අනුහසින් හා තේජසින් බැබළෙන සිරිලක රාජකීය උරුමය ශී‍්‍ර දළදා වහන්සේ

අගෝස්තු 27, 2021

හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පුරාණය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේ කිත්සිරි මේඝවණ්ණ(කි‍්‍ර .ව. 301 – 328) රාජ්‍ය සමයේය. එතැන් පටන් වාර්ෂිකව අනුරාධපුර යුගයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් දළදා පෙරහර පවත්වා තිබේ.පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (කි‍්‍ර.ව. 1153– 1186) විසින්ද දළදා පෙරහර පවත්වන ලදබව ඉතිහාසයේ සඳහන්ය.තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහර වංශකතාව පෙන්වාදෙයි.මෙම දළදා පෙරහර මහනුවර ඇසළ මංගල්‍ය ලෙස සමාජ ගත වන්නේ කි‍්‍ර.ව. 1592 සෙංකඩගලපුර රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ පාලනයත් සමඟය.රත්නපුර කුරුවිට දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා තිබූ දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහැර ආරම්භ කිරීමට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මූලිකත්වය ගත්තේය.

 

දළදා කරඬුවේ තොරතුරු

හේමමාලා කුමාරිකාවගේ කෙස් කළඹ අස්සේ කුඩා කරඬුවක බහා ආරක්ෂා සහිතව සඟවාගෙන පැමිණි දන්ත ධාතූන් වහන්සේ අද වන විට මහනුවර සෙංකඩගලපුර ශී‍්‍ර දළදා මාලිගයේ ඇතුළු මාලිගාව නැතහොත් ගඳකිළිය නම් කොටසේ තැන්පත් කර ති‍බේ.දන්ත ධාතූන් වහන්සේ ඇතුළත් කරඬු වෙඩි නොවදින වජ්‍රමය ආවරණයකින් ආරක්ෂා කර තිබේ.

 

දෙවන විමලධර්මසූරිය රජු පූජා කළ මුල්ම දළදා කරඬුව

දළදා මාලිගාවේ උඩ මාලයේ මල් ආසනයට යාබදව පිහිටි පිරිත් මණ්ඩපයට ඉදිරියෙන් ගන්ධකුටිය පිහිටා තිබේ.වෙඩි නොවදින වීදුරු ආවරණය තුළ මහ කරඬුව හෙවත් පළමු කරඬුව තබා ඇති අතර එය රනින් ආලේප කර ඇත.මෙම කරඬුව අඩි පහමාරක පමණ උසකින් යුක්තය.රිදී විසිපන් දහසකින් (25,000) නිමවා රන් ආලේප කර නව රත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් ආකාරයෙන් නිමවා ඇත.මෙම කරඬුව පූජා කර තිබෙන්නේ දෙවන විමලධර්මසූරිය රජතුමා (කි‍්‍ර.ව. 1687 – 1707) බව මහාවංශය සඳහන් කරයි.මෙහි වටිනාමිණි මුතුවලින් යුත් ස්වර්ණාභරණද පළඳවා ඇත.

ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේගේ විශේෂත්වය

බුදුරජාණන් වහන්සේගේ දත් එක හා සමානය.මේ නිසා “සමදන්ත” කියාද උන්වහන්සේගේ දත් හඳුන්වා දී තිබේ. සමදන්ත පිහිටන්නේ මහා පුරුෂයෙකුගේ මුඛයක පමණි.බුදුරජාණන් වහන්සේද මහා පුරුෂයෙකි.මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකි.බෞද්ධ පොත්වල සඳහන් වන ආකාරයට ඉන් විසි තුන්වන ලක්ෂණය දත්ය.එය “ චත්තාලීස දන්ත” ලක්ෂණයට අයත් වේ.

