දැයට සමුදුන් මහා පඬිරුවන වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

නොවැම්බර් 12, 2021

නොවැම්බර් මස 01 වෙනි දිනය මෙරට අධ්‍යාපන වංශ කතාවට එක් වූ සිරිලක ප්‍රධාන අධ්‍යාපන ආයතන දෙකක් ආරම්භ වූ දිනයක් බවට පත් වී ඇත. ඒ අනුව පළමුවෙනි අධ්‍යාපන ආයතනය බිහි වුයේ පැවිදි පිරිස වෙනුවෙන් මහා පිරිවෙණක් ලෙසය. එය කැලණියේ විද්‍යාලංකාර පිරිවෙණ විය. අතිපූජණීය ගරුතර රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මා හිමියන්ගේ නිර්මාතෘත්වයෙන් 1875 වසරේ නොවැම්බර් මස 01 වෙනි දින ආරම්භ වූ මෙම පිරිවෙණ පසුකලෙක විශ්ව විද්‍යාලයක් ලෙසද සම්මානිත විය. නොවැම්බර් මස 01 වෙනි දිනට දෙවනුව ඇරඹුණු විද්‍යස්ථානය ගිහි සිසුවන් වෙනුවෙන්ය.

1886 වසරේ නොවැම්බර් 01 වෙනි දින ආරම්භ වූ එම විද්‍යස්ථානය කොළඹ ආනන්ද මහා විද්‍යාලයයි. කොළඹ පරමවිඥානාර්ත බෞද්ධ සමාගමේ මෙහෙයවීමෙන්ද වාදීභසිංහ ශ්‍රී මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ සහ ත්‍රිපිටක වාගීෂ්වර හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ ලෙඩ් බීටර් තුමන්ගේ නායකත්වයෙන් බිහි වූ මෙම අධ්‍යාපන ස්ථානය මෙරට සිද්ධස්ථාන තරමටම ගෞරවණීය විය, වන්දනීය විය.

මෙම අධ්‍යාපන ආයතන දෙකෙහි පළමුවැන්න වූ කැළණියේ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කර වසර 146 ක් සපිරුනේ මෙම නොවැම්බර් 01 දාටය. එම සංවත්සරය සිහිපත් කරන පිං බර අවස්ථාව වන විට එම පිරිවෙණෙහි සත් වන පරිවෙණාධිපති පදවිය හෙබ වූ කැලණියේ විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා සත්ධම්ම ජෝතිකා ධජ අතිපූජණීය ගරුතර වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම මා හිමි, මල්වතු පාර්ශවයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහා හිමිපාණන් වහන්සේ 85 වසක් ආයු ශ්‍රී වින්දනය කර දැයට සමු දෙන්නේ බෞද්ධ ලෝකයම සොවට පත් කරවමිනි.වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැලමිටියාව නම් සොඳුරු ගම්වරයේ 1937 පෙබරාවාරි මස 09 වන දින උපත ලද කුමරුවකු, පළිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් හැඳීන්වින. මෙම පින්වත් දරුවාගේ දෙමාපියන් වූයේ එම ගම්වැසියන් වූ රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා සහ පළිහවඩන ආරච්චිලාගේ ජෝන් සිඤ්ඤෝ යන දෙපළය. මෙම දෙපළගේ තුන්වන දරුවා වූ ටිකිරි බණ්ඩාර පුංචි කාලයේ සිටම කරුණාවන්ත දරුවෙක් විය. බුදු පිළිම හා රූප වලට වැඩි ඇල්මක් දැක් වූ මෙම දරුවා පැවිදිබවට පත් කිරීමසිය මවගේ දැඩි කැමැත්ත වූවාය. පෙර පින් බලයෙන් යුතුව මෙම දරුවා පැවිදි බිමට ඇතුළත් කරගැනීමේ වාසනාව දෙමාපියන් හට උදා වූයේ 1954 වසරේදීය. ඒ අනුව කැලණියේ විද්‍යාලංකාර පිරිවෙණ් භූමියේ එම වසරේ ජනවාරි මස 07 වන දින වැලමිටියාවේ කුසලධම්ම නමින් මෙම පින්වත් කුමරුවාණන් තවත් දරුවන් 08 දෙනෙකු සමග එකම දිනයේ සසුන්ගත වූහ.

