.

රාශි චක්‍රයේ පළමු වැන්න වූ මේෂ ලග්නය පිළිබඳව කතා කිරීමේදී මේෂ යන වචනයේ තේරුම එළුවා යන්නයි. එළුවාට ඕනෑම දුෂ්කර තැනකට වුවද ළංවිය හැකි සතකු බැවින්, එම ලග්න හිමියන් ද එබඳු ආත්ම ධෛර්යයෙන් යුතුව කටයුතු කරන අය වෙයි.

මේෂ ලග්නයට අධිපති ග්‍රහයා අඟහරුයි. මේෂය රවිගේ උච්ච රාශිය වන අතර, රවි ගුරු දෙදෙනා මේෂ ලග්නයට ශුභ ඵල උදාකරදෙන ග්‍රහයෝ ය. මේෂ ලග්නයට 10 අධිපති ගුරු හා 09 අධිපති සෙනසුරු, ධර්ම කර්මාධිපති යෝගය උදා කරයි. 8 අධිපති කුජ දෙක හා 7 අධිපති සිකුරු සංයෝගයත් අහිතකරයි.

මේෂ ලග්නයෙන් උපන් අය නවාංශකය අනුව වර්ග තුනකට බෙදේ. මේෂයේ සිට ධනු දක්වා ලග්න නවාංශක වශයෙන් අයත් වන අතර, මේෂ, වෘෂභ, මිථුන පළමුවැනි නවාංශකයටත්, කටක, සිංහ, කන්‍යා දෙවැනි නවාංශකයටත් තුලා, වෘශ්චික, ධනු තුන්වැනි නවාංශකයටත් අයත් වේ. පළමු වැනි නවාංශකය, ලග්නය වශයෙන්, දෙවැනි නවාංශකය ලග්නයෙන් පස් වැන්නද, තුන්වැනි නවාංශකය ලග්නයෙන් නව වැන්න වශයෙන්ද ගණන් ගැනේ.

මේෂ ලග්නය හිමි කාන්තාවන්ගේ චරිත ලක්ෂණ ගතිගුණ, බැලුවහොත් උද්‍යෝගිමත්, කඩිසර, ඉදිරියට යන ගති ඇති, සටනට පි‍්‍රය අය වෙති. සුළු දේවල්වලට පවා සටන් කිරීම පෙළඹෙයි.

ස්ත්‍රී කේන්දරය පරීක්ෂා කිරීමේ දී සඳු, ගුරු, සිකුරු හා කුජ යන ඥානයන් බලවත්ව සිටීම ඉතාම යහපත්ය. මේෂ ලග්නයෙන් හා මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයන්ගෙන් උපන් අය ගැන පළමුව අවධානය යොමු කරමු.

එම අය සතු උසස් ගුණාංග මෙන්ම කැපී පෙනෙන දුර්වලකම් ද ඇත. ආත්ම විශ්වාසය, ධෛර්යය හා ශක්තිය ද අඩුය. නායකත්වය හා පාලන බලය අතට පැමිණියත් ක්‍රියා කිරීමේ හැකියාව අඩු ය.

නිතර ශරීරයේ උෂ්ණ ගතියක් බලපවත්වන අතර හදිසි අනතුරු, ගින්දර, විදුලිය වැනි දෙයින්, පීඩා ඇතිවීමේ අවධානය වැඩිය. අකුණු සැර ආදියට ද ගොදුරුවිය හැකිය. විදේශ ගමන් යෙදුණත් ඒවායින් ප්‍රතිඵල අඩුය. මේ අයගේ ලග්න කේන්දරයේ තුන්වැන්නේ කුජ සිටීනම් ඒ අය පවුලේ බාලයා විය හැකිය නැතහොත් බාල සහෝදරියක් සිටීමට ඉඩ ඇති අතර බාල සහෝදරයෙක් සිටිය නොහැකිය.

හත්වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර ඇතැම් විට හදිසි අනතුරුවලින් මරණය පවා සිදුකරයි. හත් වැන්නේ කුජට ගුරුගේ සුබ දෘෂ්ටියක් ලැබීමෙන් ස්වාමිපුරුෂයාට මරණය සිදු නොකළත් ඔහු රෝගියෙක් කරවීමට හෝ දික්කසාදයකින් විවාහය කෙළවරවීමට හෝ හේතු ඇති කරයි.