සර්වඥයන් වහන්සේගේ ශී‍්‍ර මුඛයෙහි දත් විස්ස බැගින් උඩු සහ යටි හනුවෙහි පිහිටා ඇති දත් සංඛ්‍යාව හතළිහකි.මේ ආකාරයෙන් සමදත් හතළිහක් පිහිටා තිබීම නිසා දානය වළඳන විට එම ආහාර හොඳීන් විකෙන බව සමහර පොත්වල සඳහන් වේ.ඒ කෙසේ වුවත්, දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ යටිහනුවේ වම් දන්ත ධාතූන් වහන්සේය.දත් නොකියා “දළ” කියන පදය සාමාන්‍යයෙන් යොදන්නේ ඇතෙකුගේ දත් ගැන කතා කිරීමටයි.“දළ” කියන්නේ සිංහල පදයකි.එම පදය සිංහලයට පැමිණ තිබෙන්නේ “දාඨා” යන පාලි පදයත්, දංෂ්ට්රා. යන සංස්කෘත පදයත් පදනම් කරගෙනයි.දත් ඇන්දේ තිබෙන විශේෂ දත් හතරකට දාඨා (දංෂ්ට්රා) යන පදය භාවිත කෙරේ.ඉන් එකක් නම් වාම ශී‍්‍ර දළදාවයි.

 

පෙරහර කරඬුව

‍පෙරහර කරඬුව ලෙස හඳුන්වන්නේ මහනුවර වාර්ෂික ඇසළ පෙරහරේ මඟුල් ඇතු පිට වඩම්වන පෙරහැර කරඬුවයි.පෙරහර කරඬු තුනක් දක්නට ලැබෙන අතර ඉන් එකක් කි‍්‍ර.ව. 1753 වසරේදී කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා විසින් ද,අනෙක් කරඬු දෙක තායිලන්ත රජයෙන් ද පරිත්‍යාග කරනු ලැබ තිබේ.මෙයින් එක් කරඬුවක් දළදා මාලිගා කෞතුකාගාරයෙහිත්, අනෙක් කරඬු දෙක ගන්ධ කුටියෙහිත් තැන්පත් කර ඇත.වර්තමානයේ මහනුවර දළදා පෙරහරේ මඟුල් ඇතා පිට වඩම්වනු ලබන්නේ තායිලන්ත රජය විසින් පූජා කරන ලද පෙරහර කරඬුවයි.

මහ කරඬුව ඉදිරිපස රනින් නිම කරන ලද මල් ආසනයකි.මෙහිදී පූජා කිරීමට ගනු ලබන්නේ සුදු පැහැති පිච්ච මල් පමණක් වීම විශේෂත්වයකි.

දෙවෙනි දළදා කරඬුව

දෙවන දළදා කරඬුව පූජා කර ඇත්තේ මියන්මාරයෙනි.(අතීත බුරුමය) කරඬුව වටා වටිනා කෞතුක වස්තුන් රාශියක් තැන්පත් කර ඇත.මෙම කරඬුවට අයත් රන්පත් සමූහයක් ඇති අතර ඒවායෙහි ධම්මචක්කප්පවත්වන සූත්‍රය, පාතිමෝක්යත වැනි වටිනා ධර්ම පාඨ රාශියකි.

 

තුන්වෙනි දළදා කරඬුව

දන්ත ධාතූන් වහන්සේගේ කරඬු හයක තැන්පත් කර තිබුණද, උන්වහන්සේ ගේ ආරක්ෂාව සඳහා කරඬු තුනක් යතුරු යොදා ආරක්ෂා කර තිබේ.ඉන් පළමු යතුර මෙම තෙවැනි කරඬුව විවෘත කිරීම සඳහාය.

එම යතුරෙහි භාරකාරත්වය හිමිව පවතින්නේ දියවඩන නිලමේ සතුවය.කරඬුව දඹ රත්තරනින් නිම කර තිබේ.

