සිහින ගෙනෙන පල-අපල

මාර්තු 25, 2022

 

අනාදිමත් කාලයක සිට සිහින පිළිබඳව මිනිසා තුළ ඇත්තේ ඉමහත් විශ්වාසයකි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින රාත්‍රී, මධ්‍යම අලුයම් යාමය වශයෙන් කොටස් තුනකට බෙදී ඇත. රාත්‍රී 9 - 12 අතරත් මධ්‍යම රාත්‍රී 12 - 3 ත් අතරත් අලුයම 3 - 6 ත් අතර දකින සිහින වශයෙනි. අලුයම දකින සිහිනවල ප්‍රතිඵල ඉක්මන්වන අතර මධ්‍යම රාත්‍රියේ දකින හීනවල ප්‍රතිඵල පමාවී ලැබෙන බවත්, නිදිගත් මුල් කාලයේ දකින සිහිනවල ප්‍රතිඵල අඩු බවද පැවසේ. එමෙන්ම දහවල් දකින සිහිනවල ප්‍රතිඵල ශූන්‍ය බව පැරණි පඬිවරු මෙන්ම අපිද පිළිගන්නා සත්‍යයකි.

සිත තුළ නිදන්වී ඇති ආශාවන් සන්තර්පනය කරගැනීම සිහිනවල පරමාර්ථය බව සුප්‍රකට මනෝ විද්‍යාඥයකු වන සිග්මන් ප්‍රොයිඩ් විසින් ප්‍රකාශ කර ඇත. ශරීරයේ තුන්දොස් කිපීමෙන් සිහින පෙනෙන බවට ඇතමෙක් තර්ක කරති. මෙලෙස සිහින ගැන නොයෙකුත් මත ප්‍රකාශ කළත් අපි දකින සිහින අනාගත සිදුවීම්වල පෙර නිමිති වශයෙන් අදහන අය බොහෝ ය. දැන් අපි බලමු අපේ පැරණි පඬිවරු අපි දකින සිහිනවල පලාපල සඳහන් කර ඇත්තේ කෙසේද කියා.

මරණය

සිහිනෙන් තමාගේ මරණය සිදුවී ඇති බව දුටුවේනම් තම විවාහය ඉතා ඉක්මනටම සිදුවේ. එම කටයුතු ද වඩාත් සාර්ථක වේ. අන් අයකුගේ මරණයක් දුටුවේ නම් රෝගපීඩා ඇතිවීමට හේතුවෙයි. මරණාසන්න වචන නැතහොත් යමකු මැරෙන මොහොතේ දී කියන වචන තමන් හොරෙන් අසනවා දුටුකල ස්වකීය අදහස් මුදුන්පත් වෙයි. වාසනාවන්ත ජීවිතයකට පැමිණේ. මළ මිනියක් සිහිනෙන් උසුලා යනු දුටු කල අධික වස්තුවක් සැපවත් භාවයක් හිමිවේ. මළමිනියක් නෑවීම සිහිනෙන් දුටුවේ නම් ජයග්‍රහණ අත්වෙයි. මළ මිනිසෙකු සමඟ එකට වාඩි වී ආහාරගනු දුටුකල වස්තුව ලැබෙන අතර, මළමිනිසෙකු සමඟ එකට නිදන දුටු කල දීර්ඝායුෂ ලැබෙයි. මළ මිනිසෙකු වළලනු දුටුවේ නම් ලෙඩ රෝග සුවවේ.

කුරුල්ලන් දැකීම

අවිවාහක තරුණියක් ලස්සන පියාපත් සහිත කුරුල්ලන් සිහිනෙන් දුටුවොත් එය ඉතා වාසනාවන්තය. එය අනාගතයේ ඇයට ධනවත් පුරුෂයකු සමඟ යුගදිවිය ගත කිරීමට ලැබෙන බව අනාවැකියකි. යමකු තුවක්කුවකින් වෙඩි තබා හෝ කිසියම් අයුරකින් කුරුල්ලෙකු මරණයට පත්කරනු දුටුවේ නම් තමාගේ ධන ධාන්‍ය හෝ ව්‍යාපාර ආදියෙන් පාඩුවට පත්වෙයි. එය ඔබ දුගී බවට පත්වීමේ පෙර නිමිත්තකි. තුවාල වූ කුරුල්ලකු ඔබ දුටුවහොත් දරුවන්ගෙන් ඔබට කරදර සිදුවේ.

දත් පිළිබඳව

ඔබේ දත් සියල්ලම බුරුල් වී සෙලවෙනු දුටුවොත් ඉතා භයානක රෝගයක් වැලඳිය හැකි බවට පෙර නිමිත්තකි. ඔබේ දත් සියල්ලම ගැලවෙනු දුටුවේ නම් ඔබේ මරණය ඉතා ආසන්න බව පෙන්නුම් කරයි. දත් තැනින් තැන වැටෙනවා දුටුවොත් ඔබ යොදාගත් ගමනක් වේ නම් එය වෙනස්කර එම කාර්යය වෙන දවසකට යොදා ගන්න. එය අසුබ සිහිනයක් බැවින් එම කාර්යය අසාර්ථක විය හැකි ය.

