සිඟිති දුව, පුතා වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු

මාර්තු 4, 2022

යුවතිපතියන් දෙදෙනකුගේ ප්‍රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුළුඳුල් සිඟිති දරුවකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදා වන තෙක්ය. සිඟිති දරුවකු යනු මාපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවකු යනු මුළු ලොවටම මිණි කැටයකි. ඒ අනුව සිඟිති දරුවකු ඉපදුණ අවස්ථාවේදී මූලිකවම අපි සිදු කරනු ලබන්නේ එම දරුවා මොලොව එළිය දකින මෙහොත පදනම් කර ගනිමින් නැඟෙනහිර ක්ෂිතිජයේ පායා ඇති ග්‍රහ තාරකා පදනම් කොට ගනිමින් ජන්ම පත්‍රයක් දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා සාදවා ගැනීමයි. එම දරුවා පූර්ව ආත්මභාවයේ සිදුකර ඇති පව් පින්, අපල හා සපල ලෙස එම ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ මැනවින් සටහන්ව ඇත. එය පූර්ව ආත්ම භාවයේ කැඩපතකි.

සිංහල බෞද්ධ ජනසමාජය තුළ ඡ්‍යොතිෂයට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව එම ඡ්‍යොතිෂ සිද්ධාන්ත පදනම් කර ගනිමින් අලුත උපන් සිඟිති දරුවකු වෙනුවෙන් ජන්ම පත්‍රයක් සාදනු ලබයි. ඉන් අනතුරුව පළමුව සිඟිති දරුවකු සඳහා ගොඩනඟන එම ජන්ම පත්‍රයට අනුව අපේ සංස්කෘතියත් පදනම් කොට ගනිමින් අලුත උපන් දරුවකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06ක් අප අනිවාර්යයෙන්ම දරුවා වෙනුවෙන් ඉටු කරනු ලබයි. එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දැක්වීම, ආගමික ස්ථානයක් වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම, ගැහැනු දරුවන්ගේ කන් විදීම, දරුවාට ඉඳුල් කටගෑම, අකුරු කියවීම එම චාරිත්‍ර 08 ලෙස අපට දැක්විය හැකිය.

මෙහිදී හිරු දැක්වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මෙලොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්ථාවයි. දරුවකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙළ අනුවය. ඒ අනුව බත් කැවීමේ නැකැතින් දරුවාගේ ශරීර සෞඛ්‍යයත් අකුරු කියවීමෙි නැකැතින් දරුවාගේ ඥාන ශක්තියත් ඇතිවේ. මෙම

කටයුත්තේදී ඡ්‍යොතිෂයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව මෙහිදී මූලික වන චාරිත්‍ර හයකි.

එම චාරිත්‍ර හය නම්

නිවැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම.

සුබ නැකැතට නිවැරැදිව ජීවම් කර පංචායුධයක් කර පැලඳීම

සුබ නැකැතට මංගල හිස කෙස් රොද කැපීම

ගැහැනු දරුවන්ගේ කන් විදීම,

සුබ නැකැතට ඉඳුල් කට ගෑම

සුබ නැකැතට අකුරු කියවීම

නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම

මෙම චාරිත්‍රය දරුවාට ජීවිත කාලය තුළම බලපාන ඉතාම වැදගත් චාරිත්‍රයකි. විශේෂයෙන් සිඟිති දරුවකුට ජන්ම පත්‍රයේ උපන් නැකැත අනුව එම නැකැතට සීහෙන ලෙස නිවැරැදිව ගණ පිහිටුවා අර්ථවත් නමක් තැබිය යුතුය. මෙම නම් තැබීම පිළිබඳව අපට බෞද්ධ ඉතිහාසය තුළද කරුණු අසන්නට ලැබේ. අලුත උපන් දරුවකුට නමක් තැබීමේදී එය ඉතාමත්ම සුපරික්ෂාකාරීව කළ යුතු කටයුත්තකි. මූලිකවම දරුවා උපන් ජන්ම නැකැත පදනම් කොට ගනිමින් නමක් තැබිය යුතු අතර එසේ අපහසු අවස්ථාවල පමණක් උපන් ලග්නයට හෝ උපන් දිනයට හිමි අක්ෂරයක් ගෙන අර්ථාන්විත නමක් තැබිය යුතුය. විශේෂයෙන් නම් තැබීමේදී ගණ පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන සාධකයක් වනු ඇත.