හතරවෙනි කරඬුව

 

දියවඩන නිලමේ තුමා තුන්වෙනි කරඬුව විවෘත කිරීමෙන් පසු හතරවැනි කරඬුව දක්නට ලැබේ.මෙම කරඬුව නිම කර තිබෙන්නේ ද රත්රන්වලිනි.එහි ඉතා වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත.මෙම කරඬුව විවෘත කිරීම සඳහාද යතුරක් ඇත.එම යතුර භාරව සිටින්නේ මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.උන්වහන්සේ හතරවෙනි කරඬුව විවෘත කළ විට පස්වෙනි කරඬුව දක්නට ලැබේ.

 

පස්වෙනි කරඬුව

පස්වෙනි කරඬුව පූජා කර තිබෙන්නේ ඇහැළේපොළ මහ අදිකාරම්තුමාය.අඩියක් පමණ උස මෙම කරඬුවේ වජ්‍රව, ඉන්ද්‍රකීල, ලෝහිතාංක, මරකත, වෛධූර්ය, පුෂ්පරාග වැනි ඉතාමත් වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත.කරඬුවෙහි පාදම වටේට අකුරු කොටා තිබේ.එයින් කියැවෙන්නේ ශී‍්‍ර බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය හැටේදී පැමිණි වෘෂභ සංවත්සරයෙහි නිකිනි මස පුර පංචම තිථිය ලත් රවි දින වශයෙනි.එනම් 1816 අගෝස්තු මස 25 දින දාය.එතුමාගේ නම සඳහන්ව පවතින්නේ ඇ‍හැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වශයෙනි.ඇහැළේපොළ අදිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා “ඇහැළේපොළ කරඬුව“ යන නමින්ද, පසුව එය අස්ගිරිමහා නායක හිමියන් භාරයේ පවතින බැවින් “අස්ගිරි කරඬුව“ ලෙසද හඳුන්වති.

හයවෙනි කරඬුව

අස්ගිරි මහනායක හිමියන් වහන්සේතම යතුර භාවිත කර ඇහැළේපොළ කරඬුව ඉවත් කළ පසු දක්නට ලැබෙන්නේ හයවෙනි කරඬුවයි.මෙම කරඬුට පසු හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් දළදා වහන්සේ වඩම්මාගෙන එනු ලැබූ කරඬුව දක්නට ලැබේ.

 

හත්වෙනි කරඬුව

හත්වෙනි කරඬුව අඟල් හතරක් පමණ උසය.දළදා වහන්සේ වැඩ සිටින්නේ මෙහිය.මෙම කරඬුව ක්‍රි.ව. 1896 වසරේදී බුරුම රටේ භික්ෂූන් වහන්සේ නමක් වන රාජගුරු වජිරාරාමික හිමියන් විසින් පූජා කෙරී ඇති බව දෙමුවාවන පඤ්ඤානන්ද හිමියන් විසින් රචනා කරන ලද උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නමැති පොතෙහි සඳහන් වේ.එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ. “ වර්ෂ 1889 බුරුමයේ මෙන්ඩූන් රජුගේ අගමෙහෙසිය වූ වජිරස්කන්ධ දේවිය භික්ෂූන් වහන්සේ හතළිස් හය නමක් හා සිය දෙනෙකුගෙන් යුත් ගිහි පිරිසක් සමග දළදා වහන්සේ වනදනාමාන කිරීම සඳහා ලංකාවට පැමිණ ඇති අතර, පසුව මෙම පිරිස අතර සිටි රාජගුරු වජිරාරාමික හිමියන් නැවත බුරුමයට වැඩම කොට ආධාර එකතු කර රුපියිල් එක් ලක්ෂ විසිහයදහසක් වියදම් කොට රනින් කරඬුවක් තනා කි‍්‍ර.ව. 1896 වර්ෂයේදී නැවත ලංකාවට පැමිණ දළදා මාළිගාවට එය පූජා කළහ.අද දළදා වහන්සේ වැඩ සිටින්නේ එම කරඬුව තුළය.” යනුවෙනි.

3 පිටුවෙන් ...