ස්නානය කිරීම

ඔබ මුහුදෙහි නානවා දුටුවොත් එය සුබ සිහිනයකි. සශ්‍රීකත්වයක් පිළිබඳව ඔබව සතුටට පත් විය හැකි පෙර නිමිත්තකි. කිසියම් අයකු ඇළක,දොළක ස්නානය කරනවා දුටුවොත් පර පුරුෂ සේවනයෙහි යෙදෙන බවට සලකුණකි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු ය. මඩ සහිත අපිරිසුදු ජලයේ හෝ ඇළක ඔබ ස්නානය කරනු දුටුවොත් ඔබේ අසතුට, අයහපත් සෞඛ්‍යයට හා හිතේ කනස්සලු භාවයට කරුණු යෙදෙන බවට පූර්ව නිමිත්තකි.

ආහාර ගැනීම

තමන් සිහිනෙන් බත් අනුභව කරනවා දුටුවහොත් ඉදිරි කාලයේ දී හිරිහැර දුක් කම්කටොලුවලට මුහුණදීමට සිදුවන බව පැවසේ. යමකු කැවිලි වර්ග සිහිනෙන් අනුභව කරනවා දුටුවේ නම් ධනෝපායන ක්‍රමවලින් තමන්ට ලාභ ලබා කීර්තියට ද පැමිණිය හැකි බවට ලකුණකි. ඉදුණු කහ පැහැති ඇඹුල් සහ පැණි රස පලතුරු අනුභව කරනවා දුටුවොත් රූමත් යුවතියක් හා විවාහ ජීවිතයකට පිවිසෙන බවට පෙර නිමිත්තකි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු ය.

දරුවන් දැකීම

කුඩා දරුවකු මිය යනු සිහිනෙන් දුටුවොත් අසුබය. ඔබේ සියලුම සැලසුම් ව්‍යර්ථ වී පරාජයට පත්වෙන බවට සලකුණකි. ඔබ උණ රෝගයෙන් පෙළෙන දරුවකු හේ ළදරුවකු වඩාගෙන සිටිනවා දුටුවේ නම් ඔබ නොකළ වරදකට හසුවී නීතියෙන් කරදර ඇතිවීමට හෝ අධිකරණයෙන් දඬුවම් ලැබීමට ද හේතුවෙයි. ඔබ දරුවකු සිහිනෙන් අඬනවා දුටුවොත් ඔබට කනගාටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර එයින් පසු ඔබ රෝගී වීමටද සිදුවනු ඇත.

කැලෑ සතුන්

කැලෑ සතුන් සිහිනෙන් දැකීමෙන් එම පුද්ගලයාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. එහෙත් එම කැලෑ සතුන් ඔබට තර්ජනය කරනු හෝ එකිනෙකා සමඟ පොර කා ගනු සිහිනෙන් දුටුවේ නම් තම රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇතිවිය හැකි ය. දුවන අශ්වයන් සිහිනෙන් දැකීම තරගයකින් ඔබ පරාජය විය හැකි බව දන්වයි. නමුත් සුරතල් සතුන් සිහිනෙන් දැකීමෙන් විශේෂ සිදුවීමක් නොවන බව කියැවේ.

ගඟක් ගැලීම

පිරිසුදු ජලයෙන් යුත් ගංගාවක් ගලනවා සිහිනෙන් දුටුවොත් එය දුටු අයගේ අනාගතය සතුටුදායක වන බවට පෙර නිමිත්තකි. පිරිසුදු ජලය නෑමද ශරීර සැපය ඇතිවන බවට සුබ ලකුණක් වේ.

සර්පයින් සිහිනෙන් දැකීම

යමකුගේ දකුණු අත සුදු සර්පයෙකු විසින් දෂ්ට කරනු සිහිනෙන් දුටුවේ නම් හේ නොබෝ කලකින් හික්මුණු පි‍්‍රය වචන තෙපලන වාසනාවන්ත භාර්යාවක් ලබන්නේ ය. එසේම සාමාන්‍ය සර්පයෙක් දෂ්ට කරනු ලැබේ නම් වස්තු ලාභයකටද පැමිණෙන බව කියැවේ.

ශරීරයේ අවයවයන් වැටීම

ඇස්, කන්, නාසා හෝ නියපොතු ගැලවී වැටෙනු යම් පුරුෂයකු සිහිනෙන් දුටුවේ නම් ඔහුගේ මරණය ඉතාමත් ඉක්මනට සිදුවන බව කියැවේ. එවැනි සිහින දකින පිරිමින්ට කාන්තාවන් සරණ පාවා නොදිය යුතු බවට පැරණි විශ්වාසයක් පවතී. ඔබගේ මුඛයේ උඩු ඇන්දේ දත් වැටෙනවා දුටුවොත් ඔබේ පි‍්‍රය පාර්ශ්වයේ ඥාතිවරයෙකුගේ මරණය ඒකාන්තයෙන්ම සිදුවේ. යටි ඇන්දේ දත් වැටෙනවා සිහිනෙන් දුටුවේ නම් මවු පාර්ශ්වයේ ළඟම ඥාතිවරයෙකුගේ මරණයක් සිදුවේ.

(පැරණි පොතපත ඇසුරිනි.)

 

හිඹුටානේ පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.