තම කේන්දරයේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක කුජ සිටීනම් එය ඉතාම අශුභ පිහිටීමකි. විවාහය ප්‍රමාදවීමට හෝ අඬදබර මැද යුගදිවිය ගෙනයාමට සිදුවනු ඇත. කුජගේ මහ දශා අතුරු දශා ස්වාමියාට මරණය ගෙන දෙයි. නැතිනම් හදිසි අනතුරුවලටත්, බරපතල තුවාලවලටත් ලක්වනු ඇත. මේෂ ලග්නයෙන් ඉපදී මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයට අයත් වීම නිසා ලග්නයෙන් අටවැන්න වූ වෘශ්චික රාශිය කුජට අයත්වීමෙන් විසිදෙවැනි (22) දෙර්කාණාධිපති තත්ත්වය ලැබීම මෙයට හේතු වනු ඇත.

සතියේ දිනවලින් අඟහරුවාදා දින අයහපත් වන අතර, සුබපල උදාකරන රවි හා ගුරු මහ දශා අතුරු දශා කාලයත් ඉරිදා හා බ්‍රහස්පතින්දා දිනත් සුබපල උදාකර දෙනු ඇත. මෙවැනි අයගේ ලග්නයෙන් 10 වැන්නේ හෝ 11 වැන්නේ කුජ සිටීම ඉතා යහපත්ය. කුජට වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටේනම් තව තවත් එම බලය දියුණු කරයි. විශාල ධනවතෙක් වීමට වුවත් එම යෝග හේතු වේ. ව්‍යාපාරික හෝ උසස් රැකියාවක් හිමි වී විශාල වශයෙන් ආදායම් ලැබීමට ද එම යෝගය හේතු ඇති කරයි.

ගුරු හත් වැන්නේ නොසිට කුජ දහ වැන්නේ හෝ 11 වැන්නේ සිටීනම් විවාහ ජීවිතය ද ඉතාම සාර්ථකයි. ස්වාමියා ද උසස් ධනවතකු කරයි. කුජ මහ දශා අතුරු දශාවලදී අවිවාහක අයට සාර්ථක විවාහයක් සිදුවේ. ගේ දොර ඉඩකඩම් යානවාහන පවා ලැබෙනු ඇත. භාග්‍යස්ථාන අධිපතියා වුවත් ගුරු මහ දශාව එතරම් සුබ ඵල ඇති නොකරයි. සතියේ දිනවලින් බ්‍රහස්පතින්දා දිනය අසුබය. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල කටයුතු ස්ථිර කර ගැනීම, පෙර ගමන් යාම, විවාහය සිදුකිරීම ආදී කටයුතුවලදී බ්‍රහස්පතින්දා දිනය තෝරා ගැනීම යහපත් නොවේ.

තුලා, වෘශ්චික හෝ ධනු නවාංශකයකින් උපන් අයගේ ගතිගුණ හා ක්‍රියාකාරීත්වය ඉහත සඳහන් කොටස් දෙකට වෙනස්ය. කඩිසරබව, අභිමානවත්බව, තේජවන්ත පෙනුම ඇති කැපී පෙනෙන අයවනු ඇත. මවට වඩා පියාට ඇලුම් කරයි. පියාගේ දේපොළ වස්තුව ලැබීමේ වාසනාව ඇත.

උපතේ දී සඳු 6, 8, 12 ස්ථානයක සිටියොත් මවට තදබල අපල ඇති කරයි. මෙම අයගේ විවාහය ප්‍රමාද වීම, අඬ දබර මධ්‍යයේ ගත කිරීමට සිදුවනුයේ චන්ද්‍රයා හත් වැන්නේ සිටීමෙන් ය. චන්ද්‍රයා හත් වැන්නේ සිට සිකුරු 6, 8, 12 යන තැනක දුර්වලව සිටීනම් අනිවාර්යයෙන්ම විවාහයේ කරදර ඇතිවේ.

අපස්මාරය, බෙල්ල මහත්වීම, දරුණු බඩේ කැක්කුම්, වලිප්පුව, සන්නිරෝග ආදී රෝග සඳුගේ මහ දශා අතුරු දශාවලදී සෑදීම පහසුය. ජලයෙන් මෙන්ම සෙම් අමාරුවලින් ද පීඩා පෙන්නුම් කරයි.

තම ලග්නය හා නවාංශකය පරීක්ෂා කර බලා ඉහත ග්‍රහයෝග මෙන්ම කාල පිළිබඳව ද සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා

සමරතුංග

 

සටහන - ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.