දරුවන් සිටින මවුවරුන් දැනගත යුතුම මල්වර නිමිත්ත

පෙබරවාරි 18, 2022

දුවක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි. මින් අදහස් කරන්නෙ පුතෙක් සිටින මාපියෙක් පින්වන්ත නොවේ කියා නොවේ. කොහොමටත් පුතෙක් සිටින ඕනෑම මාපියෙක් පින්වන්තයි. තේජවන්තයි හා නිර්භීතයි.

ඒකට හේතු ගොඩක් නැතුව නොවෙයි. විශේෂයෙන්ම රාම රාවණා යුද්ධය – සිංහබාහු කතන්දර හරිහැටි කියෙවුවා නම් දැනටමත් එය වැටහී ඇති. පුතෙක් පවුලකට වටිනවනම් අහිංසක අංගුලිමාල වුණේ ඇයි? ඒකට නියම පිළිතුර තමයි සාමාජීය හා යාළු මිත්‍රාදී සම්බන්ධය. අංගුලිමාල රහතුන් වහන්සේ නමක් වුණේත් එම හේතුවමයි.

අද අපි මල්වරය ගැන කතා කරන නිසා දුවණිය ගැනම වැඩි විස්තර කතා කරමු.”කට ඇති පුතෙක් – රුව ඇති දුවෙක්” කියලයි පැරණි අය කිව්වේ. කවියා නැත්නම් කිවිඳිය ඇයව සමාන කළේ මල්වලට හා ලතා නැත්නම් වැල්වලට. වර්තමානයෙ නම් දුවත්, පුතත් එකවගේ ආරක්ෂා කිරීමට හේතු සහගත කරුණු එළඹුණත් ඉපැරණි කාලයේ පුතෙක්ව වැඩිපුර ආරක්ෂා කළේ නැහැ. එහෙනම් පැරණි සමාජය වර්තමාන සමාජයට වඩා ඉමහත් යහපත් තත්ත්වය පාලනය වැනි ද ප්‍රමුඛස්ථානය ගන්න ඇතැයි හිතෙනවා.

දුවක් පවුලකට ආලෝකය දෙනවා. දුවකගේ හැම කටයුත්තක්ම වාගේ මවු පාර්ශ්වයට බොහෝ සෙයින් පැවරෙනවා. එනමුත් දුවකගේ ආදරය පියාටත් පුතකුගේ ආදරය මවටත් වැඩිපුර ඇති බව සමහර පොත්වල සඳහන් වනවා. ඒක සමාජය කතාන්දර අනුව දිගු කතාවක්.

