පත්තිනි දේවිය මුල් කර පවත්වන පොර පොල් කෙළිය

අප්‍රේල් 8, 2022

 

අවුරුද්දට කළඑළි බහින ජාතික ක්‍රීඩා අතර පොරපොල් ක්‍රීඩාවට ද හිමිවන්නේ විශේෂ තැනකි. පොරපොල් කෙළිය මෙරට ජාතික ක්‍රීඩාවක් ලෙස පිළිගැනුන ද එය ශාන්ති කර්මයක් ලෙස ද ගම් නගරවල පවත්වති. සශ්‍රීකත්වයට අධිපති දෙවඟන ලෙස සළකා එදා මෙන් ම අදත් සමහර ගම්වැසියෝ පොර පොල් ක්‍රීඩාව පවත්වනු ලබන්නේ ප්‍රජාවක් ලෙසිනි. ජලයේ හා සශි‍්‍රකත්වයේ සංකේතයක් ලෙස පොල්ගෙඩිය අපේ මුතුන් මිත්තන් විසින් හැඳින්වූහ.

 

පොල්ගෙඩිය මූලික කරගෙන ඇරඹු පොල්ගැසීමේ ජාතික ක්‍රීඩාව මෙරට පැවැත්වෙන පූජනීයත්වයෙන් සැළකෙන ක්‍රීඩාවයි. එය ශාන්ති කර්මයක් ලෙසින් ද පිළිගැනෙන ක්‍රීඩාවකි. එමෙන්ම පොර පොල් ගැසීම ඈත යුගයේ සිටම පැවත එන්නක් බව ද සඳහන් වේ. විශේෂ අවස්ථාවක් යොදා ගනිමින් පවත්වනු ලබන පොරපොල් ගැසීම නියඟය සෘතු විපර්යාසය උණ, වඳුරු වසංගත රෝග වගේම ගම වසංගත රෝග මෙන්ම දුර්භික්ෂවලින් ද නිදහස්වීම සඳහා පත්තිනි දේවියගේ ආශිර්වාදය පතා සිදු කෙරෙන ශාන්ති කර්මයක් ද වේ.

 

වඳුරු වසංගත ලෙඩ දුරලන වා

අඹෙන් මලෙන් පත්තිනි උපදින වා

සිරි පතුලට පින් ඔප්පු කරන වා

පොර පොල් කෙළියට වරම් ලැබෙන වා

 

පොර පොල් ගැසීම සඳහා පුරාණයේ දී යොදා ගන්නේ තැඹිලි පොල් පමණකි. ඒත් ඒ තැඹිලිගස් වෙනත් කිසිදු ප්‍රයෝජනයකට නොගත් ඒවා විය. නමුත් පසුකාලීනව කටුව ඝනකම ඇති පොල් සාමාන්‍ය පොල් ඒ සඳහා ගැනින. රජ දවස මෙම පොර පොල් කෙළිය සඳහා ඉදිරිපත් වන්නන්ට නින්දගම් පවා පවරා දී ඇත. රජවරුන්ගේ පිළිගැන්මට ලක්ව තිබූ පොර පොල් කෙළියට ඒ සඳහා රාජ අනුග්‍රහය ලැබීම ද විශේෂත්වයකි. මෙය ජාතික ක්‍රීඩාවක් මෙන්ම ශාන්ති කර්මයක් ලෙස අවුරුදු පතා සත් කෝරළයේ හා සතර කෝරළයේ ඇතැම් ප්‍රදේශවල පවත්වයි. එමෙන්ම පොර පොල් ක්‍රීඩාව අනෙක් ක්‍රීඩාවන්ට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ පොර පොල් කෙළිය පරම්පරා ක්‍රීඩාවක් ලෙසින් පැවැත්වීමයි. එදා මේ සඳහා පොර පොල් ක්‍රීඩාවට ක්‍රීඩකයින් තෝරා ගනු ලැබුවේ පරම්පරාවෙන් පොර පොල් ක්‍රීඩාව සඳහා සහභාගි වන පවුල්වල ක්‍රීඩකයින් පමණි.

පොර පොල් කෙළියට ගන්නා පොල් ගසින් පොල් කඩාගැනීමක් සිදු නොකෙරේ. එම ගසේ පොල් පැසී බිමට වැටෙනතෙක් බලා සිටී. රජ දවස මෙන්ම පසුකාලීනවත් සෑම වත්තකම දෙවියන් වෙනුවෙන් වෙන් කරන ලද විශේෂ පොල්ගසක් තිබී ඇත. එම පොල්ගසින් ගන්නා පොල් පමණක් පොර පොල් ගැසීමට ගන්නා ලදී. මේ නිසා එම ගසේ පොල් පරිභෝජනයට නොගන්නා ලදී. පොර පොල් කොටස් දෙකකට වර්ග කර ඇත. ඒ යවන පොල් හා ගසන පොල් යනුවෙනි. යවන පොල්වලින් සමහරක් ඇට පුහු යනුවෙන් ද නම් කර ඇත. පොල් ගැසීමේ දී විරුද්ධ පිලෙන් යවන පොල් බිඳීමට ගන්නා ගහන පොල් ගෙඩිය අත් ගෙඩිය නම් වේ. පොර පොල් කෙළියට ගන්නා පොල් සමඟ සාමාන්‍ය පොල් එකට නොතබති. එසේ වන්නේ පොර පොල්වල බලය නිසා ඒ සමඟ ඇති සාමාන්‍ය පොල් බිඳී යනු ඇතැයි යන විශ්වාසය මතය. පොල් ගසක ඇතිවන පුහු පොල් ගෙඩි ඇට පුහු පොර පොල් ගැසීමේ දී ඉතා වටිනාකමක් ලැබේ. ඒ පුහු පොල් බිඳීමට අපහසු නිසා ඒවා යොදාගන්නා බැවිනි.

