දේව විශ්වාස අභිචාර විධි හා ස්කන්ධ කුමාර දෙවියෝ

දෙසැම්බර් 10, 2021

ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියෝ

ස්කන්ධ, කුමාර, කාර්තිකේය ලෙස ද , දකුණු ඉන්දියාවේදී සුබ්‍රමණියම් (සුබ්‍රහ්මණ්‍ය) මුරුගන් හා මුරුගා යන නම්වලින් ද, යුද්ධාදිපති ලෙසද මෙම දෙවියන් හැඳීන්වෙන අතර ලංකාවේදි කඳකුමරු හෙවත් ස්කන්ධ දිව්‍ය රාජයා ය. මහාවංශයෙහි සඳහන් පරිදි ස්කන්ධ කුමාර දෙවියන්ගේ වාස භවන කාචරගාම, කජරගම, කදරගම, වර්තමාන කතරගම වශයෙන් හැඳින්වෙන අතර කහකුරුලු සන්දේශය සහ රොබට් නොක්ස් ගේ වාර්තා අනුව, මුල් කාලයේ වැඩිහිටි කන්දේ පිහිටි මෙම දෙවොල මැණික් නදිය අසබඩ ඉදිකරන ලද්දේ 18 වන සියවස ආරම්භයේ දී ය.

ස්කන්ධ කුමාරෝත්පත්තිය

හින්දු ඉතිහාස ග්‍රන්ථ වලට අනුව, ස්කන්ධ කුමාරෝත්පත්තිය පිළිබඳ දැක්වෙන ශිව දේව පුරාවෘත්තයෙහි දැක්වෙන්නේ මෙසේය, වරක් තාරක අසුරයාගෙන් දෙවියන්ට මහත් කරදර පැමිණියේ ය. තාරක අසුරයා, වැනසිය හැක්කේ ශිව ගේ දරුවකුට පමණකැයි දෙවියන්ට පෙනිණි. එහෙත් ඒ වන විට “ශිව” හිමාල වනයෙහි තවුස් දම් පුරමින් සිටියේ ය. එබැවින් දෙවියෝ උපායක් යෙදුහ. එනම් තම දියණිය වූ “පාර්වතිය” ශිව තවුසාණන්ට උපස්ථානය සඳහා යොදවනු ලැබීමයි. එහෙත් කිසිදු අයුරකින් ශිව තවුසා පහදවා ගැනීමට ඇය

අපොහොසත් වූවාය. ශිව වසඟකර ගැනීමෙහි ලා පාර්වතියට උපකාර කිරීමට පැමිණි “කාම දෙවියන්” පවා ශිවගේ නළල් තලයේ තෙවැනි ඇසින් විහිදුණ රශ්මියෙන් දැවී ගියේ ය. ශිව වසඟයට ගැනීමේ සියලු ප්‍රයන්ත නිශ්ඵල වූ විට පාර්වතිය ද සියලු ආභරණ මුදා චාම් පිළියෙන් සැරසී තවුස්දම් රැකීමට පටන් ගත්තා ය. සන්සුන් සිතින් තවුස්දම් රකින පාර්වතී දුටු ශිව තවුසා තුළ සෙනෙහසක් ඉපිද ඇත. අනතුරුව ඔවුන් අතර සිදු වූ මංගලෝත්සවයට දෙවියෝ ද සහභාගි වූහ. කල් නොයවා ඔවුන් දෙදෙනාට දාව පුතෙක් ලැබිණි.

එම පුතණුවන් “ස්කන්ධ” නමින් ප්‍රකට විය. බලසම්පන්න රණ ශුරයකු වූ ස්කන්ධ තාරක අසුරයා පරාජය කළේය. (මහා භාරතයට අනුව මෙම වෘත්තාන්තය මද වෙනසක් දැක්වේ.) පුරාණ ග්‍රන්ථවලට අනුවද ශිව යනු ස්කන්ධ ගේ පියා බව නිසැකව සඳහන් වේ.