රජකමත් දළදා වහන්සේත් අතර ඇති සම්බන්ධය

දසරාජ ධර්මයෙන් රට පාලනය කරමින් දළදා වහන්සේ තම භාරයේ තබා ගැනීමෙන් කලට වේලාවට වැසි ලැබීමත් ඒ හේතුවෙන් ගොවිතැන් තටයුතු සරු සාර වීමත් සිදුවේ.නිසි කාලයේදී වැසි නොලැබුණහොත් නියඟය ඇති වී කෙත්වතු පාළුවට යයි.එපමණක් නොව සතා සිවුපාවන් පවා මැරී යනු ඇත.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන රජකෙනකුට පවා එවන් ස්වභාවික විපත්වලින් රටවැසියන් බේරා ගැනීමට හැකියාවක් නොමැති වන අවස්ථා පවතී.එවන් අවස්ථාවල දෙවි දේවතාවන් සතුටු කර වැසි ලබා ගැනීමට හැකි දළදා වහන්සේ සතුව ඇති රජකෙනකු පත් කර ගත යුතුයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පැවතුණි.

එවන් විශ්වාසයක් පැවතීමට හේතු වූයේ විසාලා මහනුවරට පැමිණි දුර්භීක්ෂයේදී බොහෝ දෙනෙක් මිය ගිය අතර ලෙඩ රෝග ව්‍යාප්ත විය.බුදුන් වහන්සේගේ වැඩමවීමත් සමගම මහා වර්ෂාවක් ඇදහැලී මළක‍ඳන් ආදිය ගසා ගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් ජීවිත ගත කිරීමට ජනතාවට හැකි වූ නිසයි. බුදුන් වහන්සේට වැසි වස්සන්නට පුළුවන් නම් දළදා වහන්සේටත් වැසි වස්සන්නට පුළුවන් කියන විශ්වාසය ජනතාව අතර පැතිරී ගියේ ඒ ආකාරයෙනුයි.දළදා වහන්සේ අත්පත් කරගන්නේ කවුරුන්ද ඔහු රජු වශයෙන් පිළිගත්තේ එම නිසාය.මෙවන් කරුණු නිසා රජකුට දළදා වහන්සේ තරම් වටිනා උතුම් වස්තුවක් තිබුණේ නැත.වත්මන් රාජ්‍ය නායකයන් පවා තම පත්වීම ලැබ ගැනීමෙන් පසු පළමුවෙන්ම දළදා වහන්සේ බැහැ දැකීමට යන්නේ ඒ නිසයි.එපමණක්ද නොවේ.සමහර රාජ්‍ය නායකයන් ප්‍රථම වතාවට ජනතාව ඇමතීමට තෝරාගන්නේද දළදා වහන්සේගේ සෙවණෙහි පිහිටි පත්තිරිප්පුවයි. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග බෞද්ධ රාජ්‍යයක් බවට පත් විය.පසුව රජකම ලබා ගැනීමට එක් සුදුසුකමක් වූයේ දළදා වහන්සේගේ අයිතිය ලබාගැනීමයි.

ශී‍්‍ර දළදා වහන්සේ රැකබලා ගන්නෝ

දියවඩන නිලමේතුමා

 

“දියවඩන” යන්නෙහි තේරුම “ජලය වත්කරනවා” , “පැන් වඩනවා” යන්නයි.රජ සමයේ රජු පැන්වලින් සතපාලීමත් (අවශ්‍ය වේලාව්හිදී පැන් ලබාදීම) ස්නානය ආදියෙහිදී අවශ්‍ය පහසුකම් සලසා රජුගේ සළු පිළි පිළියෙළ කර දීමත්, හිසේ තෙල් ගෑමත්, හිස පීරීමත් පැවරී තිබුණේ දියවඩන නිලමේතුමාටය.වර්තමානයේ මහනුවර දළදා මාලිගාව බාරව කටයුතු කරන ප්‍රධානම ගිහියා දියවඩන නිලමේතුමාය.ශී‍්‍ර දළදා කරඬුව විවෘත කිරීමට අවශ්‍ය යතුරු තුනෙන් එකක් භාරව සිටින්නේද දියවඩන නිලමේතුමාය.ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජුගෙන් පසු ලක්දිව රාජ්‍යත්වය අහෝසි විය.එතැන් පටන් ශී‍්‍ර දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලකයාද මූල්‍ය පරිපාලකයාද මාලිගාව සතු සියලුම භෞතික සම්පත් හා අනෙකුත් ඉඩකඩම් හා වස්තුව පිළිබඳ වගකීම් දරන්නේ දියවඩන නිලමේතුමාය.

