වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විවාහ අසාර්ථක වන්නේ ඇයි?
තම කේන්දරයේ දශා විදශාවන් හා ග්‍රහ ගෝචර ගමන් සලකා බලා තම භාර්යාව හෝ ස්වාමියා වෙනත් ආශ්රයන්ට පත්ව ඇත්දැයි තේරුම් ගත හැකිය.
ස්වාමියකු හෝ භාර්යාවක එවන් සිද්ධීන්ට ගොදුරු වීමෙන් දූ දරුවන්ට ද ආත්ම ගෞරවයෙන් සමාජයට මුහුණදිය නොහැකි වනු ඇත.
මෙවැනි ගැටලුවකට මුහුණ දුන් තරුණියකගේ කථාවකි මේ.
“මගේ මව විවාහ කීපයක් කරගෙන ඇත. මගේ පියා මිය ගියේ මා කුඩා කාලයේ නමුත් මට ඒ කාලයේ කරුණු හොඳ හැටි තේරෙනවා. මා කුඩා කාලයේ මගේ පියා පිස්සෙක් මෙන් හැසිරුණේ. සමහරදාට මායි නංගියි එක්ක කිසි තේරුමක් නැති ගමන් ගියා. මගේ පියා මළාට පස්සේ අම්මා අල්ලපු ගෙදර හිටිය බාප්පා කසාද බැන්දා. බාප්පගෙන් උපන්න මල්ලිලා දෙන්නෙකුයි, නංගියෙකුයි ඉන්නවා. මට දැන් වැටහෙනවා තාත්තා මැරෙන්න ඉස්සර ඉදලම අම්මා ඒ බාප්පත් එක්ක යාළු වෙලා හිටිය කියලා. තාත්තා ශරීරය කෙට්ටු දුර්වල කෙනෙක්. බාප්පා හැඩිදැඩි ශක්තිමත් අයෙක්. බාප්පා රක්ෂාව කළේ හමුදාවේ.අපේ අම්මා වෙන අය එක්කත් සම්බන්ධකම් පවත්වලා තියෙනවා. අපේ වත්තේ ගෑනු මේවා සේරම දන්නවා. අපේ තාත්තා අම්මට හරි ආදරෙයි. ඒත් අම්මා ආදරේ කළේ බාප්පට. දැන් වුණත් තාත්තා ගැන අපි මතක් කරනවාට අම්මා කැමති නෑ.”
එම තරුණිය කන්‍යා ලග්නයෙන් හා කටක නවාශංකයෙන් ඉපදී තිබිණි.
ඒ අනුව ඇගේ විසි දෙවන දෙර්කාණාධිපතියා ගුරුය. ගුරු හතරේ සිටිය අතර මව ගැන හතරෙන් පෙන්වයි. විසි දෙවන දෙර්කාණාධිපති වී ගුරු හතරේ සිටින විට මවගේ චරිතය අයහපත් බව ඡ්‍යොතිෂ න්‍යායකි.
පහත දැක්වෙන්නේ ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියාවූ කාන්තාවකගේ විවාහ දිවිය පිළිබඳ විස්තරයයි. ඇය ඉපදී ඇත්තේ 1958.12.05 දින සවස 4.28 ටය. ඇගේ උපන් වේලාවට සිංහ ලග්නය හා වෘෂභ නවාංශකය ද අද නැකතේ ප්‍රථම පාදය ද උදාව පැවතිනි. සිංහ ලග්නයේ ග්‍රහචාරය මෙසේ ය.
සිංහ ලග්නයෙන් හා වෘෂභ නවාංශකයෙන් උපන් බැවින් ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වී ඇත. හත අධිපති සෙනසුරු හතරේ සිටිය අතර සෙනසුරුගෙන් හතේ කුජ සිටී. මේ කරුණු දෙකම විවාහය සම්බන්ධයෙන් අයහපත්ය. නමුත් ඇය විවාහ වී ඇත. ලොකු පුතෙක්ද සිටී. මෙම කේන්දරයේ අට අධිපති ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වී ඇත. ගුරු පහ හා අට අධිපතියා වී ඇත. ශනිගෙන් හතේ කුජ සිටී. මෙම කරුණු සියල්ලම විවාහය සම්බන්ධයෙන් අයහපත් ය.
ඇගේ විවාහ ජීවිතය අසාර්ථකව විය යුතුය. පළමු විවාහය කැඩී යා යුතුය. පුත්‍ර කාරක ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වූ නිසාත් ගුරු පහ අධිපතියා වූ නිසාත් ඇගෙන් දරුවාට අයහපත් ය.
ඇයගේ විවාහ දිවිය ගැන ඇය කියා සිටියේ බැන්ද මුල් කාලයේ සිටම අද්ද අද්ද ඇවිත් මීට අවුරුදු තුනකට පෙර (1995) සම්පූර්ණයෙන් ම දෙදෙනා වෙන් වී ඇති බවය.