සුබ නැකැතට නිවැරැදිව ජීවම් කර පංචායුධයක් කර පැළඳීම

දරුවාට පංචායුධයක් පැලඳීම ද ඉතාම වැදගත් වන චාරිත්‍රයකි. විශේෂයෙන් නිවැරැදිව ජීවම් කරන ලද පංචායුධයක් දරුවා ඉපදී මාස 03කට පසු දරුවාගේ ගෙලෙහි සුබ නැකැතකට අනුව පැළඳිය යුතුය. එමඟින් ඔබගේ සිඟිති දරුවාට ගුප්ත බලවේගවලින් මෙන්ම සියලු දෙයින් පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත.

ගැහැනු දරවන්ගේ කන් විදීම

මෙම චාරිත්‍රය ගැහැනු දරුවනට පමණක් වන අතර එසේම එය ඉතාමත් ම වැදගත් ය. මෙය ලේ වහනයකට සම්බන්ධ නිසාවෙන් ඉතා කල්පනාකාරීව හා නිවැරැදි සුබ නැකැතකට ම කළ යුතුය. මෙම වාරිත්‍රය මේ අතර ප්‍රධාන එකකි. එය දුබල වුව හොත් දරුවාගේ අනාගත ගෘහ ජීවිතයට එය බලපාන බව අප ජන සමාජය තුළ ආකල්පයක් හා විශ්වාසයක් ඇත. මේ සඳහා නැකැත් යොදා ගැනීමේදී කනේ විස කලාව නැති දිනයක් තෝරා ගත යුතු අතර විස කලාව පවතින විට කන් විදීම සිදුකළ විට කන්වල තුවාල හා කන් පෙති පැසවීම් ඇති වීමේ අවදානමක් පවතිනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. කන් විදින තැනැත්තා හෝ තැනැත්තිය මනා වූ දයා කරුණාවෙන් යුත් ඒ සඳහා පලපුරුද්දක් ඇති අයකු විය යුතුය.

සුබ නැකැතට ඉඳුල් කට ගෑම

මෙම චාරිත්‍රය ඈත අතීතයේ සිට ඡ්‍යොතිෂ්ශාස්ත්‍රානුකූලවම ඉටු කරනු ලබන දෙයකි. මව් කිරෙන්, පලතුරු යුෂෙන් හෝ වෙනත් කිරි වර්ගයකින් පෝෂණය වූ දරුවා අප රටේ ප්‍රධාන ආහාරය වූ බත් හා ව්‍යාංජනයට හුරු වන ප්‍රථම අවස්ථාව ලෙස අපට සුබ නැකැතට ඉඳුල් කට ගෑම. හඳුන්වා දිය හැකිය. ඉහත සඳහන් අන් කරුණු සේම මෙහිදී ද දරුවාගේ ජන්ම (උපන්) නැකැතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, පුනාවස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, සිත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් හා කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම

පංචාංගය සුබ පුර පස දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත.

මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 10න් හෝ 12/14 යන ඉරට්ටේ මාසවල ද ගැහැනු ළමයින්ට මාස 9, 11 ,13 යන ඔත්තේ මාසවල එම කාල සීමා ද යොදා ගත යුතුය.

ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය ආහාරය වන නිසාවෙන් මෙම කටයුත්ත මාපියන් විසින් ඉතාමත් නිවැරැදිවම ඉටු කළ යුතුය. නැකැතට පෙර බුද්ධ පූජාව තබා දරුවාට අතගස්සවා බුදුන් වැඳිය යුතුය. ඒ සඳහා නිවැරැදි වත් පිළිවෙත් අනුගමනකිරීම බෙහෙවින්ම සුබදායක වනු ඇත. දරුවා නීරෝගිව සිටින අවස්ථාවක් මේ සඳහා යොදා ගත යුතුය. පිරිසිදු ඇතිරිල්ලක් නිවෙසේ මැද බිම එළා ඒ මත සියලු ආහාර ස්වල්පය බැගින් වෙන වෙනම තබන්න. කිරිබත්, කැවිලි වර්ග, කෙසෙල් හා වෙනත් පලතුරු වර්ග, රෙදි පිළි, රන්, රිදී, ළමා පින්තූර, සෙල්ලම් බඩු ද එම ඇතිරිල්ල වටේ තබා නැකැතට විනාඩියකට පෙර දරුවා ඒ මත තබන්න. දරුවා යමක් රැගෙන කටේ තබා ගත හොත් එය සුදුසු සේ සැලකේ. නැත හොත් නැකැත් වේලාවට බත් ටිකකට කිරි හොදි ස්වල්පයක් දමා පිඩු කොට පිරිමි දරුවකුට මව විසින්ද ගැහැනු දරුවකුට පියා විසින් ද කැවිය යුතුය.