දුවක් සිටින ඕනෑම පවුලක සතුට, දියුණුව හා ගෞරවය ශ්‍රීයාව පවතින්නේ මවගේ පාර්ශ්වයෙන් කියලාත් කියනවා. බොහෝ මවුවරු ඒක නොදත්කමින් වැඩි ප්‍රයෝජනයක් ඉන් ලබාගන්නෙ නැහැ. නිවැරැදිව ඒ කටයුතු ඒ අය කරනව නම් තම දුවණියගේ වාසනාවන්ත අනාගතය සර්ව සම්පූර්ණයෙන්ම ඇති වනවා. ඕනෑම දුවණියකගේ මල්වරය සම්බන්ධව ස්වකීය මවටත් ඡ්‍යොතිර්වේදියාටත්, මව්පාර්ශ්වයටත් කළ යුතු බොහෝ දේ තිබුණත් මවුට නැත්නම් ආදරණීය අම්මට කිරීමට ඇති විශේෂ කටයුතු ගැන සඳහන් කරන්න උත්සාහ ගන්නවා. දුවක් සිටින ඕනෑම මාපියකුට සකසුරුවම ඉවසීම අත්‍යවශ්‍යම වනවා. මේ පුංචි දුවණිය කාලයාගේ ඇවෑමෙන් ඇගේ දණහිසට මඳක් පහතට වැටෙන්නට වාටිය තිබෙන සුදුගවුම ඇඳගෙන, තනි කරලට දිගු කොණ්ඩය බැඳලා, පොත්මිටිය පපුතලයට හේත්තු කරගෙන පැහීගෙන එන රන්වන් වෙල්යායට මැදින් භාවනායෝගි ගමනක පාසලට අකුරු කරන්නට යනකොට කාට ද ආඩම්බර හිතෙන්නේ නැත්තේ. මේ පුංචි මල් කැකුළ ඉදිරි දිනකදි කොතැනක නවතී ද කියල කවුද දන්නේ. හිතාගන්න වත් බැරි ගෞරවනීය උසස් තැනක දුව රැඳවීමට අම්මා, තාත්තා දැඩි ස්නේහයකින් ඉවසීමකින් කටයුතු කරන්න වෙනවා. මේ වන විටත් පියා කාර්යාලයේ හෝ තම නිවසේ රාජකාරි කරනවා. දුව වෙනුවෙන්. කාලයා ටිකෙන් ටික ඉදිරියට ඇදෙන මේ දවස්වල අම්මගේ සියුම් ඇස මේ දුවණිය වෙත ඇදෙන්න ඕන වනවා. එනම් සීමා කීපයක් ද පැනවෙනවා. මේ සීමාවන් කතන්දර මඟින් හෝ ආදරයෙන් දුව වෙත එල්ල වන්නේ. මොකද අම්මා දන්නවා දුවණියගේ ඉරියව්වලින් ඇගේ ප්‍රථම මල්වරය ඇගේ ප්‍රථම ජීවිත සන්ධිස්ථානය බවත් , එය අත ළඟම උදා වන බවත් වෙනදා ගෙදර දොරේ තිබූ පුංචි පුංචි අඩදබර නැවැත්වීමට අම්මා ක්‍රියාකරනවා. විශේෂයෙන් මේ දුවණියට වයස අවුරුදු 8-14 අතර වුවත් වර්තමානයේ 5 හෝ 6 වන විටත් මෙය සිදු වන බව අම්මලා දැනගන්න ඕනෑ. දුවණියගේ මල්වරය අම්මගේ ඉරියව්වලට සාපේක්ෂ වුවත් වර්තමානයේ එය බොහෝදුරට වෙනස් වෙනවා.ඒ ඇය ගන්නා ආහාර හා මස් වර්ග නිසා. තම දුවණිය ඉදිරි කාලයේදි වටිනා දුවක් කරවීමට සෑම මවක්ම බොහෝ දේ කළ යුතු වනවා. මේ වයස් සීමා එළඹෙද්දී ගන්නා ආහාරපාන වර්ග මස් වර්ග දකින වර්ණ හා දර්ශන, යන එන ගමන් බිමන්, අඳින පලඳින වස්ත්‍ර, ගැන අම්මා දැඩි අධීක්ෂණයෙන් ඉන්න ඕනෑ. මොකද සියලු වගකීම් ඔබට පැවරෙන නිසා. ඔබ නොදත්කමින් දුවණියට හිමිවිය යුතු බොහෝ දේ නොලැබී යනවා. දෘශ්‍යමාන කටයුතු ඔබගෙන් ඉටු වුවත් අදෘශ්‍යමාන දේ ඔබෙන් බොහෝවිට ගිලිහි යන්නේ ඔබේ නොදැනුවත්කම නිසා. ඒක දුවණියට ඉදිරිකාලයේදි කිසියම් හෝ පාඩුවක් සිදුවන බව ඉතා වගකීමෙන් සඳහන් කරනවා. මවහට මෙම අත්‍යවශ්‍ය යුතුකම් ඉටු කිරීමට නොහැකි හැම අවස්ථාවකම සුලු මවුට මේ වගකීම් පැවරෙනවා. විශේෂයෙන් කිවයුත්තක් නම් මේ දිනවලට ඇය අඳින වස්ත්‍රය ඉතා පිරිසුදුව තිබෙන්න ඕනෑ. අලුත් එකක් නොවුණත් පිරිසුදු එකක් විය යුතුම වනවා. ඊළඟ කරුණ තමයි මාසේ පුර තිථිය ඇති දිනවලට එනම් පුර පසළොස්වක දිනට පෙර දින 15 තුළ මේ මල්වර සිදුවීම වන බව. මෙය බොහෝ දෙනකුට සිදුවන දෙයක් බවත් මල්වර සිදුවීම බෝවෙන සිදුවීමක් බවත් ඒක වන්නේ එක වයසේ සිටින ගැහැනු දරුවන්ට බවත්, සිදුවීමෙන් පසු ඇගේ ස්නානය වන තෙක්. පිරිමි තරුණ දරුවන්ට ඈ දැකීම අහිතකර බවත් අම්මල දැනගන්න ඕනෑමයි. මෙසේ අයහපත් වන පිරිමි දරුවන්ට ගුප්ත විද්‍යාවෙන්ම පිළියම් කළ යුතු නිසා මේ බව තරයේ මතකයේ තබා ගන්න. මේ මල්වරය සිදුවන කාලයට දුව දුර ගමන්බිමන් යාම, නවතන්න බැරිම නම්, සීමාකරන්න. මලගෙවල්වලට යාම, ළිංතොට, පැන්තොට, පාළු ගෙවල්වල තනියෙන් ‘සිටීම නවතින්න. මේ ස්ථානවල ඔබගේ මල්වර වීම අශුභයි. ඒක ඉදිරියට නරක්වනවා. විශේෂම තමයි, මේ දිනවලට බැදුම් පිලිස්සුම් මොන නමකින් තිබුණත් කන්න එපා. වර්තමානයේ “බාබකිව්” කියන්නේ බැදුම්, පිලිස්සුම්වලට තමා රාත්‍රියට අනවශ්‍ය දර්ශන රූප පෙට්ටියේ රෑ එළිවෙනකං බලන්න එපා. ඉතාම පිරිසුදු සැහැල්ලු වස්ත්‍රයක් ඇද ගොඩක් වෙලා සුවසේ නිදන්න.