දේව ඇදහිලි වර්ධනය වීම

හින්දු ආගම යනු සිත්සේ වැඩුණු වනාන්තරයක් බඳුය ඒ තුළ ඉඩ ඇති සෑම තැනකම විවිධ ශාක හා පැළෑටි වැවෙන්නා සේ හින්දු ආගම තුළ ද කාලාන්තරයක් තිස්සේ විවිධාකාර ඇදහිලි නිදහසේ වර්ධනය විය. එබැවින් එය විස්තර කිරීමට කරන හැම වෑයමක්ම ඝන වනාන්තරයකින් එක් පාර්ශවයක් පමණක් විස්තර කිරීමට කරනු ලබන උත්සාහයක් වැනිය.

දකුණු ඉන්දීය ප්‍රභවයන්ගෙන් විකසිතවන ලක්දිව දේව සංකල්පවල ඉතිහාසය සොයා බැලීමේදී ඊජීප්තු මෙසපොතේමියා වැනි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් පෙන්වයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විසල් ප්‍රදේශයක් වසා පැතිර පැවති බව නෂ්ටාවශේෂ වලින් මනාව පැහැදිලි වේ. හරප්පා ශිෂ්ටාචාරයට අයත් ජනයා පිළිබදවද විවිධ මත දැක්වෙයි. ඔවුහු ප්‍රාග් ද්‍රවිඩ වශයෙන් ද මතයක් වෙයි.

වෛදික ඇඳහිලිවලට අනුව එකම විධියේ බලයක් දෙවිවරුන් කිහිප දෙනෙකු සතු වන අවස්ථාද ඇත. වෛදික ආර්යයන් විසින් දෙවිවරුන් හඳුන්වා තිබෙන්නේ මිනිසාට හිතසුව සලසන බලවතුන් හෝ රණශුරත්වයෙන් යුතු අධිපතීන් ලෙස ය.

ස්කන්ධ දේව නාම

ක්‍රි.ව. 5 වන 6 වන ශත වර්ෂවල “ස්කන්ධ කුමාර” ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වය පත් වූ බවට කාලිදාසයන්ගේ “කුමාර සම්භවය” කෘතිය අනුව පැහැදිලිය. ඔහු සිය කෘතිය තුළින් පවසන්නේ ස්කන්ධ කුමාර ජාතික දෙවියකු හැටියටය. මහා කවි කාලිදාසයන් සිය “මේඝ දූතය” තුළ ස්කන්ධ කුමාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරන විස්තරයකින් ද වර්ණවත් කරයි.

ස්කන්ධ කුමාර වෙනුවෙන් භාවිත වන නාමයන් කිහිපයකි. විශාඛ මහීපති හෙවත් ජිනාකසේන, විනයකසේන, ලෝභිත ගාත්‍ර, නිර්මල, අග්නිපුත්‍ර, කාර්තිකේය, ක්‍රත්තිකාපුත්‍ර, බ්‍රාහ්මණ්‍ය, ස්වාමි යනුවෙනි. ස්කන්ධ කුමාර ගේ රූප කාය ස්කන්ධ යාගයට අනුව. ඔහු සදාකල්හිම තරුණය. මුහුණ සයෙකි. ශරීර වර්ණ රන් පැහැයෙන් යුක්තය., රතු පැහැ කාන්තිය විහිදුවයි.රණ මයුරකු හා නිතර සැරිසරයි. කිසි විටෙක ශක්තියෙන් නොපිරිහේ. හැම විටම ජයග්‍රහණයේ සීනු සහ කොඩි දරයි. මවුවරුන් පිරිවරා වැඩ සිටී.

ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේ දී බුදු සමය සමග මිශ්‍රවීමෙන් දියුණුවට පත් දේව විශ්වාසයන් හේතු කොට ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි දෙවොල් ඉදිවූ අතර කතරගම දේවියන් උදෙසා ද එවැනි ස්ථාන ගොඩනැගුණි.(ගඩලාදෙණිය, ලංකාතිලක, ඇම්බැක්කේ, අලුත්නුවර ආදී දෙවොල්) ඒ සමගම ස්කන්ධ දෙවියන් පිදීම පිණිස චාරිත්‍ර හා පුද සිරිත් ලාංකේය දේව පංතියේ අනෙකුත් දෙවිවරුන් උදෙසා ද සිදු කරන්නට විය. (උදාහරණයක් වශයෙන් කප් සිටුවීම, ගිනි පෑගීම, කාවඩි නැටීම, දිය කැපීම ආදි දේ.)