වර්තමානයේ දියවඩන නිලමේතුමා පත් කෙරෙන්නේ ඒ සඳහා පැවැත්වෙන වි‍ශේෂ නිලවරණයකිනි.සාමාන්‍යයෙන් දියවඩන නිලමේගේ නිල කාලය වසර දහයකි.රජ සමයේ

දළදා වහන්සේට පැන් පූජා කළේද දියවඩන නිලමේ වුවද වර්තමානයේ එය ඉටු කරන්නේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාය.දියවඩන නිලමේගේ රාජකාරි පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇත්තේ විහාරදේවාල ආඥා පනතෙහිය.දළදා මාලිගාව ඇතුළු සියලු උඩරට දේවාල හා විහාර නඩත්තු කිරීම, වැඩිදියුණු කිරීම,පුද පූජා සංවිධානය කිරීම, වාර්ෂික පෙරහැර පැවැත්වීම හා විහාර හා දේවාල ආරක්ෂා කිරීම ආදී සියලු කටයුතු පිළිබඳ තොරතුරු විහාර හා දේවාල ආඥා පනතේ(ඕභඤඤඩඪඵබ ඊඥථනධපචතඪබඪඥඵ ර්‍ණපඤඪචදජඥ) සඳහන් වේ.

දළදා මාලිගාවේ රාජකාරි බාරවූ සෙසු නිලතල

කාරියකරවන කෝරාළ

දියවඩන නිලමේතුමා විසින් පත්කරන “කාරිය කරවන කෝරාළ” දියවඩන නිලමේතුමාගේ “ද්විතීය නිලධාරියා” (දෙවන පරිපාලන නිලධාරියා) ලෙස දියවඩන නිලමේතුමාට වගකීමට බැඳී සිටියි. මෙතුමා දළදා මැදුරේ සත්කාර ගැන සොයා බැලීම, පෙරහර සංවිධානය, වෙසක්, පොසොන් උත්සව, කාර්තික් මංගල්‍යය වැනි උළෙලවලදී දියවඩන නිලමේතුමා නියෝජනය කරමින් ප්‍රධානත්වය දරයි. උපසම්පදාව අපේක්ෂා කරන භික්ෂූන්ට හිස් පළඳනාව පළඳවන්නේද කාරියකරවන කෝරාළයි.නාථ දේවාලයේදී කාර්තික් මංගල්‍යයට තෙල් බෙදා දීම සිදුවන්නේද මොහුගේ ප්‍රධානත්වයෙනි.

දළදා මාලිගාවේ දෛනික තේවාවන්ට අවශ්‍ය බඩුබාහිරාදිය භාරව සිටිමින් ඒවා නිසි ලෙස සපයමින් මාලිගාවේ රන් රිදී ඇතුළු සියලුම භාණ්ඩ සුරක්ෂිතව තබාගැනීමත් කාරියකරවන කෝරාළට රාජකාරි වශයෙන් පැවරේ.මේ වෙනුවෙන්ම කැපවූ පරම්පරාවකින් කාරියකරවන කෝරාළ තනතුරට සුදුස්සන් පත් කෙරේ.

