නොවැම්බර් 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් 12, 2021

ලෝක ජනගහණයෙන් මිලියන දෙසිය පණහකට අධික සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙමින් සිටි අතර, එය දෙදහස් විසිපහවන විට මිලියන තුන්සිය අසූවට අධිකවන බව සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය කර ඇත. එමෙන්ම සෑම තත්පර දහයකට වරක් ලෝකයේ කොතනක හෝ දියවැඩියා රෝගීන් සිවුදෙනකු බිහිවන බවත් වාර්තාවේ. දියවැඩියාව බෝනොවන රෝග අතරින් වැඩිම බලපෑමක් ඇති කරන රෝගයකි.

මුලින් එය වැඩිහිටියන් අතර පැවැති රෝගයක් ලෙස සැළකුවත් වර්තමානයේ එය වයස අවුරුදු දහය, දොළහ, දහනමය ආදී දරුවන්ට ද වැළඳීමේ තත්ත්වයකට පත්ව ඇත. දියවැඩියාව නොහොත් මධුමේහය ගොදුරුවීමෙන් ඇතිවන සංකූලතා බොහෝ ය. මධුමේහය නිසි ලෙස පාලනය නොකිරීමෙන් ශරීරයේ සංකූලතා හෝ අතුරු ආබාධ හෝ බෙහෙවින් ඇතිවේ. ලෝක ජනතාවගෙන් බොහොමයක් අන්ධභාවයට පත්වන ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පාලනය නොකළ දියවැඩියාව නිසා ඇස්වල හටගන්නා සංකූලතා හේතුවෙන් හටගන්නා අන්ධභාවයයි.

රුධිරයේ සීනි ප්‍රමාණය තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිවීම මෙම මධුමේහය රෝගයට හේතුවයි. රෝගය වැළඳුණු විට කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකොට කාලයක්ම සිටිය හැකි රෝගයකි. ශරීරයේ සෑම අවයවයක්ම අඩපණ කළ හැකි දියවැඩියාව ඇස් අන්ධකරවීම, අංශභාගය, හෘදයාබාධ, වකුගඩු දුර්වල කරවීම පාද අහිමි කරවීම, ආබාධිත තත්ත්වයට පත්කරවීම ආදී බොහෝ දුක් දෙන රෝගී තත්ත්වයකි. ඕනෑම අවස්ථාවකදී වයස් භේදයකින් තොරව වැළඳිය හැකි මෙම රෝගය ගැන විමසිල්ලෙන් සිටීම හා නිසිලෙස ආහාර පාලනයෙන් සීනි භාවිතයෙන් වැළකී සිටීම වඩාත්ම ගුණදායකය. නිතර පිපාසය ඇතිවීම, වරින් වර අධික ලෙස මුත්‍ර පිට කිරීම, ශරීරය කඩිනමින් දුර්වලවීම, කෙට්ටුවීම, අධික ආහාර රුචිය, අධික වෙහෙස දැනීම, තුවාල සුව නොවීම, ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීම හා අත්පාවල වේදනාව ආදී මූලික ලක්ෂණ ඇතිවීමෙන් රෝගය ගැන දැනගත හැකි ය.

දියවැඩියාව නොහොත් මධුමේහය රෝගය තමාට ඇති බව දැන දැනත් නොසළකා සිටීමෙන් සමහර විට රෝගීන්ට හෘද රෝග, ආඝාතය, වකුගඩු ආබාධ වැනි රෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩිය. ස්ථුලතාවය අධික රුධිර පීඩනය රුධිරයේ අධිකව ඉන්සියුලින් පැවතීම ට්‍රයිග්ලි සරයිඩ් ටී.ජී සහ එල්.ඩී.එල් කොලෙස්ටරෝල් අධිකව රුධිරයේ පැවතීමත් දියවැඩියා රෝගීන් සංකූලතාවලින් පෙළීමට හේතුවකි. දියවැඩියාව නොහොත් මධුමේහය සඳහා කළයුතු පරීක්ෂණ අතර ප්‍රධාන පරීක්ෂණයක් වන්නේ නිරාහාරව සිට ගන්නා රුධිර පරීක්ෂණයයි. බොහෝ විට දියවැඩියා රෝගයට හේතු වී ඇත්තේ ආහාර රටාවයි. ආහාර ගැනීමේ දී වඩාත්ම සැලකිය යුත්තේ තමන්ට සුදුසු නුසුදුසු ආහාර තෝරාගෙන ආහාරයට ගැනීමයි. තෙල් බැදුම් හා තෙල් යොදා පිසිනු ලබන ආහාර කෑමට ගැනීම අඩු කිරීම, පැණිරස කෑමෙන් වැළකී සිටීම, කෙඳි සහිත ආහාර කෑම වැඩි කිරීම, රතු සහල්බත, නිවුඩ්ඩ සහිත බත් කෑමට උනන්දුවීම, කුරක්කන්, මුං ඇට වැනි ධාන්‍යවර්ගවලට යොමුවීම කොළ එළවළුවලට පළාවර්ගවලට කොළ කැඳට සීනි අඩු පලතුරු කෑම හා බිත්තර සුදු මදය ආහාරයට ගැනීම සුදුසු ය.