ස්කන්ධ දෙවියන්ටම විශේෂ වූ පූජා විධි

රෝහණ දේශයට අධිපති කඳසුරිඳු උදෙසා පවත්වනු ලබන ඇසළ උත්සවයේ කාවඩි නැටුමට ලැබෙන්නේ සුවිශේෂ බවකි. (කතරගම දේවාලයෙහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවයන් අතර ඉතාම විසිතුරු වූත් අති විශාල පිරිසකගේ සහභාගිත්වය ලබන්නා වූත් මංගල්‍යය ඇසළ උත්සවයයි. අවසාන උත්සවය වන්නේ ඉල් මහ මංගල්‍යයි.) ද්‍රවිඩ ගැමි නැටුම් විශේෂයෙක් වන කාවඩි නර්තනය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නර්තනයට සහභාගි වන අතර එය දැඩි දේව භක්තියකින් සිදු කෙරෙන්නකි. එසේම මෙම නර්තනය දෙවියන් ආරුඪ වූ විලාශයක් ද මූර්තිමත් කරයි. දෙවියන් පිනවීම උදෙසා පැවැත්වෙන මෙම නෘත්‍ය කතරගම දේව ආශීර්වාදය ආරක්ෂාව ශාන්තිය ලබා ගැනීම වෙනුවෙන් කෙරෙන පූජෝපහාරයක් වශයෙන් සැලකිය හැකිය.කතරගම දෙවියන්ට පූජෝපහාරයක් වශයෙන් මෙන්ම ශාන්තිය ආරක්ෂාව පිහිට ප්‍රාර්ථනා කරමින් ගිනි පෑගීමද සිදු කරයි.

දේව භකිතියෙන් වශිකෘත වූ මිනිසා සාමාන්‍ය පුද්ගලයකුගේ ක්‍රියාකාරිත්වය ඉක්මවා නොයෙක් පීඩා විදගැනීමේ ශක්තියට සමවැදී ගිනිපෑගීම, බිම පෙරළීම, උල්කටු ආදියෙන් ශරීරය සිදුරු කර ගැනීම, මෙන්ම කාවඩි ආදී නැටුම් වලින් දෙවියන් පිදීම සිදු කරයි. කතරගම දෙවියන්ට භාර හාර ඔප්පුකරන ඇතැම් සිංහල හා ද්‍රවිඩ ජනයා කටුගසා එල්ලනු ලබන අතර ගිනිමැල ගසා මායම් බෙර ගසා කාවඩි බෙර ගසමින් මායම් වෙයි. ඇතැම් අය දේව බැල්ම ඇති පුද්ගලයන් වශයෙන් මායම් බෙරය අසා ඒවාට වශිකෘත වෙයි. ප්‍රධාන කපු මහතා මන්ත්‍ර ජප කොට ගිනිමැලය මැදින් ගමන් කළ පසු අනෙක් පිරිස ගිනි පෑගීම සිදු කරයි. හින්දු ආභාෂයට අනුව පැවත එන දේවාල පුද සිරිත් අතර කාවඩි නැටුමට විශේෂ ස්ථානයක් හිමි වෙයි. අතීතයෙහි කුලීනයන්ට සීමාවූ කාවඩි නර්තනාංගය වර්තමානය වන විට ජාති ,කුල, ආගම් භේද නොසලකා සිදු කෙරෙණු දක්නට ලැබෙයි. මුල් යුගයේ මෝලම් නම් දකුණු ඉන්දීය සංගීත භාණ්ඩය පමණක් යොදා ගෙන ඇරඹුණ කාවඩි නැටුම දෙවියන් සතුටු කරන මුල්කාලීන හින්දු ආගමේ ප්‍රධාන ශබ්ද පූජා උපක්‍රමයක් වශයෙන් සඳහන් කළ හැකිය.

කාවඩි වර්ග

පරවි කාවඩි, භක්ති කාවඩි, ගිනි කාවඩි, කිරි කාවඩි, මත්ස්‍ය කාවඩි වශයෙන් වර්ග කිහිපයකින් කාවඩි නර්තනයන් ප්‍රධාන වශයෙන් වර්ග කෙරෙයි.