පොර පොල් ගැසීමට වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ ඇට පුහු හෙවත් පුහු පොල් ගෙඩිය අවුරුදු උත්සවවලදී මෙන්ම විශේෂ අවස්ථාවල දී පොර පොල් කෙළිය කෙරෙන්නේ දෙවියන් අරක්ගෙන සිටිතැයි විශ්වාස කරන බෝ, නුග හෝ නාගසක් ආශි‍්‍රතවය. සමහර ග්‍රාමවල එවැනි වෘක්ෂයක් නොතිබුණු විට පොර පොල් ගැසීමට ගන්නා පිටිය සුද්ධ පවිත්‍ර කොට නැකැත් බලා ක්‍රීඩාව ආරම්භ කළත් පොර පොල් චාරිත්‍රයක් ද වන පේළියම සිදු කරනුයේ නුග බෝ හෝ නාගසක් පිහිටි ස්ථානයක සිටය. ඒ පොර පොල් පෙර හැර යෑමයි. බොහෝ විට එය සිදු කරනුයේ විහාරස්ථානයක හෝ දේවාලයක සිටය. පොර පොල් කෙළියට සුදුසු බිමක් තෝරාගෙන පවිත්‍ර කිරීමෙන් පසු ලණු ඇද ගොක් කොළවලින් අලංකාර කරති. පසුව පිටිය දෙකෙළවර එකිනෙකට මුහුණලා පහන් පැල් දෙකක් සාදති. ක්‍රීඩාවට සහභාගිවන දෙපිලේ අය තමන්ට හිමි පහන් පැල් අසල පොල් තැන්පත් කිරීමට වග බලා ගනිති. දෙපිලට සමාන ගණන් එක හා සමානව පොල් වෙන්කර ඉතිරි පොල් ඊළඟ වාරයට හෝ පේළි යන විට මග දී ගැසීමට හෝ යොදා ගනී.

පොල් ගැසීම ආරම්භ කිරීමට පෙරාතුව ගම්භාර පත්තිනි හාමි හෙවත් අනුමැති රාළ දෙවියන් උදෙසා යාතිකාවක්කර කහ දියර මතුරා පොල් පේ කරති. පොල් ගැසීමේ යෙදෙන ක්‍රීඩකයෝ් ක්‍රීඩා පිටියට හෙවත් පොර පොල් පිටියට පිවිසීමට පෙර කහ දියර ඉස මත ගල්වා පිරිසුදු වී පේවී සිටිති. පත්තිනි හාමි හෙවත් අනුමැති රාළ ක්‍රීඩා විනිසුරුවරයකුගේ කාර්යභාරය ඉටු කරයි. තරග නීති රීති හා ක්‍රීඩකයකුට අවශ්‍ය උපදෙස් ආදිය ලබා දෙන්නේත් මොහු විසිනි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයක අරඹන පොර පොල් ගැසීම පිළිවෙළින් පුරා දින හතක් එසේත් නැත්නම් කෙම්මුර දින හතක් පවත්වයි. පළමු දිනය තිපොල්ගසක දිනයයි. තිපොල් යනු තුති හෙවත් පොර පොල් නොවන පොල්ය. එදින ගසනු ලබන්නේ සමානව එකතුකරගත් පොල්ය. පොර පොල් කෙළියේ දී පොල් නොබිඳී ඉතිරි වන පිල ජයග්‍රහණය කරයි. ප්‍රතිවාදී පිලෙන් එවන පොල් බිඳීම අනුව ජය අත්වේ. පොර පොල් ගැසීමේ දී සිදුවන්නේ ප්‍රතිවාදී පිලෙන් එවන පොල්වලට අත ඇති පොලෙන් ගසා බිඳ දැමීමයි. මෙහිදී අත් පොල් ගෙඩිය බිඳීයාම පිලට අවාසියකි. පොර පොල් ක්‍රීඩාවේ යෙදෙන හත්වන දිනයේ දී පොර පොල් ගසා පේළිගොස් ක්‍රීඩාව අවසන් කෙරේ.

පොර පොල් ගසන විට අසල ගම් දනව්වල ජනයා එම ස්ථානයට පැමිණේ. ඒ පොර පොල් කෙළියේ දී දේවාශිර්වාද ලබා ගැනීමටයි. මෙදින පත්තිනි දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන ශාන්තිකර්මයෙන් සෙතශාන්තිය ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. පොර පොල් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් සුදු සරමකින් හා සුදු බැනියමකින් සැරසී සිටින අතර සුදු ලේන්සුවක් වැනි යමකින් හිස ආවරණය කොට හෝ නළල්තලය සුදු රෙදි පටයකින් බැඳ හෝ සිටියි. පොර පොල් ගැසීමේ දී මස් මාංසවලින් වැළකීම පුළුටු ජාතිවලින් වැළකීමට ද සිදුවේ. පොර පොල් පූජාව පුරාණයේ දී ඉතා ගෞරවයෙන් හා මහත් භක්තියෙන් යුතුව පවත්වන ලද්දකි. එමෙන්ම දේවාශිර්වාදය සඳහා වූ ක්‍රීඩාවක් ද විය.

 

මල් මාලා සඳ වැඩම කරන වා

පෙරවරමට අග සිරි රැකදෙන වා

තිරකොට ඔබ අණ සිරසදරන වා

පොර පොල් කෙළියට වරම් ලබන වා

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී, ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂ ප්‍රභාශ්වර

තිස්ස මහානාම

 

සටහන - බී. ඇල්. ප්‍රේමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.