සිනහව විඩාපත් සිතට ප්‍රතිකාරයකි

දෙසැම්බර් 17, 2021

අපේ ජීවිතය සතුට හා දුක අතර ගෙවී යන්නෙකි. මුළු ජීවිත කාලයේදී අපි දුක මෙන්ම සතුට එකසේ විඳ ඇති නිසා සිනහව කඳුළ කාටත් පොදුය. කඳුළට වඩා බොහෝ දෙනෙක් සිනාසෙන්නට කැමතිය. එහෙත් සතුටු කඳුළු ද නැත්තේ නොවේ. සිනාසිය හැක්කේ සතුටේදී පමණි. එහෙත් දුක්දරා ගෙන කඳුළ සඟවාගෙන සමාජයට සිනාසෙන අයද සිටිති. සතුටු සිනා ලස්සනය.

කඳුළු අතරින් සිනාසෙන විට ඊටත් වඩා සුන්දරය. කෙසේ නමුත් සිනහව මිනිසාට උරුම වූ සුන්දර මනෝභාවයක් පමණක් නොව අපේ ශරීර සෞඛ්‍යයට හිතකර හෝමෝන මුදා හැරීමට උපකාරිවන අභ්‍යන්තර ක්‍රියාවලියකි. එනිසා සිනහව නිරෝගි සැහැල්ලු දිවි පෙවෙතක් ගතකිරීමට හේතුවනවා වගේම සමාජ ජීවිතයේදී අන් අයගේ සිත් දිනාගෙන ජීවත්වීමට සිනහව ප්‍රබල කාර්ය භාරයක් ඉටු කරයි. අපි කවුරුත් සිනාසී ඇත්තෙමු. සිනාසෙමින් සිටිමු. එහෙත් ජීවිත කාලය පුරාම සිනාසීමට වාසනාවන්තයෝ නොවෙමු. එසේ වුවත් කුමන අවස්ථාවක හෝ සතුටින් සිනාසීමට අවස්ථාව උදාකර ගැනීමට ක්‍රියා කරමු. කුඩා කාලයේදි අපි ජීවිතය ගැන සැහැල්ලුවෙන් සිතන නිසා සිනාසෙන වාර ගණන වැඩිවේ. ඒ එකතු ජීවිතයේ බරපතළ කමක් නොතේරෙන නිසාවෙනි. ඒ ජීවිතයේ ගැටලුවලට මුහුණ නොදීම මෙන්ම ඒවා විසඳීමට ක්‍රියා නොකිරීම හේතුවෙනි. එනිසා ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගෙවා දමයි. පෙර පාසල් දරුවකු දිනකට 400 වතාවක් සිනාසෙන බව ඒ පිළිබඳව පර්යේෂණකෙරූ මනෝවිද්‍යාඥයෝ පවසති. එහෙත් වැඩිහිටියෝ දිනකට සිනාසෙන වාර ගණන 15 ක් තරම් අඩු මට්ටමක පවතින බවද සොයාගෙන ඇත. සිතේ සතුටට සිනාසෙන නමුත් සිනහව ශරීරයේ මුළු ඉන්ද්‍රියන්ට බලපාන අතර, එය ගතේ මෙන්ම සිතේ මනා සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කිරීමට හේතු වේ.

සිනාසෙන විට ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වේගවත් වේ. උදරයේ, බෙල්ලේ, උරහිස්වල මුහුනේ චලනය ද වැඩිවේ. මේ නිසා රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර සමට ආසන්නයේ ඇති රුධිර කේශනාලිකා විස්තාරණය වේ. සිනාසෙන විට මුහුණ , කන්, රතුවන්නේ මේ නිසාය. සිනාවේදී ‘අංග‘ චලන වැඩිවන තරමට ශරීරයට සිදුවන සුවසෙත ද වැඩිවේ.