කාවඩි නැටීමේදී උපයෝගී කර ගන්නා මෙවලම වන “කාවඩි කූඩුව” සම්මතපිළිවෙළකට අනුව තනා ගනී. ඒ සදහා භාවිතා කරන දැව වර්ග වනුයේ, කොස්, කෝන්, බෝ, සුදු සඳුන් පුවක් ආදී වර්ගයි. කාවඩි කූඩුව තුළ කතරගම දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ රූප යොදා ගනු ලබන අතර මොණර පිල්, මුලු හතරට හත බැගින් යොදා අලංකාර කර ගනු ලබයි. මෙම කූඩුව සෑදීමේදී තඹ සහ පිත්තල ඇණ පමණක් භාවිතා කරයි.

පරවි කාවඩි

අට්ටාලයක මතින් පහළට වැටුණ කඹයක කෙළවර ලෝහමය කොකු සමූහයක් වෙයි. බැතිමතා ලී තට්ටුව මත මුනින් දිගා වූ පසු ශරීරයෙහි තැනින් තැන කොකු අමුණයි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් කඹයේ ආධාරයෙන් ඉහළට ඔසවයි. කොකුවලින් එල්ලෙන ශරීරය නිදැල්ලේ පැද්දෙමින් ප්‍රදර්ශනය කෙරෙයි.

භක්ති කාවඩි

දේව භක්තිය කුළු ගන්වන පූජා ක්‍රමයකි. එය අසුර සංහාර දිනය, ස්කන්ධ කුමාරෝත්පත්තිය, වල්ලි මාතාව විවාහ කරගත් දිනය ආදී සිදුවීම් නිමිති කර ගෙන පවත්වනු ලබයි.

ගිනි කාවඩි

විශේෂ සැරසිලි කිහිපයකින් සමන්විත මෙම කාවඩි කූඩූව අළු කෙසෙල් පතුරු සහ ගොක් කොළවලින් සරසා මුළු හතරට මොණර පිල් හත බැගින් යොදයි.

අනතුරුව නාග පෙණ ආකාරයෙන් සැකසූ ගිනිපන්දම්වලින් සරසා සිරුර පුරා රිදියෙන් සැකසූ වේලායුධ 108 ක් ගසා ගනු ලබයි.

කිරි කාවඩි

කළු පැහැ කිරි එලදෙනක් සිය පැටවාද සමග ගෙන මනාව නහවා මල් මාලාවලින් සරසා සුවඳ දුම් අල්ලා පිරිසිදු කරගෙන කිරි දොවා ගනු ලැබේ. දොවාගත් කිරි පිරිසිදු මුට්ටිවලට දමා කට බැඳ කාවඩි කුඩුව දෙපස එල්ලනු ලබයි. ඉන් පසු ජනතාවට ආශිර්වාද කිරීමට කිරි කාවඩි නර්තනය පවත්වයි.

මත්ස්‍ය කාවඩි

මත්ස්‍ය කාවඩියෙහිදී බැතිමතුන් විශ්වාස කරන්නේ පිසූ මසුන් අධික දේව භක්තියට අනුව යළි පණ ලබා දියෙහි පීනා යන බවය. පිළිගත නොහැකි සිද්ධීන් ගෙන් යුතු නාම මාත්‍ර පූජා විශේෂයක් වශයෙන් මත්ස්‍ය කාවඩි හැඳීන්වෙයි. මෙය වර්ථමානයේ භාවිතයෙන් තොර ක්‍රමයක් වශයෙන් හැඳීන්වෙයි.

මෙම පූජාවන්ට අමතරව මැණික් ගඟෙන් නා පිරිසිදුවන ඇතැම් බැතිමතුන් පොල්ගෙඩියක් ද තුරුල් කරගෙන බිම පෙරළෙමින් දේවාලය කරා පැමිණ ප්‍රදක්ෂිණා කරමින් සිය පූජාවන් සිදු කරයි.

