වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සවනක් රැසින් පෙළහර පෑ දන්ත ධාතූන් වහන්සේ
මෙවර ඇසළ පෙරහර
ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර 13 දා වීදි සංචාරය කරයි. පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර 18 දා වීදි සංචාරය කෙරෙනු ඇත. අවසන් රන්දෝලි මහා පෙරහර නිකිණි පොහෝ දින 22 දා පැවැත්වීමෙන් අනතුරුව පසු දින දිවා පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ඉතා සුදුපැහැයක් විය යුතුය. එහෙත් මේ දළදාව අවපැහැ ගැන්වී ඇත්තේ කෙසේද යන්න කිත්සිරි මෙවන් රජුට සැකයක් ඇතිවිය. ඒ වෙලේම දළදා වහන්සේ අහසෙහි දක්ෂිණාවෘතව ගමන්කොට සවනක් රැසින් පෙළහර පා රජු ඇතුළු සැමගේ සැක දුරු කළහ. ඒ දළදා වහන්සේ ලක්දිව පෑ පළමු පෙළහරයි.
අනතුරුව කිත්සිරි මෙවන් රජතුමා සිංහාසනය මත සුදු ඇතිරිලි යොදා ඒ මත දළදා වහන්සේ වැඩමවා සමන්මල් රැසකින් වැසීය. එකෙණෙහිම දළදා වහන්සේ සමන්මල් ගොඩ මුදුනෙහි පැන නැගී බුදුරැස් විහිදුවාළහ. ඒ ලක්දිව පෑ දෙවන දළදා පෙළහරයි. නැවතත් රජතුමා සිංහාසනය මත ඇතිරිල්ලක් ඔතා දළදා වහන්සේ ඒ මත වැඩ හිඳුවා සිනිඳු සළු සියයකින් පමණ වැසීය. එහිදී දළදාවහන්සේ මතුවී සිවුදිසාවන්හි බුදුරැස් විහිදුවූහ. එවේලෙහි මහ පොළොව කම්පාවිය. මහ වැසි වසින්නට විය.
ඉන් පැහැදුන රජතුමා පුද පූජා පෙරහර පවත්වා ඉදිරියටත් පුද පූජා පෙරහර පවත්වන ලෙසට ලේඛන ගත කළේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල්උයනේදී පිරිනිවන් පෑ සේක. වෙසක් පෝ දින අලුයම් කාලයේදී එසේ පිරිනිවන් පෑ බුදුරජුන්ගේ ශ්‍රී දේහයට දින හතක් පුරා පුද පූජා පවත්වා මකුටබන්ධන පර්වතය නම් ස්ථානයේ තැන්පත් කර තැබීමෙන් පසු බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රී දේහය රනින් කළ දෙනකින් වසා ආදාහනය කළහ. එහිදී සතර දළදා වහන්සේ ද දෙඅකුධාතූන් වහන්සේ ද ලලාට ධාතූන් වහන්සේ ද දැවී අළු බවට පත් නොවී තැන්පත් වූහ. මේ අතර බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සැලවූ දඹදිව රජ දරුවෝ සේනා සහිතව පැමිණ යුද්ධකොට හෝ ධාතූන් වහන්සේලා ගනිමියි කියා සිය අයිතිය ප්‍රකාශ කළහ.
