ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය හා පෙරහර මංගල්‍යය

අගෝස්තු 20, 2021

සමනල කඳු මුදුනට අරක්ගෙන සිටි ප්‍රාදේශීය නායකයෙකු වූ සුමන නමැත්තා පසුව ප්‍රාදේශීය දෙවියකු වශයෙන් කාලාන්තරයක් තිස්සේ වැඳුම් පිදුම් ලබමින් වැජඹුණ සුමන සමන් දෙවි බුදු බණ අසා සෝවාන්ව, මුණි සිරිපා පිහිටුවීම, බුදු සසුන රැකීම ආදි විවිධ ලෙසින් වැදගත්ව පුද සැලකුම් ලබමින් සබරගමුවට පමණක් නොව දිවයිනටම වැදගත් වෙති. ධ්‍රැතරාෂ්ට්‍ර,විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, සතරවරම්, දෙවිවරු ලෙස සලකද්දී විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, සතරවරම් දෙවිවරු ලෙස පුද ලබනු පෙනේ.

 

 

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය විජයාවතරණයටත් පෙර සිටම මෙරට පැවති ඇදහිල්ලකි, දේව ඇදහිල්ල. ඔවුන් වෙනුවෙන් දේවාල ගොඩ නැගි අයුරු දෙස විමසුම් ඇස හෙළන කල පැහැදිලි වන්නකි. වෙසමුණි දෙවියන් උදෙසා පණ්ඩුකාභය රජතුමා නගරයේ බටහිර දොරටුවේ නුග දෙවොලක් ද, ව්‍යාධ දේව සඳහා තල් දෙවොලක් ද තැනූ බව මහාවංශය දක්වයි. රජතුමා කම්මාර දෙවියන්ට ද දෙවොලක් තැනීය. පුරදේව අනුරාධපුර නගරයේ ආරක්ෂක දෙවි වූ අතර උප්පලවණ්ණ ශ්‍රී ලංකාවටම ආරක්ෂක දෙවි විය. සුමන දෙවි බුදු බණ අසා සෝවාන් වූවෙකි.

 

 

සමන්, විභීෂණ, මහසෙන්, උපුල්වන් ආදී දෙවිවරු ප්‍රාග් බෞද්ධ සමයේ සිටම අප රට ජනතාව අතර වැඩියෙන් පුද ලද්දෝ ය. විෂ්ණු , කතරගම, ඊශ්වර, ගණදෙවි, නාථ, සූනියම්, දැඩිමුණ්ඩ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ , මංගර, දෙවොල්, හෙණකඳ, බිසෝ බණ්ඩාර, අයියනායක, දොඩම්වෙල, මින්නේරි, බෝගම්බර, මොරටු, පිටියේ කබල අප්‍රමාණ දෙවිවරුන් මෙන්ම පත්තිනි දේවතාවිය ද ජනතාවගේ ඇදහිලි පුද පූජා ලබන දෙවි දේවතාවුන් අතර වෙති. මොවුන්ගෙන් ඇතමෙක් ප්‍රාදේශික වශයෙන් බලය පතුරවන ඒ ප්‍රදේශවල ජනතාවගේ පුද පූජාවලට ලක්වන්නෝය.

ඒ අතර, ප්‍රාදේශීය මායිම් ඉක්මවා සමස්ත දිවයින කෙරෙහිම බලය පතුරුවන දෙවිවරු ද බොහෝය. මේ හැර ඒ ඒ ගම්වල කුළු,කඳු, බෝ තෙලඹු නුග ආදී වෘක්ෂයනට අරක්ගත් දෙවියෝ වන්නේ යයි පිළිගනිමින් විශ්වාසයෙන් යුතුව ගම්වැසියන් විසින් අදහන දෙවියන් පිරිසක්ද සිටිති. ඔවුනට විශේෂ දේවාල ආදියක් නැත. අනෙකුත් සියලුම දෙවිවරුන්ට දේවාල ඇත්තේය.

සමන් දෙවියන් සම්බන්ධයෙන් රත්නපුර, විභීෂණ දෙවියන් වෙනුවෙන් කැලණිය උපුල්වන් දෙවියන් වෙනුවෙන් දෙවිනුවර , කතරගම, දෙවියන් වෙනුවෙන් කතරගම, පත්තිනි දේවතාවි වෙනුවෙන් නවගමුව, දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම , දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් අලුත්නුවර ආදී වශයෙන් ඒ ඒ දෙවියන් වෙනුවෙන් ප්‍රධාන වාසස්ථානය හෙවත් දේවාල වෙයි.