දේව සංකල්ප හා බුදු සමය

බුදු සමය අන්‍ය ලබ්ධිකයින්ගේ විශ්වාසයන්ට නොගැරහූ අතර, බොදු ජනයා ද අතීතයේ සිටම දෙවි දේවතාවුන්ගේ පිහිටාශීර්වාද ලබා ගත් අතර කාලයාගේ ඇවෑමෙන් ලෞකික ජීවිතාපේක්ෂාවන් කෙරෙහි යොමු වෙමින් දේව බලය කෙරෙහි ඇති ඇල්ම හේතු කොට ගෙන පූජණීය ස්ථානයකට ඇතුළු වී වැදුම් පිදුම් සිදු කිරීමේ ක්‍රම භාවිතය ද වෙනස් කරමින් ඇතැමකු ක්‍රියා කරන බව පෙනී යයි.

එනම් පූජනීය ස්ථානයකට ඇතුළුවන ඇතැමුන් පළමුව දේවාල ස්තොත්‍රයන්ට සහභාගි වන අතර, අවසානයට බෝධිය හා චෛත්‍යය වන්දනා කරනු ලබයි.

ඇතැම් බොදුණුවන්ගේ මෙම වැරදි ආදර්ශය වෙනස් වී පළමුව බුදුන් පිදීමත් දෙවනුව දෙවියන් නැමැදීමත් කළ යුතුය යන්න ලෙස නිවැරදි වීම යහපත් වේ.

ආගමික බලය හා අභිචාර බලය

ධාතු වංශයට අනුව, බුදුන්වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි කතරගමට වැඩි බවත් මහා ඝෝෂ නම් දෙවි කෙනෙකුට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා භාර දුන් බවත් සදහන් වෙයි. රෝග දුරු කර පිහිටාශිර්වාදය උදෙසා සිදු කෙරෙන පූජා ක්‍රම බුදු සමයට අනුව බල සංකල්ප දෙකක් වශයෙන් සඳහන් කෙරෙයි. එනම් ආගමික බලය සහ අභිචාර බලයයි.

හින්දු දේවාලවල තබා ඇති දේවාභරණවලින් හා ආයුධවලින් පෙන්නුම් කරන්නේ, දේව දිෂ්ටිය හා දෙවියන්ගේ බලය ඒවායින් නියෝජනය වන බවය.

ශාන්ති කර්මවල දී නැටුම් ගැයුම් වැයුම් සමග දේව ආභරණ තැන්පත් කිරීම් ආදියෙන් ශාන්තිකර්මවලට දෙවියන්ගේ පැමිණීම පිළිබඳ විශ්වාසය දේව දිෂ්ටිය යන අභිචාර ක්‍රියාවලිය ඔස්සේ ඊට එක්ව ඇති බව පෙන්වා දිය හැකිය.

මානව විද්‍යාඥයන්ගේ අදහස වන්නේ ආගම්වල ප්‍රාථමික අවදිය ගොඩ නැගී ඇත්තේ, අභිචාර විධි මුල් කොට ගෙන බවය. කෙසේ වූවද ආගම් ඇදහිලි හා විශ්වාස තුළින් ජනතාව තුළ සමාජීය වශයෙන් විශාල මෙහෙයක් සිදු කෙරන බව සමාජ හා මානව විද්‍යාඥයින්ගේ අධ්‍යයනවලින් හෙළි වේ.

බුදුන් පුදා දෙවියන් නමඳීමු

තමන්ට මුහුණ පෑමට සිදුවෙන විපත් ලෙඩ රෝග, අතුරු ආන්තරා සොර සතුරු බිය, ආර්ථික පීඩා අපල උපද්‍රව, දරිද්‍රතාව ආදී නොයෙක් ව්‍යසන වලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම ජයග්‍රහණ අත්පත් කර ගැනීම, ආර්ථික සමෘද්ධිය උදෙසා හා සහන අපේක්ෂාවෙන් හා පස මිතුරු විපත් දුර කර ගැනීම උදෙසා කතරගම දෙවිදුන් යැදීම සිදු කරනු ලබයි. මෙහිදී කතරගම දෙවිදුන් සතුටු

කිරීම උදෙසා අභිචාර විධි සහ මල් පහන් සුවඳ දුම් පුදන ආමිස පූජා මෙන්ම දේව ස්ත්‍රෝත්ත්‍ර ගායනා කිරීමෙන් කිසියම් මානසික සුවයක් සේම සෙත් ශාන්තියක්ද ලබන බවනම් නිරනුමානය

ඒ.සී. එස්. නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.