මෙහිදී ද්‍රෝණ නම් බ්‍රාහ්මණ තෙමේ ඇති වෙන්නට යන තත්ත්වය තේරුම්ගෙන එය සමතයකට පත්කිරීම සඳහා ඉදිරිපත් වී ධාතුන් වහන්සේලා බෙදන අටියෙන් දකුණු දළදා වහන්සේ ගෙන තම හිස්වැස්මෙහි සඟවා ගත්තේය. ඒ බැව් දුටු සක් දෙවිඳු බමුණාට නොදැනෙන සේ එම ධාතුන් වහන්සේ ගෙන දෙව්ලොවට වැඩමවා සිළුමිණි මහා සෑයේ තැන්පත් කරන ලදී. ශ්‍රී දළදා වහන්සේගෙන් එක් නමක් එසේ් සිළුමිණි සෑයේ ද තවත් නමක් නාලෝවේ ද තවත් නමක් ගාන්ධාර පුරයේ ද තවත් නමක් ලක්දිවෙහි ද තැන්පත් කොට පුද පූජා පවත්වන්නට වූහ. ධාතූªන් වහන්සේලා බෙදන අවස්ථාවේදී ලබාගත් දළදා වහන්සේලා තව්දිසා දෙව්ලොව ද නාලොව නා රජු ළඟද ගාන්ධාර පුරයේ කාලිංග රජු වෙත ද ලැබිණ. කාලිංග දේශයේ ගුණසීහ රජු වෙත ලැබුණු ශ්‍රී දළදාවට පුද පූජා සත්කාර පවත්වමින් වන්දනාමාන කළහ.
එයට කිපුණු නිගන්ඨයෝ රජුට බොරු චෝදනා නගමින් රජු මිනී ඇටයකට පුද සත්කාර කරන බවට චෝදනා පඬිරජුට දැන්වීය. ඉන් කිපුණු පඬිරජු වරෙක විශාල ගිනිගොඩකට දමා විනාශ කිරීමට වෑයම් කළේය. තවත් වරෙක කිණිහිරියකට දමා පහරදී කූඩු කිරීමටත් මළ මුත්‍රා වළකට දැමීමටත් නියෝග කළේය. විශාල ගිනිගොඩක් ගසා ගින්නෙන් පුළුස්සා දැමීමටත් උත්සාහ ගැනීමේදී ගිනිගොඩ මැදින් රතු නෙළුම් මලක් මතුවී දළදා වහන්සේ ඒ මතට වැඩම කරන ලදී. මෙ පුවත් ඇසූ පඬි රජු මහත් කම්පනයට පත්ව දළදා වහන්සේට මහත් භක්තියෙන් වැඳ වැටී සමාව අයද සිටියේය. පසුව පුද පූජා පැවැත්වූ රජතුමා දළදා වහන්සේට තම හිසමතට වඩින ලෙස ආයාචනා කළේය. බුදු රැස් විහිදුවා පෙළහර පාමින් හිසමතට වැඩි ධාතූªන් වහන්සේට පුද පූජා පවත්වා මාලිගාවක් සාදා තැන්පත් කරන ලදී.
මේ අතර රටේ පැවති යුද තත්ත්වය අඩුවීමෙන් පසු පඬිරජු සමඟ මිත්‍රවූ ගුණසීව රජු දළදා වහන්සේ ඉල්ලාගෙන පුද පූජා පවත්වන්නට වූහ. පසුව දළදා වහන්සේ ගැන දැනගත් පඬි රජුගේ බෑණනුවන් කෙනෙකු වූ ක්ෂිරධාරා රජු දළදා වහන්සේ ඔහු වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර නුදුනහොත් යුදවැදී එය ලබාගන්නා බව දන්වා සිටියෙන් යුදයට පිවිසියේය. එහිදී ගුණසිව රජු තම බෑණනුවන් වූ දන්ත කුමරු කැඳවා එළඹ ඇති යුද්ධයෙන් ජය ගැනීම සැක සහිත බව පවසා හේමමාලී කුමරිය සමඟ දළදාව රැගෙන ලක්දිවට යන ලෙස උපදෙස් දුන්නේය. දන්ත කුමරු උදේනි රජුගේ පුත් වූ අතර හේමමාලි කුමරිය කලිඟු දේශයේ ගුණසීව රජුගේ දියණියයි. ගුණසීව රජුගේ හිතමිත්‍ර ලක්දිව රජව සිටි මහසෙන් රජුට දළදාව භාරදී නොකඩවා පුද පූජා පවත්වන ලෙසට ද දන්වන ලදී. ඒ අනුව දන්ත කුමරු තම මෙහෙසිය සමඟ බමුණු වෙස්ගෙන දළදා වහන්සේ හේමමාලි කුමරිය ගේ කෙස්කළඹේ සඟවා ගෙන කලිඟු දේශයෙන් පලාවිත් ත්‍රිකුණාමලයට නුදුරු ඉලංකයි කුරෙයි නම් ස්ථානයෙන් ගොඩබසිනවිට මහසෙන් රජු කාලක්‍රියා කොට රජුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ක්‍රි.ව. 301-328 රජු බවට පත්ව සිටියේය.