එක් මින්ත්තුවක් සිනාසීම සිරුර විනාඩි 45 ක් ඉහිල්ව තබා ගැනීමට සමාන යැයි වෙද්‍යවරු පවසති. විනාඩි 10 ක් ව්‍යායාම කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල සියක් වාරයක් සිනාසීමෙන් ලැබේ. සිනාවේදී ශරීර අභ්‍යන්තරයට එන්ඩ්‍රොපීන් නැමැති රසායනය වැඩියෙන් ශ්‍රාවය වේ. මෙයින් ශරීරයට සුවදායක තත්ත්වයක් මෙන්ම මේදයේ ක්‍රියාකාරිත්වය ද වැඩි දියුණු වේ. මේ නිසා මේදයේ සතුටු කලාප වැඩි වැඩියෙන් උත්තේජනය වන බව පරික්ෂණ මඟින් හෙළිදරව් වී ඇත. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්නි කෑන් පවසන්නේ සිනහව මානසික ආතතිය අඩුකරලීමට හේතුවන බවයි. ආතතියට පත්වී ඇති අයකු සිනහගන්වන්න පුළුවන් නම් සිතේ ඇති කනස්සලු ගතිය පහවීම නිසා මනෝභාවයන් වෙනස්වීමෙන් ආතතියෙන් මිදි මානසික පීඩාකාරි බව දුරුවන බවයි. සිනාවෙන් සිත සැහැල්ලුවන අතර, ආතතියෙන් මිදීම හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියම ශක්තිමත් වේ. රුධිර පීඩන මට්ටමද පාලනය වේ. ශරීරයට එකතුවන අහිතකර රසායන ප්‍රමාණය සිනහව නිසා අඩුවන අතර, රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකර ගැනීමට හේතුවන සීමිත සාධක අතර සතුටින් හා විනෝදයෙන් සිටීම ප්‍රධාන වේ. පුද්ගලයෙක් මානසික ආතතියෙන් පෙළෙන විට ශරීරයෙන් ශ්‍රාවය වන කෝටිසෝල් සාන්ද්‍රණය මි.ලීටර් 300 ක් තරම් ඉහළ ප්‍රමාණයක් වේ. සතුටු සිනා මඟින් එය මිලිලීටර් 30 දක්වා අඩුකර ගත හැකි අතර, එයින් ආතතියෙන් මිදීමට හැකිවේ. ඒ අනුව ශාරිරික හා මානසික නිරෝගිතාව සඳහා සිනහව චිකිත්සා ක්‍රමයක් ලෙස භාවිත කරයි. කොක් හඬලා සිනාසීමෙන් මනුෂ්‍ය ශරීරයට සිදුවන යහපත අති විශාලය.

මානවයාගේ පරිනාමය පුරාම පවතින සිනහව පිළිබඳව විද්වත්හු පර්යේෂණ පවත්වා ඇත. මිනිසාට සුවිශේෂ වූ සිනහව පිළිබඳව අනෙක් විද්‍යාඥයින්ට වඩා මදක් වෙනස්වූ මතයක් පුරෝගාමි මනෝවිද්‍යාඥයකු වූ සිග්මන් ප්‍රොයිඩ් විසින් ඉදිරිපත් කර ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ පුද්ගල අවිඥානය තුළ ගිල්වා ඇති තෘප්තිකර ගැනීමට නොහැකි වූ සිතුවිලි, හැඟීම්, ආශාවන්, රුචි අරුචිකම් හා බලාපොරොත්තු බිඳවැටීම් ලිහිල්කර ගනිමින් මානසික පීඩනයන් මුදාහැරීමට සිනහව එළිදක්වන බවයි.

මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම සමාජීය සත්වයකු ලෙස ජීවත්වීමේදී සිනාව අත්‍යාවශ්‍ය සන්නිවේදන මාධ්‍යයකි. එසේම සමාජ සබඳතා ඇතිකර ගැනීමට, සමාජානුයෝජනයට, හිතවත්කම ඇතිකර ගැනීමට මෙන්ම පවතින සබඳතා තහවුරු කර ගැනීමට ද සිනහව ප්‍රයෝජනවත් වේ. සිනහව අදහස් පළ කිරීමේ ප්‍රබල මාධ්‍යයකි. වචන 1000 කින් කියන්න නොහැකි දේ එක් සිනහවකින් ප්‍රකාශ කළ හැකි බවට සමාජයේ ප්‍රකට කියමනක් ඇත. මෙහි විශේෂය නම් සිනහව අවාචික සන්නිවේදන ක්‍රමයකි. ජයග්‍රහණය , සතුට, සාර්ථකත්වය, ආදරය එළිදැක්වීමට සිනහව ප්‍රබල මාධ්‍යයකි. සිනහව ඉනාවක් යැයි ඉතා පැරණි කියමනක් අප සමාජයේ ප්‍රකටය. කෙනකු දකින විට යහපත්ව ප්‍රසන්නව හිනාවෙන්නේ නම් එම පුද්ගලයා දකින අයද සතුටු වේ. සිත පැහැදේ. ඔහු සමඟ සුහදතාවයක් ඇතිකර ගැනීමට පළමු හිනාවම ප්‍රමාණවත් වේ. සිනහව ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක් කරයි. ප්‍රසන්න සිනාව සිත් ඇදගැනීමට සමත් ලක්ෂණයක් වන අතර, සිනාමුසු මුහුණින් සිටින පුද්ගලයකුට කවුරුත් කැමති වෙයි. සුහද වෙයි. ඒ වගේම මුහුණේ සිනහ පොදක් නැතිව බුම්මාගෙන ඉන්න අයට කවුරුත් කැමති නැත. ඔවුන් පොදු සමාජය විසින් ප්‍රතික්ෂේප කරයි. හුදකලා කරයි.