වට්ටෝරු රාළ

දිනපතා පැවැත්වෙන දළදා තේවාව සඳහා උපකාර කරන ප්‍රධාන නිලධාරියා වට්ටෝරු රාළයි.දළදා මැදුරේ යතුරු භික්ෂූන් වහන්සේගේ ගන්ධකුටියේ සිට රැගෙන ඒම, යතුරු ආපසු රැගෙන යාම, දළදාව වැඩසිටින මාලිගාවේ වතාවත්වලට උදව්කිරීම මොහුගේ රාජකාරියයි.පාලි බසින් “වට්ටක්කාර” යන පදයෙන් සිංහලයට එක්වූ “වතාවත්කාරයා” නාමයෙන් “වට්ටෝරු රාළ” තනතුරු නාමය බිහි විය. “රාළ” යනු නිලධාරි තනතුරට එක්කළ ගෞරව නාමයකි.

ගෙපළ රාළ

ගේ බලා ගන්නා යන අරුතෙන් ගෙපළ රාළ තනතුර නිර්මාණය වී ඇත.මෙහි ගෙය වන්නේ දළදාව වැඩ සිටින දළදා ගෙයයි.දළදා තේවාව සිදුකරන අතරතුර තේවාව භාර භික්ෂූන්ට ඊට අවශ්‍ය සහාය ලබාදීමත් ඒ අතරතුර දළදා වහන්සේට ආරක්ෂාව ලබාදීමත් මොහුගේ රාජකාරියයි.අතීතයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස මොහුට අසිපතක්ද (කඩුවක්) ලබාදී තිබූ අතර රජ කාලයේ මොහු අසිග්ගාහක (අසිපත් දරන්නා) නමින්ද හැඳීන්විනි.තේවාව භාර භික්ෂූන්ගේ ගන්ධකුටිය ඇමදීම, නානුමුරයට සහාය වීම, දරුවන්ගේ බාරහාර සඳහා සහායවීම්ද ගෙපළරාළ සතු විශේෂ රාජකාරි වගකීම්ය.

කත්තියන රාළ

මුළුතැන්ගෙයි සිටදළදාව වැඩ සිටින උඩු මාලට දානය දිනපතා රැගෙන එන්නේ කත්තියන රාළයි.ඔහු දානය රැගෙන එන්නේ කදක් වැනි උපකරණයකිනි.එය හඳුන්වන්නේ “හේම කද” නමිනි.හේම කද මගින් අදාළ ස්ථානයට බුද්ධ පූජාව රැගෙන ඒම කත්තියන රාළගේ ප්‍රධාන රාජකාරියයි.

හක්ගෙඩි රාළ

දළදා තේවාව පැවැත්වීම ඇරඹෙන බව හක්ගෙඩිය පිඹීමෙන් අඟවන්නේ හක්ගෙඩි රාළයි.තේවාවේදී සුවඳ දුම් හා දුම්මල දෙන්නේද හක්ගෙඩි රාළයි.(වර්තමානයේ හක්ගෙඩි රාළ වෙනුවට ඝණ්ටාරය නාද කරයි.)

පල්ලෙමාලෙ රාළ

දළදා තේවා කටයුතු සඳහා උපකාරීවීම, අලුත් සහල් මංගල්‍යයට සහල් ගෙන ඒමට පල්ලෙකැලේ වී අටුවට යාම, රන්දෝලි පෙරහරේ මල් ඉසීම ආදී කටයුතු කරන්නේ පල්ලෙමාලෙ රාළය.

උඩුමාලේ මොහොට්ටාල

 

ශී‍්‍ර දළදා මාලිගාවේ භාණ්ඩ නඩත්තු කිරීම, බැතිමතුන් දළදා වහන්සේට පූජා කරන වටිනා භාණ්ඩ බාරගෙන ඒවා ලේඛනගත කිරීම උඩුමාලේ මොහෝට්ටාලගේ රාජකාරියයි. මොහොට්ටාල යන්නෙන් අදහස් කරන්නේ ලේකම් තනතුරයි.