සමනල කඳු මුදුනට අරක්ගෙන සිටි ප්‍රාදේශීය නායකයෙකු වූ සුමන නමැත්තා පසුව ප්‍රාදේශීය දෙවියෙකු වශයෙන් කාලාන්තරයක් තිස්සේ වැඳුම් පිදුම් ලබමින් වැජඹුණ සුමන සමන් දෙවි බුදු බණ අසා සෝවාන්ව, මුණි සිරිපා පිහිටුවීම, බුදු සසුන රැකීම ආදි විවිධ ලෙසින් වැදගත්ව පුද සැලකුම් ලබමින් සබරගමුවට පමණක් නොව දිවයිනටම වැදගත් වෙති.

ධ්‍රැතරාෂ්ට්‍ර,විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, සතරවරම්, දෙවිවරු ලෙස සලකද්දී විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, සතරවරම් දෙවිවරු ලෙස පුද ලබනු පෙනේ. විශේෂයෙන් සබරගමුවේ සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන්නේ සමන් දෙවිඳු ඇතුළත් පසුව සඳහන් සිව් දෙනාය.

සමන් දෙවියන් පිළිබඳව තැනී ඇති ප්‍රධානම දේවාලය රත්නපුර සබරගමු මහ සමන් දේවාලයයි.

සබරගමුව මහ සමන් දේවාලය කාගේත් අතිශය ගෞරවාදර භක්තියට යොමු වූවකි. මහා මාර්ගය ආසන්නයේ පිහිටි මේ ස්ථානය පසුකර යන්නෝ එන්නෝ වැඳුම් පිදුම් කිරීමට අමතක නොකරති.

වාහනයක වාඩිවී සිටියකු මෙහිදී ඉබේටම මෙන් අසුනින් නැඟිට වඳිති. මහත් වූ ඵලගෙන දෙන සබරගමු මහ සමන් දේවාලය මුළු ලංකාවටම ආශිර්වාදයකි. මහත් හාස්කම් පවත්වන මේ දේවාලයේ මැද කොටසේ ලියලන ගලක් තිබුණු බව කියයි.

 

“හෙල මුදුනින් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබලන සුබාව

බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව

මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව

 

සබරගමු මහ සමන් දේවාලය ගැන අයෙක් දුටු අයුරුයි මේ. මෙම කවිය කීප අයුරකින් කියනු පෙනේ. මේ තවත් අයුරකිනි.

 

“කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගාව

රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබලන සුබාව

දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගාව

ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගාව

 

කාටත් පෙනෙන්නේ සබරගමුව මහ සමන් දේවාලයේ අපූර්ව නිර්මාණයයි. මහා විශිෂ්ටත්වයයි. ගෞරවනීය තත්ත්වයයි.

මහ සමන් දේවාලයේ වාර්ෂිකව අත්‍යාලංකාර මහ පෙරහරක් සිදුවෙයි. දිවයිනේ නොයෙක් දෙසින් මේ පෙරහර නැරඹීමට ජනයා ඇදෙති. සියලු වැඩපල කර්මාන්ත පසෙකලා පෙරහර නැරඹීමට පැමිණීම ජනයාගේ සිරිතය.

 

“සබරගමුව එළියයි පෙරහර දා ට

කබර ගොයින් එනවා වැහි පොද දා ට

සබරගමුව පාළුයි අපි නැති දා ට

අබරේ ගාල්වෙයන් හෙට එන පෝලිම ට

 

මිනිරන් පතලේ වැඩ නැවතේ. දබරමඩුව පාළුවටය. ඒ පතල්කරුවෝ පෙරහර නැරඹීමට යාම අනිවාර්යයෙන්ම වන හෙයිනි. සබරගමු කලා සම්ප්‍රදාය මොනවට කැටි කොට විදහාපාන සමන් දේවාල පෙරහර පිළිබඳ වර්ණනා එමටය.

පෙරහරේ සහභාගිවන්නන් පිළිබඳව මුහුදු රළ මෙන් පේළි යන විදිය, කොකුන් ඉගිලෙන ලෙසින් යන විදිය කවීහු පෙන්වති. පෙරහරේ ගමන් ගන්නා ඇත් රජු ගැන බලන්න.