කොතෙකුත් කේන්දරවල ශනිගෙන් හතේ කුජ සිටිනු දක්නට ලැබේ. එය කේන්දරයේ කුමන භාවයක් සම්බන්ධව සිටියත් අයහපත්ය. එක පාරටම එය දුටු පමණින් ම පළමු විවාහය කැඩී යනු ඇතැයි පැවසීම අයෝග්‍යය. එසේ නොවූ අවස්ථා ද ඇති බැවිනි. එම නිසා සම්පූර්ණ ග්‍රහචාරයන්ට අනුව සමීක්ෂණයෙන් තීරණයක් ගත යුතුය.
විවාහ වී වසර කීපයකින් එක් අයකු විදේශ රැකියාවකට යාම නිසාද ඉහත සඳහන් අපල අවම වනු ඇත. ඇත්ත වශයෙන්ම එක් අයකු විදේශ ගතවී සිටීම යනු දෙදෙනා අතර අඹු සැමි සම්බන්ධය තාවකාලිකව නවතා තැබීමුත් වසර කීපයක් විදේශගතව සිට පැමිණි විට අලුත් යුවළක් මෙන් එක්වී සිටිනු ඇත. එහෙත් නැවත මාස කීපයකින්ම විදේශ ගත වන බව දැකිය හැකිය.
ඇතැම් අය විවාහ වී සති කීපයකින්ම විදේශ ගතවන අවස්ථාද දැකිය හැකිය.
මෙසේ විදේශ ගත වන ඇයගේ විවාහ ජීවිතය ගැන බැලීමේදී ආර්ථික වශයෙන් තත්ත්වය යහපත් වුවත් දෙදෙනාගේ මානසික තත්ත්වයද, අඹු සැමි සබඳතාවයද නාම මාත්‍රිකය.
විදේශ ගත වූ සමහරුන් සිය රටට පැමිණෙන විට සහකරු හෝ සහකාරිය වෙනත් සම්බන්ධතාවලට පැටලී අති බවද දක්නට ලැබේ.
ඇතැම් විට විදේශගතවී සිටියදී වෙනත් සම්බන්ධතා ඇතිකර ගන්නන් ද නැත්තේ නොවේ.
ගුරු විසි දෙවන දෙර්කාණාධිපතියා වූ විටද විවාහ බාධක ඇති කරයි. ලග්නය හා කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමිව උපන් අයෙකුගේ හතර හා හත අධිපතියා ගුරුය. හතර අධිපති වීමෙන් විසි දෙවන දෙර්කාණාධිපතියා වේ. ගුරු විසිදෙවන දෙර්කාණාධිපතියා වූ විට විශේෂයෙන්ම හත අධිපතියාත් වූ විට විවාහ බාධක ඇතිවේ. විවාහය පමාවීම යෝජනා පැමිණ ස්ථිර වුවත් විවාහ සිදු නොවීම අමාරුවෙන් හෝ විවාහය සිදුකර ගත්තත් කරදර බාධක මධ්‍යයේ යුගදිවිය ගෙන යාමට සිදුවීම, අතරමග විවාහය කඩා කප්පල් වීම, ජාතියෙන් හෝ කුලයෙන් හෝ වයසින් හෝ ආගමෙන් හෝ වෙනත් සහකාරයෙක් හෝ සහකාරියක් ලැබීම ආදී කරුණුය.ඉතා හොඳ යෝජනාවක් පැමිණ දෙපක්ෂයම කැමති වී විවාහයට දින නියම කරගෙන ලොකු හෝටලයක මඟුල් ගැනීමට අත්තිකාරම් මුදල් ගෙවූ බවද පසුව මනාලයාගේ වාසගම පරික්ෂා කර බැලීමේදී ඔහු වෙනස් කුලයක අයෙක් බව දැනගත් නිසා එය අත්හැර දැමිණි. එම කේන්ද්‍රය පරික්ෂා කිරීමේදී එය සාධාරණ බවත් ඇයට එසේ සිදුවීමට ඇති බවත් පෙනේ.
මෙහිදී තවත් කරුණක් ඇත. ඇතැම් අයගේ ග්‍රහචාරයන්ට අනුව ජාතියෙන්, කුලයෙන්, ආගමෙන් හෝ වයසින් වෙනස් සහකාරයෙක් හෝ සහකාරියක් ලැබීමට ඇති අවස්ථාද ඇත. නමුත් වැඩිහිටියන්, දෙමාපියන්, පරිසරය ඒවා අගයන විශ්වාස කරන, අගයන නිසා එසේ විවාහයක් කර ගැනීමට ඉඩ දෙන්නේම නැත. මෙය තදින්ම බලපානුයේ ස්ත්‍රී පක්ෂයටය. ඒ අය ඉතාම කැමති තරුණයාගේ එවැනි වෙනසක් නිසා වැඩිහිටි අකමැත්ත හේතුවෙන් ගෙදරට නාකිවන තරුණියන් කොතෙකුත් අප සමාජයේ ඇත.
ඡ්යොතිෂාචාර්ය රද්දොළුගම
ජේ.එම්.ඇස්.ජයකොඩි