නරක හීන දකින විදියේ සිදුවීම් බලන්න එපා. ඉතාම පිරිසුදුව සැහැල්ලුවෙන් නිදන ඔබ, වාසනාවන්ත දුවණියගේ ප්‍රථම මල්වරය රාත්‍රී 10 ට පසුවත් අලුයම 3 ට ප්‍රථමත් සිදුවුවත් ඒ ගැන ඔබ දැනගන්නෙ පසුවදා උදෑසන. ඒ බව අම්මට පැවසූ සැණෙන් අම්මා. දුවණියව, සීතල වතුරෙන් නෑවීම හෝ දෝවනය කිරීම නවතා දමා තම ගෙදර එක් කොටුවූ ස්ථානයක නැත්නම් කාමරයක තබන්න ඕනෑ. ඒ එක්කම ඈ සමඟ තම සොයුරියක් හෝ පුංචි අම්මා, නැන්දා, ආච්චි අම්මා ඉන් කෙනෙක් ඇගේ තනියට ඉන්නම ඕනෑ. මෙම වේලාවේ සිටම ඇගේ ශරීරයෙන් පිටවන කිසියම් හුමාලයට (ඝන්ධයක්) ඔබ හෝ මට කැමැත්තක් දැක්වුවත් නැතත්, විශේෂ කැමැත්තක් දක්වන කෙනෙක් ඉතා වේගයෙන් ඇය වෙත ඇදී එන්නේ ඇයට අදෘශ්‍යමානව පෙම් කරන්නට ඇය තනි වුවහොත් පමණයි. ඒ “කළුකුමාරයා’ බව අද දැනගන්න වටිනවා. ඉපැරණි කතාවලට අනුව මෙම කළුකුමාරයාට ඔහුගේ ස්වකීය මල්වර වූ කුමාරිය අහිමි වූ නිසා එතැන් සිට බාලගිරි යක්ෂයින්ගේ අනුහසට විරුද්ධව මේ කළුකුමාරයා මල්වර වූ කුමාරිකාවන් සොයා ඒම වළක්වා ලීමට අපේ දුවණිය කිසිසේත් තනි නොකළ යුතුය. තවත් ගැහැනු කෙනෙක් සමඟ ස්නානය තෙක් සිටීම අවශ්‍යම වනවා. එසේ සිටිය යුතු බවට අවවාද කරනවා. කිසියම් දුවණියක් මල්වර වී තනිවූ ක්ෂණයෙන් එතැනට පැමිණීමට පමණක් වරං තිබෙන බවත් පොත පතේ සඳහන් වනවා. මෙම දෝෂය ඇතිවූ කිසියම් දුවණියකට ඇගේ විවාහ කටයුතු ද දරු සම්පත්ද අඩපණ වනවා. ඉන් මිදීමට නම් “කළුකුමාර යන්ත්‍රය” පැලඳීම කළ යුතු බව ද පතපොතේ සඳහන් වනවා. එම නිසා මෙම දෝෂයෙන් තම දුවණිය මුදා ගැනීමට සෑම මවක්ම ක්‍රියා කළ යුතු වනවා. විශේෂයෙන්ම දුව තනිවෙන කිසිම දෙයක් මේ දිනවල නොකළ යුතු වනවා.