සිරිලක සම්බුද්ධ ශාසනයේත්, තෙරුවන් අධ්‍යාපනයේත් සුවිශේෂී පින්බිමක් වූ විද්‍යාලංකාර පිරිවෙණ මෙරට අග නගරයේ පවත්වාගෙන ගිය ප්‍රධාන පිරිවෙණ් දෙකෙන් එකක් විය. කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඥාසාර මා හිමි, යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම මා හිමි, කොටහේනේ ශ්‍රී පඤ්ඤාකීර්ති මා හිමි, වල්පොල ශ්‍රී රාහුල මා හිමි, බඹරැන්‍දේ සිරි සීවලී මා හිමි ආදී සුප්‍රකට මහා තෙරවරුන් ඇසුරේ වෙසෙමින් කුසලධම්ම හිමියන් ලද පිරිවෙණ් අධ්‍යාපනය ඉතා ප්‍රභල විය. දේශනය, ලේඛනය දෙකෙහිම විද්‍යාලංකාර පිරිවෙණ අග්‍රස්ථානයේ වැජඹුන අධ්‍යාපන මූලස්ථානයක් විය.

කුසලධම්ම හිමියන් මේ මහා හිමිවරුන්ගේ ඇසූ පිරූ තැන් ඇති සුපේශල ශිෂ්‍යාකාමී භික්ෂුවක් ලෙස දවසින් දවස සම්බුදු සසුනේ තුළ සවිමත් වූහ. 1958 දී පැවිදි උප සම්පදා ශීලයට පත් වූ අප නා හිමියෝ අධ්‍යාපන කටයුතු නිමා වීමෙන් පසු විද්‍යාලංකාර පිරිවෙණෙහි ශාඛා විහාරයක් වූ පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති වශයෙන් සිය අධ්‍යාපනික මෙහෙවර ආරම්භ කළේ උගත්, වියත් යතිරුවනක් ලෙසය. පසුව එම පිරිවෙණෙහි පරිවෙණාධිපති තනතුර, පසුව පරිවෙණාධ්‍යක්ෂ පදවියෙනුත් කුසලධම්ම මා හිමියෝ පිදුම් ලැබූහ.

පසුව තමන් වහන්සේලාගේ මූල මහා විහාරය වූ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙණට වැඩම කළ කුසලධ්මම මා හිමියෝ 1989 වසරේ සිට පිරිවෙණ්හී පරිවෙණාධිපති පදවියෙන් පිදුම් ලැබ එදා සිට මේ දක්වා එම පිරිවෙණෙහි මනා සංවර්ධනයක්, දියුණුවක් ඇති කරමින් ලෝ සසුන් වැඩ වසන්නට වූහ. නාහිමියන් ගම් බිම් නගා සිටුවීමේ කටයුතු වලට නිබඳව යොමු වූහ. අසරණ වූ රට වැසියනට තමාට හැකි අයුරින් උදව් උපකාර සිදු කළේ ප්‍රසිද්ධිය උදෙසා නොව සේවයක් සඳහාය. එම සේවාවාන් අතර ශිෂ්‍යාධාර, අනාථාදාර, සෞඛ්‍ය සේවා සේවා ආදිය ප්‍රමුඛස්ථානයක් ගනී. කැලණියේ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට නා හිමියන් පත් වුයේ මීට වසර 25 කට පමණ පෙරය. අපවත් වනතුරු එම පදවිය හෙබවූ නාහිමියන්ගේ අතින් එදා මෙදා තුර උපාධි සහතික ලබා ගත් ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනකි.

අප නාහිමියන්ගේ ශාසනික මෙහෙවර අගය කර සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහා නායක මා හිමියන් ප්‍රමුඛ සංඝ සභාව මගින් විද්‍යාලංකාර පිරිවෙණ් විහාරීය සඝ පරපුරට හිමි කොළඹ, හලාවත දෙදිසාවේ සංඝනායක පදවිය වැලමිටියාවේ කුසලධම්ම මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමා ගෞරව කරන්නට යෙණාහ. නා හිමියන්ගේ ධර්මධර භාවයද, උගත්කම, වියත්බවද අගය කර මියන්මාර් රාජ්‍යය (බුරුමය) මගින් “සද්ධම්ම ජෝතිකා ධජ“ යන ගෞරව සම්මානය ප්‍රධානය කරමින් උපහාර දැක්වූයේ මහත් හරසර ඇතිවය.

