විවාහය හා විවාහ යෝග

ඔක්තෝබර් 22, 2021

ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර ජීවිත කාලයටම ඇතිකරන උතුම් බැඳීමකි විවාහය.

තම පරපුර පවත්වාගෙන යාමට දරුවන් බිහිකිරීමේ සදාචාරත්මක අයිතිය විවාහයෙන් හිමිවේ.

පුද්ගලයකුගේ දෙවන උපත විවාහයයි. මෙම විවාහවෙන දෙදෙනා එකිනෙකා ගැන කලකිරීමකට පත් නොවී ඔවුනොවුන් ගැන අවබෝධයෙන් හා සතුටින් ජීවිතයන් බෙදා ගනී නම් එය සාර්ථක විවාහයකි. සත්‍යයත් එයම වන්නේ ය.

කේන්ද්‍රයක හත් වන භාවය විවාහය පිළිබඳව පරීක්ෂා කළ යුතු ස්ථානයයි. ඊට අමතරව තවත් භාවයන් කිහිපයක්ම විවාහයේ තත්ත්වය පෙන්නුම් කරයි.

 

මූලික වශයෙන්

හත් වන භාවය

හත අධිපති භාවය

විවාහ කාරක සිකුරු විශේෂයෙන් පරීක්ෂා කළ යුතු ය.

හත්වන භාවය

මෙම භාවගත ග්‍රහයින්ගේ හෝ ඊට දුෂ්ඨගත ග්‍රහයින්ගේ ස්වභාවය විවාහක සහකරුට, සහකාරියට හිමි වේ. ඒ අනුව රවි හත් වැන්නේ නම්, තරමක් ආඩම්බරගති ඇති අයකු විවාහයට ලැබේ. එම ලෙසම රාජ යෝග කාරක ග්‍රහයකු බැවින් තවත් වියෝග කාරක ග්‍රහයින්ගේ (රාහු 12 අධිපති) බලපෑම් හත්වැන්නට යොමුවේ නම් විවාහයට වෙනත් ආගමක, ජාතියක කුලයක හෝ වෙනත් හේතුමත දෙදෙනා අතර ඈත්වීම් ඇතිවේ.

සඳු ලෞකික සැපතට කාරක වන බැවින් හත් වැන්නේ වෙනත් බලපෑම්වලින් තොරව සම, මිත්‍ර, ග්‍රහයකු ලෙස හත් වැන්නේ සිටීම විවාහයට අයහපත් නැත. සඳු උච්චව සිටින්නේ නම් අන්‍යයන්ගේ ආකර්ෂණය වැඩිවීම නිසාම පහසුවෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනී. හත් වැන්න උච්චව සිටින සඳුට යහපත් ගුරුගේ දුෂ්ටි ඇති කර ගනී. එසේ යොමුවේ නම් විවාහය ඉතා යහපති. නමුත් සිකුරු හෝ කුජ වැනි ලෞකිකත්වයට බර ග්‍රහයින්ගේ බලපෑම් සඳුට යොමුවේ නම් අති ධාවන කාම යෝග තත්ත්වයක් උදා කරයි. වෙනත් බලපෑම් නොමැතිනම් ජන්මියා අඩු වයසේ දීම නොමග යාමට පෙළෙඹීම් ඇති කළ හැකි ය.

හත් වැන්නේ සඳු නීච වීමද ජන්මියාට ආකර්ෂණීය බවක් ගෙන දෙයි. ගුරුගේ දෘෂ්ටිය නැතිනම් ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වීම හා අපකීර්තියට පත්වීමටත්, ප්‍රේම සම්බන්ධතාවලදී කරදර හා රැවටීම් ඇතිවීමට හේතු වේ. කුජ ග්‍රහයා හත් වැන්නේ සිටීම භෞම දෝෂ වශයෙන් ඉතා ප්‍රචලිතය. එය සහකරුට හෝ සහකාරියට අපල ගෙනදෙයි. නමුත් කුජ බලවත්ව ශුභ දෘෂ්ටි ලබමින් සිටී නම් එසේ නොවේ. ධෛර්යමත් ගති ඇති ක්‍රියාශූර අයකු සහකරු සහකාරිය ලෙස ලැබේ. කුජ හත පමණක් නොව විවාහයට බලපෑම් කරන ලග්නය, දෙවැන්න, හතර වැන්න, අට වැන්න හා දොළොස් වැන්න ස්ථානයක සිටියද බලවත් නොවී ගුරුගේ දෘෂ්ටිය ලබා නැතිනම් විවාහයට හානි කරයි. එවිට එවැනි ස්ථානයකම කුජ සිටින අයකු විවාහයට තෝරාගත යුතුයි. මෙම භෞම පරීක්ෂාව ලග්නයෙන් පමණක් නොව චන්ද්‍ර ලග්නයෙන් ද සිකුරු සිටින ස්ථානයෙන් ද බැලිය යුතු යි.

වෑගොව්වේ එන්.පී. ආතර්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.