වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපස්මාරයට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර
මීමැස්මොරය, අපස්මාරය යන නමින්ද හැඳීන්වේ.අපස්මාරය මොළයට ඍජුවම සම්බන්ධ රෝගී තත්ත්වයකි.එබැවින් ප්‍රථමයෙන්ම මොළය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
අපට ඇසෙන, පෙනෙන, දැනෙන සියලු සංවේදනයන් ඇතුළු සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ මොළයේ ඒ ඒ කොටස්වලට අදාළ මධ්‍යස්ථානවලිනි.නිදසුනක් ලෙස අපට යමක් ලිවීමට අවශ්‍ය වූවා යැයි සිතමු.එම පණිවුඩය අපට රැගෙන එනු ලබන්නේ මොළයේ සිට ස්නායු මගිනි.මේ ආකාරයට සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ මොළයේ ඒ ඒ මධ්‍යස්ථාන වලින් නිකුත් කෙරෙන පණිවුඩ හරහාය.
මෙම පණිවුඩ අදාළ ස්ථානවලට රැගෙන ඒම සිදුවන්නේ සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයකට අනූවය.
එකී සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයේ අසාමාන්‍ය අධිවේගී තත්ත්වයන් සුළු මොහොතකට වෙනසකට ලක් වීමෙන් අපස්මාරය හෙවත් මීමැස්මොරය හටගනී.
එක්වරම ශරීරයේ කොතැනක හෝ හිරියක් ඇති වී විනාඩියක් දෙකක් වැනි සුළු කාලයකදී එය නැතිවී යෑම අපස්මාර රෝගී තත්ත්වයකි.
එසේ සිදුවන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ හිරි මධ්‍යස්ථාන ඇති කලාපය ආශ්‍රිතව විදුලි තරංගයක් පිට පැනීමෙනි.මොළයේ පෙනීම සම්බන්ධ මධ්‍යස්ථානයෙන් නිකුත් වන විද්‍යුත් තරංගයක් පිට පැනීමෙන් අමුතු රූප පෙනී නැති වී යෑමේ තත්ත්වය හටගනී.මොළයේ ආවේග සම්බන්ධ තරංග පිට පැනීමෙන් සෑහෙන බියක්, විශාල අමුත්තක් වැනි හැඟීම් ඇතිවේ.එයද අපස්මාර රෝගී තත්ත්වයකි.වාහනයක නළා ශබ්දයකට වුවත් සිහි නැති වී ඇද වැටෙන අපස්මාර රෝගීන්ද කලාතුරකින් හමුවේ.මේ අනූව අපස්මාරය ඕනෑම කෙනකුට ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි රෝගයක් ලෙස දැක්විය හැකිය.
මොළයේ පෘෂ්ඨය මත එකවර ගමන් කරන තරංග ප්‍රමාණය කුඩා නම්, ඒ තරංග ගමන් කරන්නේ මොළයේ කුඩා කලාපයක පමණක් නිසා රෝගියා ගැහීම තත්පර ගණනකට සීමා වී යථා තත්වයට පත්වේ.ඇතැම් විට එය අතක වෙව්ලීමක්, කකුලක වෙව්ලීමක් විය හැකිය.එහෙත් එය විශාල විද්‍යුත් තරංගයක් වී මොළයේ දෙපැත්තටම ව්‍යාප්ත වූවේ නම් මුළු සිරුරම ගැහෙමින් රෝගියා සිහි විසඥ වී රෝගියා බිම ඇද වැටෙනු ඇත.මේ අනූව විද්‍යුත් තරංග මොළයේ කොපමණ ප්‍රදේශයක ව්‍යාප්ත වූවේද යන සාධකය මත අපස්මාර රෝගියාගේ වෙව්ලීම තීරණය වේ.
රෝග ලක්ෂණ
අපස්මාර රෝගයට ගොදුරු වූ කෙනකු තුළින් පෙන්නුම් කරන සාමාන්‍ය ලක්ෂණ වශයෙන් සිහි නැති වීම, කටින් සෙම වැගිරීම, දත කට පූට්ටු වීම, දිව , තොල් සැපීම, අතපය දරදඬු වීම, ගැස්සීම වැනි කරුණු දක්වන්න පුළුවන්.ඒත් බොහෝදෙනෙකු හඳුනානොගන්නා රෝග ලක්ෂණ කීපයකුත් සමහර අපස්මාර රෝගීන්ගෙන් දක්නට ලැබෙනවා.
