මුහුණේ හැඩය අනුව හෙළිවන චරිත ලක්ෂණ

දෙසැම්බර් 24, 2021

එක් එක් අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ හා ජීවන චර්යාවන් මෙසේ යැයි දක්වා ඇත. එහෙයින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට රිසි ඔබ තමන්ට හමුවන අය නිවැරැදිව හඳුනාගැනීමට හැකිනම් එය අපේ ජීවිතයට වඩාත් වැදගත් වේ.

කාන්තාවක නම් ඇඟේ මුහුණ වටකුරුව හා පියකරු පෙනුමෙන් යුක්ත නම් සැබැවින්ම ඇය භාග්‍යවන්තියකි. ඉතා දිළිඳු පවුලක උපත ලැබුවත් පසුකලක ඈ ධනවත්වන්නීය. තම පරපුරද බබළවන්නීය. විවාහ ජීවිතය ද වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දූ දරුවන් ලබන්නට ද ඇය පින්වන්තය. මුහුණේ දිග හා පළල එක සමානව ඇති මසින් පිරී ගිය මුහුණක් ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්ෂය. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක් වුව ද පසු කලෙක මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණු ූකර ගත හැකිය.

සැබෑ දක්ෂතාවයක් හා වාසනාවක් ඇය සතුය. කාන්තාවකගේ නළල් තලයද පැරණි ඍෂිවරුන් මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇත. අඩසඳක්වන් ශෝභමාන පුළුල නළල් තලය සෞභාග්‍යවත් නාරි ලක්ෂණයක් ලෙස හඳුන්වා ඇත. මුදු මොළොක් වදන් පවසන ඇය මනුෂ්‍යයන් අතර දෙවඟනක් බඳු ය.

දේහ ලක්ෂණ අනුව කෙනකුගේ මුඛයට ද හිමිවන්නේ විශේෂ තැනකි. එහි විශාලත්වය හා පිහිටීම අනුව ද කෙනකුගේ චරිතය ගැන යම් යම් ප්‍රකාශනයන් කළ හැකිය. විශාල මුඛයක් පිහිටීම කරුණාවන්ත බවේ සංකේතයකි. තදින් වැසුණු කුඩා මුවක් ඇති පුද්ගලයා විශ්වාස කළ නොහැකිය. දෙකෙළවර පහතට නැමුණු මුඛයක් ඇත්තා උදාසීන චරිතයක් ඇති ආත්මාර්ථකාමී කපටි අදහස් ඇත්තෙකි. කෙනකුගේ තොල් සඟල සිරස් ඉරකින් නැතිනම් රේඛාවකින් අවසන් වේ නම් එවැන්නකුට තෘප්තිමත් චරිත ස්වභාවයක් ඇති අතර, ප්‍රබල චරිතයක් ද හිමිවෙයි. තොල් පළල්ව පිහිටි අය කාමුක ගතියෙන් වැඩි අතර, ශිෂ්ටත්වයෙන් අඩු බවක් පෙන්නුම් කරයි. බෙහෙවින් පටු නළලින් නොමේරු මනසක් ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පුද්ගලයකු හඳුනා ගත හැකිය.

කොතනක ගියත් කාගේත් අවඥාවට ලක්වන ඔවුන් තුළ පිහිටි නොමිනිස් ගති පැවතුම් නිසාමය. දුර්වල ධාරණ ශක්තියක් ඇති එවැන්නෝ ඉගෙනීමට ද අදක්ෂයෝ වෙති. අභාග්‍යවන්තකම ඔවුන්ගේ ජන්ම දායාදයකි.

කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව ඉන්නෙක් පිහිටීම ශුභ ලකුණක් බව පූර්වාචාරින් නිගමනය කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිඳවන ඇය සුපින්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත්වීමට වාසනාව ඇත. ඇහිබැම සිට ඉදිරියට නෙරා ඇති නළල් තලයක් පිහිටියේ නම් අහංකාර ගති ඇතිවීම ද, කපටි ගතිය ද වාද විවාද වලදී ඉක්මනට කෝපවන ගතිය ද, බද්ධ වෛරය ද නොකටයුතුකම්වලින් සතුරන් ඇතිකර ගැනීම ද නිතර ලෙඩින් පෙළීම ද සිදුවේ.

කෙලින් පිහිටි නාසය ඇති කාන්තාවට නොයෙකුත් සුබඵල ගෙන දෙයි. යන එන හැම තැනකදීම මුල්තැන හිමිවෙයි. මෙබඳු කාන්තාවන් ඉතාම වාසනාවන්තය. සැප සම්පත් හිමි යහපත් සැමියකු ද ලැබෙනු ඇත. දික්වූ නාසයක් පිහිටියේ නම් ඇය වඩා දුක් කරදර උසුලයි. මෙය ඉතා අසුබ ලකුණක් බව දේහ ලක්ෂණ විද්‍යාවෙන් පෙන්නුම් කරයි.

දෙකට බෙදීගිය නිකට ඇති පිරිමින් ඔබ කොතෙකුත් දැක ඇත. සකසුරුවම් අන්දමින් ජීවත්වෙන ඔවුන් කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වන්නාහ. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට බොහෝවිට එවන් නිකටක් පිහිටයි. පළල් නිකටින් ප්‍රදර්ශනය වන්නේ ධෛර්යවත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ක්ෂණික තීරණ ගන්නා ඔහු අටලෝදහමින් කම්පාවන්නකු ද නොවේ. මුහුකුරාගිය බුද්ධි බලයක් ද ඔවුන් සතුය.

බැලූ බැල්මට කැපී පෙනෙන තවත් අංග ලක්ෂණයක් වූ දෙබැම ද දේහලක්ෂණ විද්‍යාවේදි විශේෂ තැනක් හිමිවේ. ඒ අනුව දෙබැම අනුසාරයෙන් ද කාන්තාවකගේ චරිතය විනිවිද දැකීමට පුළුවන. එබඳු අවස්ථාවකදී කෘත්‍රිම දෙබැම ගැන සැලකිලිමත් විය යුතුය. සුනිල වර්ණ සුසිනිදු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩය ගත් බැමි යුග්මය ප්‍රශස්ථ ලක්ෂණයක් බව පැරණි ඍෂිවරුන් ප්‍රකාශ කර ඇත. ඉසුරුමත් දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි එවැනි ලක්ෂණ පිහිටන බව කියැවේ.

ඇදක් නොමැති දෙපසට විහිදයන දෙබැම අසුබ ලක්ෂණයකි. කාන්තාවක් කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලි ගති පැවතුම් බොහෝ විට ඇය කෙරෙහි දක්නට නොලැබෙයි. ප්‍රමාණයට වඩා රෝම ඇති බැමි යුගලය ද අනිෂ්ඨ ලකුණක් බව දැන ගත යුතුය. කාන්තිමත් පෙනුමකින් යුග් නිල් පැහැති නෙත් යුවලක් හිමි කාන්තාව බොහෝ සැප සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයා ද වාසනාවන්ත වූ දරුවන් ලැබ දිවි ඇතිතුරාම සතුටින් ගත කරති.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.