 

“රත්නපුරේ සිට සොඩ අකුලාගෙන නවගමුවට

යනවාද ඇතා

රත්තරනෙන් ඇඟ පිට සරසාලා පෙරහරකට

යනවාද ඇතා

දළ පිට ඇන රන් කඩුව තබාගෙන දිය කැපුමට

යනවාද ඇතා

වස් නැත දෙවියනි සින්දුව කීවට සබරගමුව

දේවාලෙ ඇතා”

තේජාන්විතව පෙරහරේ ගමන් ගන්නා ඇත් රජෙකු ඔබට මැවෙනු ඇත.

සමන් දේවාලය ගැන ජනකවියෙන් මෙසේ කියයි.

 

“කුරුවිට කෝරළෙ පල්ලේ පත්තුවෙ උතුම්

සබරගමු දේවාලේ

දවසින් දවසට ලියලාගෙන එන ගලක් තිබුණි කිව්

මැද සාලේ

ලොව සතහට මතුවට පවතින්නට සුමන දෙවිඳු

පදවාද බලේ

එම ගල සකියනි තව ලියලනවද උතුම් සබරගමු දේවාලේ”

සමන් දෙවිඳුගේ ප්‍රධාන දේවාලය මෙපරිදි මහ සමන් දේවාලය වන්නාක් මෙන්ම රට පුරා සමන් දේවාල වන්නේය. බෞද්ධ දෙවියකු වූ සෝවාන් සමන් දෙවි පිළිබඳ බෞද්ධයින්ගේ භක්තිය ඉමහත් අතර සෑම බෞද්ධ විහාරස්ථානයකම පාහේ බොහෝ විට සමන් දේවාලයක් දැකිය හැකිවෙයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම විවිධ දෙවි දේවතාවෝ ජනතා ගෞරවය ලබත්. සමන් දෙවි ද එබඳු ඉපැරණිම කල සිට ගෞරවයට පාත්‍ර වූවෙකි. අපේ රටේ හමුවන දෙවිවරු මුගුරු, යගදා ,කඩු ආදිය රැගත් නමුත් සමන් දෙවිඳු අවි ආයුධ අමෝරා නොසිටියහ. සුදු පැහැ ශරීරයෙන්, සුදු ඇතකු පිට ගමන් ගන්නා සමන් දෙවිඳු දුටුවත් අන්‍ය දෙවියන් මෙන් භයංකාරත්වයක් නොදනවයි.

‘සුද්ද ලෙසින් නිති ගත බබලන්නේ

සුද්ද ඇති පිටවද වැඩ ඉන්නේ

ධෘත රාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, සතරවරම් දෙවි මහ රජවරුය. එහෙත් විටෙක සමන් දෙවිඳු සතරවරම් දෙව් ගණයට ගැනේ. දෙවුන්දර විෂ්ණු කැලණියේ විභීෂණ සබරගමුවේ සමන්, කතරගම කන්දකුමාර යනුවෙන් විශේෂයෙන් සබරගමුව සතරවරම් දෙවියන් ලෙස ගැනෙයි.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීහු සිය මනමේ නාට්‍යයේදී සත් හට සෙත් දෙන ලෝක දිවාකර

භගවත් අපි මුණිඳුන් සරණා

පත්මෙ මුරුන් වන විෂ්ණු කතරගම

සමන් විභීෂණ සරණා”

එතන්හි සමන් දෙවි සිව් දෙව් වරම් දෙවියෙකි.

බුදුහිමි යක්ෂ දමනය කළ අවස්ථාවේ දෙසූ බණ අසා සිරිපතුල පිහිටුවනු ලෙස ආරාධනා කළේ සමන් දෙවි හුය.

මියුගුණ පැනව්වේ සුමන නම් ගම් ප්‍රධානියෙකු බුදු හිමියන්ගේ මහියංගණ වැඩමවීමේදී බණ අසා බෞද්ධ උපාසක බවට පත්ව බුදුහිමියන්ගෙන් ලත් කේශධාතු පිළිගෙන ඉඳුනිල් මැණිකක් දාගැබක් කරවා මරණින් පසු දෙවියෙකුව උපන් බව අදහසකි.