හඳුනා නොගත් රෝග ලක්ෂණ කීපයක්
සාමාන්‍යයෙන් අරමුණකින් තොරව හිස් බැල්මෙන් ඔහේ බලාගෙන සිටීම.
සිහිසුන් වීමකින් තොරව හෝ සිහිසුන් වීමකට පෙර තොල් සෙලවීම, ආහාර විකීමට හෝ ගිලීමට අනුරූපීව මුඛයේ අමුතු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම.
සංජානනයේ වෙනස්කම් (ශරීරයේ කොටසක් විශාල ලෙස හෝ කුඩා ලෙස දැනීම)
පෙනීමේ වෙනස්කම් (උදා :- යම් වස්තුවක් ප්‍රමාණයට වඩා විශාල අයුරින් පෙනීම.)
හැඟීම්වල අසමාන තත්ත්වයන් ඇතිවීම (උදා :- බිය හෝ පැරණි මතකයන් පාලනයකින් තොරව ඇතිවීම.)
පරිසරය වෙනස් ආකාරයට දැනීම.
අසාමාන්‍ය ලෙස හැසිරීම.
අරුතක් නැති දේ කියවීම.
උපතේදී ඇතිවිය හැකි සංකූලතා.
හිසට දරුණු පොලු පහරක් වැදීම.
උසකින් වැටීම.
හිසට අනතුරක් වීම.
දින හතරක් පහක් කුසගින්නේ සිටීම.
දින ගණනක් එක දිගට නිදි වැරීම.
ශරීරයේ සීනි ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම සහ වැඩිවීම.
මොළයට විෂබීජ යෑම.
රුධිරයේ අඩංගු කැල්සියම්, මැග්නීසියම් වැනි ද්‍රව්‍ය අඩුවීම.
( විශේෂයෙන්) මොළයේ ගැටිත්තක් තිබීම.
මිථ්‍යා මත බැහැර කරමු
අපස්මාරය හෙවත් මීමැස්මොර රෝගය ගැන සමාජයේ මුල් බැස ගත් මිථ්‍යා මත තිබෙනවා.සමහරු හිතාගෙන ඉන්නේ මීමැස්මොරය කියන්නේ මානසික රෝගයක්, එහෙම නැතිනම් පිස්සුවක් කියලා.එවැනි රෝගීන් ඇසුරු කිරීමෙන් රෝගය බෝවෙනවා කියලා සමහරු හිතනවා.තවත් අය අපස්මාරය ගැන හිතාගෙන ඉන්නේ අදෘශ්‍යමාන භූත බලවේගයක් විසින් ඇති කළ බලපෑමක් හැටියට.ඒ නිසාම අපස්මාරයට පිළියමක් හැටියට බලිතොවිල් කරනවා.ඒ වගේම තමයි අපස්මාර රෝගය වැළඳුනාම යකඩ කෑල්ලක් අතට දීම, හැන්දක් කටට දැමීම කිසිසේත් කරන්න හොඳ නැහැ.
සමහරු අපස්මාරය හැදුණාම තෙල් වර්ග, වතුර, මූත්‍ර වැනි දේවල් පොවනවා.අපස්මාරය රෝගියෙකුට රෝගය වැළඳුණ අවස්ථාවක කටට යමක් දැමීමෙන් එය සිරවී රෝගියා මියයන්න පුළුවන්.මෙවැනි කාරණා නිසා අපස්මාර රෝගය ගැන සමාජයේ තිබෙන මිථ්‍යා මත ඉවත් කිරීම ඉතාමත්ම වැදගත්.
පාසල් දරුවකු රෝගයට ගොදුරු වුණොත්
අපස්මාරයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පාසල් යන වයසේ පසුවන දරු දැරියන්ය.මේ නිසා මෙම අසාමාන්‍ය ලක්ෂණ හඳුනාගෙන දරුවාගේ පෞරුෂයට හානියක් නොවන පරිද්දෙන් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීම ඉතා වැදගත්ය.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ටද විශේෂ වගකීමක් තිබේ.ඒ හේතු කීපයක් නිසාය.