නැකැත් මොහොට්ටාල

අලුත් සහල් මංගල්යදය, අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය, කාර්තික් මංගල්‍යය යන සතරවිධ මංගල්‍යයන් පැවැත්වීම සඳහා සුබ මුහුර්ත (සුබ නැකැත්) පිළි‍වෙළ කිරීම හා ප්‍රකාශ කිරීම මොහුගේ රාජකාරියයි.

මුළුතැන් රාළ

දළදා වහන්සේ වෙනුවෙන් දිනපතා බුද්ධ පූජාව හා ගිලන්පස පිළියෙළ කරන්නේ මුළුතැන් රාළයි.දළදා වහන්සේ වෙනුවෙන් පිදෙන දහවල් දානයට හාල් සේරු 32 ක්ද වෑංජන 32 ක් (බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට ගෞරව පිණිස) ද ඇතුළත් වේ.අතීත රජවාසලේ රාජ භෝජනයද මෙලෙසම පිළියෙළ විය.හෙළදිව රාජ්‍යත්වය අහෝසිවීමෙන් පසු රජුට දැක්වූ ගෞරවය දළදා වහන්සේටද දක්වමින් දිනපතා දළදා වහන්සේගේ දානයට හාල් සේරු 32 ක බතක් ද එළවළු 32 ක වෑංජන ද කැවුම් වර්ග හතරක්ද ඇතුළු රසකැවිලි හා පාන වර්ගද පිළියෙළ කිරීම මුළුතැන් රාළගේ වගකීමයි.

පිහන රාළ

රජවාසල මුළුතැන් රාළට කැම පිසීම සඳහා උදව් කරන සේවකයන් මගින් වෑංජනවලට අවශ්‍ය පරිදි කුළුබඩු හා පහේ බඩු (තුනපහ) සපයන්නේ පිහන රාළයි. තුනපහ ආදිය නිසි ආකාරයෙන් වෑංජනවලට යෙදීමට උපදෙස් දෙන්නේ මොහුයි.මේ අනූව ඔහු දළදා මාලිගාවේ සූපවේදියායි.

හඳුන් කපුරාළ

දළදා තේවාව සඳහා අවශ්‍ය සඳුන් සැපයීමත් හඳුන් කුඩම සූදානම් කර තබා ගැනීමත් මොහුට බාරව ඇති රාජකාරියයි.

ආලත්ති අම්මාවරු

බදාදා දිනවල පැවැත්වෙන නානුමුර මංගල්යයයේදී හෝ පොහෝ දිනවල, පහන් පත්තුකර ඒවා ලතාවකට වනමින් දළදා හිමිට ශාන්තිය පැතීම ආලත්ති අම්මාවරුන්ගේ රාජකාරියය.

හේවිසි වාදක මණ්ඩලය

බෙර, දවුල්, තම්මැට්ටම් වයමින්, හොරණෑව පිඹිමින් දළදා තේවාවට ශබ්ද පූජාව පවත්වන්නේ මොවුන්ය.

කවිකාර මඩුව

කවිකාර මඩුවට අයත් පුද්ගලයන් පස්දෙනෙකි.සෑම බදාදා දිනකමත් පසළොස්වක පොහොය දිනවලත් දළදා වහන්සේ වෙනුවෙන් බුදු ගුණ (සම්ප්‍රදායික දළදා ස්තෝත්‍ර) ගායනා කිරීම මොවුන්ගේ රාජකාරියයි.මොවුන්ගේ වාදන භාණ්ඩ වන්නේ උඩැක්කිය, පන්තේරුව හා තාලම්පොටයි. දළදා වහන්සේ වැඩ සිටින මාළිගාවේ උඩුමාලේ බරාඳය අසල රැ‍ඳෙන මොවුන් රජකාලේ ගායනා කළේ රජතුමාගේ ගුණ වර්ණනා කෙරෙන කවි ගායනාවන්ය. “වන්දි භට්ටයෝ” නමින් එදා හැඳීන්වුණ මොවුන් වර්තමානයේ දළදා ස්තෝත්‍ර ගයන “කවිකාර මඩුව” ලෙස හැඳීන්වේ.

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.