රාම කුමරුන්ගේ සහෝදර ලක්ෂ්මන්ගේත් සිද්ධී කුමරියගේත් පුත් මහා සුමන බුදුරදුන් මහියංගණයට වැඩි කල සහෝදරිය සමඟ ගොස් දහම් අසා සෝවාන්ව, බුදුරදුන්ගෙන් ලත් කේශධාතු නිදන් කොට සහෝදරිය සමඟින් මියුගුණ වෙහෙර තැනූ බවත් සමනල ගිරෙහි සිරිපතුල බුදුහිමි ලවා තැබවූ බවත්, මහත් ගෞරව පිළිගැනුම ලත් මහාසුමන මිය ගිය පසු ජනතාව දේවත්වයේ සැලකූ බවත් අදහසකි.

සමන් දෙවි කවරහුදැයි විවිධ අදහස් පවතී.

සබරගමු වැසියෝ සතරවරම් දෙවි සතර දෙනාටම ගෞරවය භක්තිය දක්වති. එහිදී සමන් දෙවිඳුට ප්‍රධානත්වය හිමි කරයි.

සමන් දෙවි, සබරගමුවට බලතෙද පාන ප්‍රධාන දෙවියන් වුවද ලංකාවටම බැල්ම අනුහස් ඇති ලෙසින් දිවයින පුරා සමන් දේවාල දක්නට ඇත.

“සමන්තකූට පර්වතයක, සාසන භාරව සිටිනා ක

සවන් පුරා අසන බණක – රකින සීලෙ සිල් මහි මෙක

අතින් දරන පත් කඩයක – නා ගුණ වැල් නිතර අතක

සමන් දෙවිඳු යන උතුමෙක දෙවොල් යකුට බලනෙක

යනාදී ලෙසත් සමන්තකූට පර්වතය, ශාසනයත් භාරව සුරතින් පත්කුඩය හා නවගුණ වැලගෙන සිල් රකින සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි.

සමන් දෙවි පිළිබඳව සුප්‍රසිද්ධ සබරගමු රත්නපුර මහ සමන් දේවාලයයි.

ආර්ය කාමදේවන නම් ඇමතිවරයකු මැණික් ගැරීමට සමන් දෙවියන් වෙත කළ භාරයක් ඔප්පු කරනු වස් තමාට ලැබුණ කැකිරි ගෙඩියක තරම් විශාල මැණික වෙනුවෙන් සබරගමු මහ සමන් දේවාලය ගොඩ නැඟූ බව ජනප්‍රවාදයේ එයි.

සමන් දෙවි බලවත්ය. නොගැලපෙන එක වචනයක් වත් ප්‍රකාශ නොකොට කරුණාබර වචනයෙන් සංයමයෙන් ක්‍රියා නොකළ යුතුය. ශ්‍රී පාද වන්දනාවේදී

“කරුණාවයි කරුණාවයි

සමන් සුරිඳු කරුණාවයි”

මේ හඬා වා තළය විසිරි විහිදි පවතී.

 

“වට පිට නොබලා පාර බලන්නේ

අඩියෙන් අඩියට සාදු කියන්නේ

දම්වැලෙ එල්ලී ද මේ නගින්නේ

සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ”

සිරි පතුල වැඳගන්නට සමන් දෙවි පිහිට අවශ්‍යමය.

කරුණු සෑම තන්හිම සමන් දෙවිඳුන්ගේ පිහිට බැලීම අවශ්‍යය.

 

“සුමන සමන් දෙවියෝ පිං ගන්නයි

පැමිණ තිබුණ සැම දොස දුරු වන්නයි

 

පුතකු නැතිව මට අඩිය කොයින්ද

පුතෙකු දෙවන් මට සමන් සුරින්ඳ

සිද්ද සමන්දෙවි යුද්දෙ නිමාකර දුප්පත් සෙනෙහගෙ ගිනි නිවනා

ගමන් යන්ට නැකතින් පාරු පැදගෙන

සමන් දෙවියන්ට පුද පඬුරු දී ගෙනා

 

ශ්‍රී පාද වැඳුමට සමන් දෙවි පිහිට අවශ්‍යමය

සීත ගඟුල, ගෙත්තම්පාන, හැරමිටිපාන, ඇහැලකණුව, මහගිරිදඹය, ආදී සෑම තන්හිම සමන් දෙවි සිහිපත් කරමින් ශ්‍රී පාද පද්මය කරායෙති.

 

සියලු දෙනම ගොස් පද්මෙ වඳින්නේ

මාර යුදෙන් ජය ගන්නා වැන්නේ

පුද පූජාකොට පින් ලැබ ගන්නේ

සුමන සමන් දෙවි මේ පින් ගන්නේ

 

කලාභූෂණ

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.