ආහාර ගන්නා වේල් ප්‍රමාණය වැඩිකොට ආහාර ගත යුත්තේ අඩුවෙනි. ආහාරගත් විගස නිදා ගැනීම අහිතකරය. ඇඟ වෙහෙසෙන ක්‍රියාවක යෙදී සිටීම වැදගත් ය. පාපැදියෙන් යෑම, ඇවිදීම, ගෙවත්තේ වැඩක යෙදීම නිරෝගීතාවය ඇති කිරීමට ප්‍රයෝජනවත් ය. දුම්පානය මෙන්ම මද්‍යසාර පානයද ඉතාම අහිතකරය. දුම්පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ගේ වකුගඩු දුර්වල වීම හා අංශභාග තත්ත්වය ඇතිවීමට ඉක්මන් වේ. එබැවින් මෙම ආහාර වලින් වැළකී සිටීම වඩාත්ම සුදුසු ය. සීනි, හකුරු, පැණි, සිසිල් බීම, පුඩිං, වටලප්පන්, අයිස්ක්‍රීම්, ජෑම්, චොක්ලට්, තෙල් අධික මස් වර්ග, සොසේජස්, මස් බැදුම්, පාන් පිටි කෑම වර්ග ක්ෂණික ආහාර පැකට් කෑම ජාති, පේස්ටි, මෝල්ටඩ් මිල්ක්, බටර්, චීස් ද අගුණය. බොහෝ රෝගීන් වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේට කටයුතු කිරීමට යෑම නිසා රෝගය උත්සන්නව බරපතළ තත්ත්වයට පත්වේ. රෝගීන්ගේ නොසැළකිලිමත් භාවය නිසා නොගත යුතු ආහාර පාන ගැනීමෙන් ශරීරයේ විවිධ ස්ථානවල මේද තැන්පත්වීමට පටන් ගනී.

වැඩිපුර මේද තැන්පත්වන ස්ථානවල සෛල ක්‍රියාවිරහිත වී පසුකාලීනව විනාශවී යයි. මේ නිසා රුධිරවාහිනීවල බිත්ති ඝනත්වයට පත් වී රුධිර පීඩනය වැඩි කරයි. එසේම වකුගඩුවලට රුධිරය සපයන ධමනි තුළ මේදය තැන්පත් වී පසුව රුධිර නාළ ඝනත්වයට පත්වීම නිසා වකුගඩුවලට ද රුධිරය සැපයීම අඩුවේ. රුධිර පීඩනය වැඩිවීමටත් වකුගඩු මියයෑමටත් හේතුවන්නේ එයයි. මේ නිසා හෘදයට ද රුධිරය සැපයීමට බාධා ඇතිවේ. මාංශ පේශීන් ද අඩපණ වේ. ඇස්වල සහ මොළයේ ද රුධිරය සැපයීම අඩුවේ. මින් සිදුවන්නේ අකර්මන්‍ය තත්ත්වයකට පත්වීමයි. ඒ සියල්ලෙන්ම සිදුවන්නේ රෝගියාගේ අවසානය පෙන්නුම් කිරීමකි. දියවැඩියා රෝගය ආහාර මඟින් බොහෝ සෙයින් පාලනය කළ හැකි ය.

දියවැඩියාව නොහොත් මධුමේහයෙන් පීඩාවිඳින රෝගීන් අක්‍රමවත් ආහාර රටාවෙන් ඉවත්විය යුතු ය. ඒ වෙනුවට රතු හාලේ බත (තම්බන ලද සහලේ බත) කෙඳි සහිත ආහාර අඹරැල්ලා, වැටකොළු, කෙසෙල් මුව, කෙසෙල්බඩ, කොළ මැල්ලුම්, කුඩා මාළු, පලතුරු ආදිය ආහාරයට ගත යුතු ය. සීනි නොයෙදූ බීම වර්ග පානය කිරීම ඉතාම වැදගත් ය. සියලුම වර්ගයේ පලතුරු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසු ය. පලතුරුවල ස්වභාවිකව පවතින සීනි (පෘක්ටෝස්) ඉක්මනින් හා පහසුවෙන් ග්ලුකෝස් බවට පරිවර්තනය නොවන නිසා ශරීරයට එතරම් හානියක් නොවේ. පලතුරුවල වැඩි ප්‍රමාණයක් කෙඳි තිබේ. ඒ නිසා පලතුරු ආහාරයට ගැනීමෙන් සීනි උරාගැනීමද ප්‍රමාද කරයි. තවද දියවැඩියා රෝගීන් වැඩිවශයෙන් ඉදුණු පලතුරු නොගත යුතු ය. ඕනෑම පලතුරක් මඳක් ඉදුණු පසුව ආහාරයට ගැනීම සුදුසුය. වට්ටක්කා, බීට්රුට්, බතල, කැරට් වැනි සීනි අඩංගු එළවළු වුවත් සුළු ප්‍රමාණයෙන් ආහාරයට ගැනීම වරදක් නැත. එයට හේතුව එම එළවළුවල අඩංගු සීනි ශරීරයට උරාගැනීමේ වේගය පාලනය කිරීමට ඒවායෙහි පවතින කෙඳි උපකාරී වන බැවිනි. පොල් ආහාරයට ගැනීමද අඩු කළ යුතු ය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන -

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.