 සුබ නැකැතට මංගල හිස කෙස් රොද කැපීම

ඔබගේ සිඟිති දුවගේ හෝ පුතුගේ මුල්ම හිස කෙස් රොද ප්‍රථම වරට කැපීම අපි මංගල හිස කෙස් කැපීම ලෙස හඳුන්වමු. මෙහිදී මෙම කටයුත්ත සුබ නැකතකින්ම කළ යුතුය. එය ඡ්‍යොතිෂ නියමයයි. එය මඟහැර කටයුතු කිරීම තුළින් විවිධාකාරයේ බාධක එල්ල වනු ඇත. එයට හේතු වන්නේ අසුබ වේලාවක කෙස් කැපීමෙන් දරුවාට කරදර ඇතිවේ යැයි මතයක් පුරාණයේ සිටම අප ජන සමාජය තුළ පැවතීමයි. එය අපට සරලව බැහැර කළ නොහැකිය. විශේෂයෙන් එසේ අසුබ වේලාවක මෙම කටයුත්ත සිදු කිරීම තුළ අනාගතයේ දරුවාට වචන උච්චාරණයේ දුබලතා, ගොත බව, ගොළු බව, ඇති වේ යැයි විශ්වාසයක් අප සමාජය තුළ පවතී. එය අපට කිසිසේත් අසත්‍යයක් යැයි බැහැර කළ නොහැකිය. මෙම මංගල කෙස් රොද කැපීම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අවස්ථාවක හිරු අවරට යාමට පෙර සුබ වේලාවක සිදු කළ යුතුය. දරුවාගේ ජන්ම (උපන්) නැකැතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, මුවසිරස පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුරපස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. එසේම ලග්න වශයෙන් වෘෂභ, මිථුන, කටක ,කන්‍යා තුලා, ධනු, මීන යන ලග්නයක් තක්කාල ලග්නය ලෙස උදාව ඇති රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. දරුවාගේ ජන්ම නැකැත මේ සඳහා යොදා නොගත යුතුය. සුදුහඳුන්, විළඳ, පිච්ච මල් මිශ්‍ර කරගත් පිරිසිඳු දිය ස්වල්පයක් හක් ගෙඩියකට දමා එම හක් ගෙඩිය දරුවාගේ හිස වටා තුන් වරක් කරකවා එහි ඇති වතුර ස්වල්පයක් දරුවාගේ හිස මුදුනට ඉසින්න. ඉන්පසු හිස මුදුනේ සිට හිස කෙස් කැපිය යුතුය. කෙස් රොද කිහිපයක් කපා එය බැස යන ජලාශයකට දැමිය යුතුය. හිස කෙස් කැපීමෙන් පසු දරුවා නාවා ගැනීම යහපත් වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 3න් හෝ 5න් ද ගැහැනු දරුවන්ට මාස 2, 4 ,8 යන කාල සීමා ද හිස කෙස් කැපීමට සුදුසු වේ.

සුබ නැකැතට අකුරු කියවීම

සුබ නැකැතට අකුරු කියවීම. මෙම චාරිත්‍රය දරුවකු ගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම්, කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකැතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව

ගුරුවරයා විසින් ආදාළ පොත දරුවා අත තබා “ස්වස්ති සිද්ධම්” (යහපතක්ම වේවා)

යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කීපයක් දරුවාට කියවා අකුරු කීපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණගරුක වැඩිහිටියකු විසින් කළ යුතුය.

අකුරු කියවීමට අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත- එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්‍රහයකු නැති උභය ලග්නයක් උදා වූ වේලාවක මෙම නැකැත සකස් විය යුතුය. අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්කෘතියත් සමඟින් වයස 03ට පෙර කියවිය යුතු යැයි මතයක් ගොඩ නැඟී ඇත.

අකුරු කියවීමේ අවස්ථාවේදී ගණ දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්යය ඇතිවීම ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මගින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.

ඔබත් ඔබේ සිඟිති දරුවා වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීම ඔබේ දරුවාගේ මතු අනාගතය යහපත් වීමට හේතු වනු නො අනුමානය.

ඡ්‍යොතිෂවේදී, බණ්ඩාරගම,සම්පත් එස්. කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.