දළදා වහන්සේ මෙරටට වැඩම කළ බව මහ විහාරවාසී හිමිවරුන්ගෙන් දැනගත් රජතුමා මහත් සතුටට පත්ව මේඝගිරි විහාරයට ගොස් දළදා වහන්සේ හා සෙසු පිරිස පිළිගෙන පළිඟුමිණෙන් සාදන ලද කරඬුවක දළදාවහන්සේ තැන්පත් කොට පුද පූජා පවත්වා මහ පෙරහරින් අනුරාධපුර රාජධානියට වැඩමවා ගෙනවිත් රජමාලිගාවෙහි තැන්පත් කොට පුද පූජා පවත්වන ලදී. පසුව දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද ධම්මචක්ක ගෘහයෙහි වැඩ හිඳවුහ. එමෙන්ම පුද පූජා පෙරහර පැවැත්වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු නොනවත්වා පෙරහර හා පුද පූජා පැවැත්වීමට ද නියෝගයක් පැනවීය. බුද්ධදාස රජ දවස ලක්දිව මහා දුර්භික්ෂයක් ඇතිවිය. ඉන් රට බේරා දෙන ලෙස ඉල්ලා මහා සංඝයා වහන්සේලාගේ උපදෙස් පරිදි රජු පෙහෙවස් සමාදන්ව පිරිත් දේශනා පවත්වා දළදා වහන්සේට පුද පූජා පවත්වා දුර්භික්ෂය තුරන් කර දෙන මෙන් ඉල්ලමින් සත්‍යක්‍රියා කළහ. ඉන්පසු මහවැසි වස්වා රෝබිය තුරන් කොට රට සුඛිත මුදිත වූ බව වංශ කතාවල කියැවේ.
දකුණු උඩ දළදා වහන්සේ නාගලෝකයේ නා රජු විසින් රැගෙන ගොස් තිබේ. පාලි ධාතු වංශයේ දැක්වෙන පරිදි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන දැන ගත් ජයසේන නැමැති නාරජු ඔහුගේ සේනා සංවිධානය සමඟ කුසිනාරා නුවරට ගොස් චිතකයට ගෞරව දක්වා සිය ඍද්ධිබලයෙන් දන්තධාතූන් වහන්සේ නාගපුරයට වැඩමවා ඇති බවයි. පසුව නාලොව ඉදිකළ රන් දාගැබක දළදාවහන්සේ තැන්පත් කොට පුද පූජා පවත්වා ඇත. ඒ අතර මාගම රජ පැමිණි කාවන්තිස්ස රජ කාලයේදී මහදේව තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරනමක් නාලොවට වැඩ එහි තිබූ දන්තධාතූන් වහන්සේ ගෙනවුත් තම්බපන්තියේ ගිරි අභය රජු හා සෝමා දේවිය විසින් ඉදිකළ ස්ථූපයෙහි තැන්පත් කොට ඇති බව සඳහන් වේ.
සතර දළදා වහන්සේලා අතරින් වම් යටි දළදාව වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගාවෙහිය. එම දළදා වහන්සේ වෙනුවෙන් අලුත් සහල් මංගල්‍යය. කිරිපිඬු පූජාව පෙරහර මංගල්‍යය, කාර්තික මංගල්‍යය යන සතර මංගල්‍යයෙන් පවත්වනු ලබන අතර දිනපතා සේවාවන් ද අනෙකුත් නියමිත පූජාවන් හා වාර්ෂික ඇසළ මහා පෙරහර ද දළදා ප්‍රදර්ශනයද පවත්වනු ලබයි.
බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
සටහන – මාධ්‍යවේදී
බී.ඇල්.පේ‍්‍රමරත්න