අප ගරුතර නාහිමියන් සැබැවින්ම පුණ්‍යවන්තය. එයට නිදසුනකි මීට වසර ගණනකට පෙර අනුරාධපුරයට වැඩම කර ආපසු පැමිණෙන අවස්ථාවේ සිදුවූ මා භයානක රිය අනතුර. නා හිමියන් ඇතුළු පිරිස ගමන් ගත් රියේ සියලුදෙනාම එම අනතුරින් මරණයට පත් වූ අතර සිය පණ බේරා ගත්තේ වැලිමිටියාවේ අප නා හිමියන් පමණී. තම විහාර පරම්පරාවට අයත් ආරාම 40 ක පමණ ආධිපත්‍ය නාහිමියන් දැරුවද ඒ පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමක් සිදු කළේ නැත. එයින් නාහිමියන් තුළ තිබුණු සරල බව, නිර්ලෝභී බව ලොවට පසක් වේ. නාහිමියන්ගේ චරිතාපදානය ග්‍රන්ථයක් වශයෙන් සකස් කොට පල කිරීම සඳහා සුප්‍රසිද්ධ ලේඛක මහත්මයකුට අවශ්‍යතාවයක් තිබුණි. ඒ පිළිබඳව නා හිමියන් සමග කතා කර ගැනීමට එතුමා විද්‍යාලංකාර පිරිවෙණට ගිය අවස්ථාවේ එම මහතාගේ අදහස ඇසූ නායක හාමුදුරුවෝ පැවසුයේ මම දැන් රෝගී තත්ත්වයේ පෙළෙන භික්ෂුවක්. මගේ චරිතාපදානය ලිවීමෙන් ඇති වැඩක් නැහැ. දැන් මා බලා සිටින්නේ අපවත් වීම පිළිබඳවය. ඔබ මීට දශකයකට දෙකකට පෙර මගේ චරිතාපදානය ලිවීමට කතා කර ගැනීමට පැමිණීමට ආවා නම් මට එයට උදව් කරන්න තොරතුරු සපයන්න පුලුවන්කම තිබුණා. දැන් මම ගැන ලියලා ඇති ප්‍රෙයා්ජනය මොකද්ද? යනුවෙනි. එයින් අපට හැඟී යන්නේ නා හිමියන් පිළිබඳව ඇති සරල බව හා අධිමානයෙන් තොර චාම් බවය.

රට දැය සමයට දහම් තිළිණයක් බඳු වූ පින්බර රූප කායකින් හෙබි අතිගරු වැලිමිටියාවේ නායක මා හිමිපාණන් වහන්සේ විදේශීය වශයෙන්ද ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සිය ධර්ම ඥානය බෙදා දුන්හ. පුවත්පත් සඟරා ආදියට සාරගර්භ ලිපි සපයමින් සිය දැනුම සපයමින් තම දැනුම, සවිය රටට නොපිරිහෙලා ප්‍රදානය කළේ සැදැහැබර සිතින් යුතුවය.

කැලණියේ විද්‍යාලංකාර සඟ පරපුරේ අභිමානය නොපිරිහෙලා, නොසඟවා ඉදිරියට ගෙන ගිය මේ මහා යතිරුවන දැයෙන් සමුගත්තේ මුළු රටම අවාසනාවන්ත රෝග බියකින් පෙළෙන සමයකය. රුදු මරුවා මේ වසර ආරම්භ වන විට සම්බුදු සසුනේ මහා පහන් ටැඹක් වූ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නාහිමියන් දැයෙන් සමු ගැන්වූ අතර, වසර අවසන් වන විට තවත් පහන් ටැඹක් බඳු වූ සද්ධම්මජෝතිකා ධජ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නා හිමියන් දැයෙන් සමු ගැන්වූහ.

මෙවැනි මහා යතිවරුන් වහන්සේලා අප රටට, දැයට, සසුනට වැඩි වැඩියෙන් උවමනා යුගයක සිදු වූ මෙම විපත සුළු පටු නැත. බුදු සසුනට ආදරය කරන, ගෞරව කරන එහි උන්නතිය අපේක්ෂා කරන සියලුදෙනාටම මෙම අපවත්වීම වාවා ගත නොහැකි සොවකි. අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ට යමෙක් ගෞරව කරන්නේද එය විද්‍යාලංකාර මහා පිරිවෙණට කරන ගෞරවයක්ද වේ. නාහිමියන් හා විද්‍යලංකාරය එතරම් තද බැඳීමකින් සවි වී ඇත. නාහිමි සඳුනි ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවී සැනසේවා !

ගජ මුතුවකි වැටුණෙ ශාසන දළෙන් බිම

මිණි පළඟුවකි වැටුණෙ රන් කොතින් නිම

හිමි අද නැතිය දැක ගන්නට සිහළ බිම

ගුණ කඳ තිබේ සියවස් කල් අසමසම

අහුන්ගල්ලේ දේ. සු. ද. සොයිසා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.