හිනාවෙන්න නම් විහිළුවක් තහළුවක් එහෙම නැත්නම් හාස්‍යජනක දෙයක් තියෙන්න ඕන යැයි බොහෝදෙනාගේ මතයයි .එහෙත් හිනහවෙන්න විහිළුවක් තියෙන්නම ඕන නැත. සුහදතාවය ප්‍රකාශ කරන්න සිනහ වේ. එහි මිහිරි බවක් නැත. එමෙන්ම තම සතුට, ආදරය සිනහවෙන් ප්‍රකාශ කළ හැක. සිනහවීමට තවත් එක් අයෙක් හෝ සිටිය යුතු යැයි තවත් අදහසකි. එයින් කියවෙන්නේ තනියෙන් හිනාවෙන්න බැරි බවයි. තනියෙන් හිනාවෙන්නේ පිස්සෝ යැයි එනිසා සමාජ මතයක් ගොඩනැඟී ඇත. ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන විහිළුවලට සිනාසීමට දෙන්නෙක් සිටිය යුතු නොවේ. එහෙත් තවත් අය සිටියහොත් සතුට දෙගුණ, තෙගුණ කර ගත හැකිය. වර්තමානයේ සෑම මාධ්‍යයකින්ම වාගේ සිනහගන්වන හාස්‍ය උත්පාදන වැඩසටහන් ඉදිරිපත් කිරීම සුලබ ලක්ෂණයකි. ඒ වත්මන් කාර්ය බහුල සමාජයේ විහිළු වැඩසටහන්වලට වැඩි ඉල්ලුමක් ඇති හෙයිනි. දවස පුරා රැකියාව කර සවසට නිවසට එන පුද්ගලයින්ට මේ විහිළු වැඩසටහන් මහත් අස්වැසිල්ලකි. එය බොලඳ ද, ගැඹුරු ද, ශාස්ත්‍රිය ද යන්න වැදගත් නොවේ. කාර්ය බහුල රාජකාරි ජීවිතයෙන් මිදී නිවසට එනවිට ගෙදරත් ප්‍රශ්න නම් ආතතිය දෙගුණ තෙගුණ වේ. වර්තමානයේ බොහෝවිට සිදුවන්නේ එයයි. මේ නිසා ගෙදර ප්‍රශ්න ඇතිවී පවුල ද අවුල් වේ. එනිසා කොතරම් කාර්යබහුල වුවත් සිනහාවෙන් සතුටින් සිටිය හැකි අවස්ථාවන් මඟහරින්න එපා. සතුට, විනෝදය, සිනහව යන දේවල් ජීවිතයෙන් බැහැර කළ හැක්කක් නොවේ.

විහිළු තහළුවලින් විනෝදාස්වාදය ලබන අයට හෘද රෝග වැලඳීමේ අඩුවක් ඇති බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. විහිළු තහළුවලින් විනෝදාස්වාදය ලැබිය හැකි ආකාර දෙකකි. අපි තවත් අය සමඟ එක්ව විහිළු තහළු කිරීමෙන් සිනහ සීම, සතුටු වීම, සක්‍රීය හාස්‍යය වන අතර චිත්‍රපටි, ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් නරඹා විනෝදවීම, සතුටුවීම හාස්‍ය ලෙස දැක්වේ. විහිළුවෙන්, විනෝදයෙන් හිනාවෙන් එදිනෙදා වැඩකටයුතු කළ හැකි නම් ආතතියෙන් තොරව මානසික සතුටින් දිවිය ගෙවිය හැක. රොබට් ප්‍රෝවීන් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ හාස්‍යයට, විහිළුවට සිනාසෙන්නේ 10% ක් -20% පමණ ප්‍රතිශතයකි. බොහෝ අය හිනාවෙන්නේ වැදගැම්මකට නැති ප්‍රකාශයකට හෝ කතාබහ අතර ඇතිවන විශේෂ සිද්ධිවලටයි. ඒ අනුව හාස්‍ය කවදාවත් සිනහවට සීමා නොකළ යුතු බවත් විහිළුව ඉක්මවා ගිය ගැඹුරක් සිනහව තුළ ඇති බව ප්‍රෝවීන් සඳහන් කරයි. මේ අනුව පෙනීයන්නේ නිරෝගී සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමට සිනහව හේතුවෙනවා වගේම සමජයේ ජීවත්වීමේදී අන් අයගේ සහය ඇතිව සිත් දිනාගෙන දිවි ගෙවීමට සිනහව ප්‍රබල කාර්යභාරයක් සිදුකරන බවයි. එමෙන්ම සිනහව හුදු මනෝභාවයක් පමණක් නොව ජීවිත ගමනේ විඩාව සංසිඳුවන අගනා ප්‍රතිකාරයකි.

 

කෝනාර එම්.ගුණපාල

බංගදෙණිය සමූහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.