මල්වර වූ දුවණිය සිටිනා කාමරයේ හෝ ඇයට ම සීමාවූ ස්ථානයේ ඇයට දෘශ්‍යමාන වනසේ බිමට නොකැඩූ විසිරුණු පොල් මලකුත් දැල්වෙන පොල්තෙල් පහනක් තිබීම එදා සිට කරන පිළිවෙතක්.

කිසියම් හෝ පිරිමි දරුවෙක් වයස අවු. 7 සිට 17 දක්වා හෝ අවිවාහක පුතෙක් මේ මල්වර දුවණිය ස්නානයට පෙර දුටුවොත් ඔහුට සිදු වන්නෙ කිසියම් අයහපතක් මිස යහපතක් නම් නොවේ.

මෙසේ කාමරයක දුවණිය සිටින අතර නැකැත් මාමා හමුවූ අම්මා දුවණියගේ ස්නානය සඳහා සුදුසු දිනයක් හා වස්ත්‍රයට වර්ණ ලබාගන්නවා ඇත. නැකැත් මාමා සුදුසු නැකැතක් ලබාදි දෝස භංගයට බෙහෙත් කළයක් ද පිළියෙල කර දෙයි. මල්වන් ස්නානයෙන් පසු නියමිත වර්ණ වස්ත්‍රයෙන් සැරසුණු දුවණිය ඇයට ම කැපවූ කැවිලි වට්ටිය ඉඳුල් කර වැඩිහිටි උත්තමාචාරය කරයි. ඒ අවස්ථාවේදි ඇයට උරුම රන් , රිදී, මුතු මැණික්, වස්ත්‍රාභරණ තෑගි කරයි. මෙහිදී තවත් විශේෂ අවස්ථාවකි. එනම් එදා මල්වර වී ගෙයි තුළට ආ දුවණිය අද දොරට වැඩූ බව අම්මා විසින් කිසියම් සංඥාවකින් දන්වයි. තවද මෙම අවස්ථාවේ ඇගේ කිළිකුණු රැගත් රෙදි නැන්දා පැමිණෙන බවත්. දුවණිය දොරට වැඩූ බවත් මෙම සංඥාවෙන් දැක්වේ. තවද විශේෂයකි. එනම් ඇයගේ කැවිලි වට්ටිය තරුණ කිසිවෙක් ඉඳුල් නොකිරීමය. එසේ වුවහොත් ප්‍රතිඵලය අශුභදායක විය හැකිය. මෙසේ මල්වර කරුණු කාරණා නිම වීමෙන් පසු ඇය ළැමිස්සියක් වීමේ සියලු භාග්‍යයන් ලබන හෙයින් දින කීපයක් නිවසට වී සිටි ඇය සුපුරුදු පාසල් යාමේ හා අකුරු කිරීමේ ක්‍රියාවේ යෙදෙනු ඇති. මේ ඇයගේ ප්‍රථම මල්වරය සේම ප්‍රථම ජීවිත සන්ධිස්ථානය පසුකිරීමක් වනු ඇත. අද සිට ඇය පින්වත් කුමාරියක් ලෙස වැඩෙනු ඇත.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.