රෝගය බෝවන එකක් ලෙස සලකා ළමයාව පාසලට නොගෙන්වා සිටීමට කළමනාකාරීත්වය තීරණය කිරීම.
පන්තියේ ළමයින්ගේ කොන් කිරීමට ලක් වීම, නම් කියා අපහාස කිරීම හා උසුලු විසුලු කිරීමට ලක් වීම ආදිය නිසා රෝගී දරුවා පාසල පැමිණීමට අදිමදි කිරීම.
දීර්ඝකාලීනව බෙහෙත් කළ යුතු නිසා දෙමව්පියන් විසින් රෝගී දරුවාව ගෙදර නවතා ගැනීමට පෙළඹීම.
ඉතිරිය 17 පිටුවට...
මේ හේතූන් නිසා රෝගයට ගොදුරුවන දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.ඊට හේතුව අපස්මාරය නිසා දරුවන්ව නිවස තුළ කොටු කරගෙන අධ්‍යාපනයෙන්ද ඈත්කර තැබීමය.එහෙත් අපස්මාර රෝගයට ඕනෑම කෙනෙකු ගොදුරු විය හැකි බවත් එය ළමයෙකු කොන් කිරීමට හෝ සිනාසීමට කරුණක් නොවන බවත් අන්‍යයන්ට තේරුම් කරදීම ගුරුවරුන්ගේ වගකීමකි.තවද එවැනි දරුවන් කෙරෙහි දෙමව්පියන් දක්වන අධි ආරක්ෂාව නිසා ළමයා සමාජ ආශ්‍රයෙන් වෙන්වීම හේතුවෙන් පූර්ණ පෞරුෂ වර්ධනයට බාධා ඇතිවිය හැකිය.එබැවින් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බාධා නොවන ආකාරයට දරුවන්ට ආරක්ෂාව සැලසීම දෙමව්පියන්ගේ වගකීමකි.
අනිවාර්යයයෙන්ම ආරක්ෂාකාරී විය යුතු තත්ත්වයන්
නිදි මැරීම, කුසගින්නේ සිටීම, ගස් නැගීම හෝ කඳු නැගීම, වගකිව යුතු කිසිවකු නොමැතිව ඇළදොළ හෝ ගංගාවල පිහිනීමට යෑම, අනාරක්ෂිත ළිං අසල ගැවසීම ගින්දර අසල හෝ රසායනික ද්‍රව්‍ය ඇති ස්ථාන වල රැඳී සිටීම, බස් රථ පාපුවරු වල හෝ දුම්රිය පාපුවරුවේ යෑම, අවදානම් සහිත ස්ථානවල හැසිරීම යන කරුණු අපස්මාර රෝගීන් කිසිම විටෙක සිදුනොකළ යුතු ක්‍රියාවන්ය.
අපස්මාරය හෙවත් මීමැස්මොරය අධ්‍යාපනයට කිසියම් බලපෑමක් කළ හැකි වුවත් (කියවීමට ඇති පසුබෑම, ගණිත විෂයෙහි ඇති මන්දගාමී බව, අවධානය යොමු කිරීමේ අඩුපාඩු, භාෂා දැනුමේ අඩුපාඩු වැනි අඩුපාඩු ඇතිවිය හැකිය.) එය කිසියම් පුද්ගලයෙකුගේ මුළු ජීවිතයම බිලි ගැනීමට තරම් භයානක රෝගයක් නොවේ.අපස්මාරය වැළඳුණු අයට දිගුකාලීනව නිසි වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් සාමාන්‍ය ආකාරයට ජීවත්වන අය අද සමාජයේ කොතෙකුත් සිටිති.විවාහ ජීවිතවලට ඇතුළත් වී දරුවන ලැබූ අපස්මාර රෝගීහු පවා අද සාර්ථක ජීවිත ගත කරති.රැකියාවල නිරතවන අපස්මාර රෝගීහුද සිටිති.
සටහන
කීර්ති එස්.කුමාර