අපේ යුතුකම් ඉටුකර ඩෙංගු මර්දනය කරමු

ජූලි 16, 2021

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරී යන කොරෝනා වසංගතය නිසා බොහෝදෙනෙකුට ඩෙංගු රෝගය පැතිරීයාම අමතක වී ඇති බවක් පෙනේ. එනිසාදෝ පසුගියදා වසංගත රෝග විද්‍යා අංශය මඟින් ඩෙංගු උණ මෙන්ම මී උණ රෝගය ද පැතිරීමේ තර්ජනයක් ඇති බව සිහිපත් කරදෙන ලදී. ශ්‍රී ලංකාවෙන් පළමු ඩෙංගු රෝගියා වාර්තාවූයේ 1962 වර්ෂයේදී ය. ඒ වගේම ඩෙංගු රක්තපාත රෝගීන් 1966 වාර්තා වූ අතර, ඉන් අනතුරුව අද දක්වාම ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ඇත.

 

ඩෙංගු රෝගීන් පිළිබඳ වගුව

වර්ෂය රෝගීන් ගණන මරණ ගණන

1989 203 20

1999 1689 15

2009 33681 334

2019 99120 90

රටක හෝ භූගෝලීය ප්‍රදේශයක ඩෙංගු රෝගය පැතිරීම සඳහා ස්වභාවධර්මයේ නිර්මාණ තුනක බලපෑමකින් සිදුවේ. එනම් මිනිසා, මදුරුවා සහ වයිරසයයි. මේ සත්ව කොට්ඨාස තුන ස්වභාවධර්මයා විසින් සම්බන්ධ කර ඇත්තේ එයින් එක් වර්ගයක පැවැත්ම සඳහා ය. එහෙත් එහි අහිතකර ප්‍රතිවිපාක භුක්තිවිඳීමට සිදු වී ඇත්තේ මිනිසාටය.

රෝගය ඇති කරන්නේ ඩෙංගු වයිරසයයි. මෙම රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ගෙනයන්නේ (වාහකයා) මදුරුවාය. යම් ප්‍රදේශයක ඩෙංගු වසංගතයක් පැවැතීමට මේ අවශ්‍යතා තුනම සම්පූර්ණ වී තිබිය යුතුය. සාධක තුනෙන් එකක් යම් ප්‍රදේශයකින් ඉවත් කළ හොත් ඩෙංගු රෝගය සමාජයෙන් තුරන් කළ හැක. මදුරුවන් ඉවත් කළොත් ඉතිරි වන්නේ මිනිසා සහ ඩෙංගු වයිරසයයි. එසේ වුවහොත් ටික කලකින් රෝගය පැතිරීම නවතිනවා ඒ මදුරුවෝ නැති නිසයි.

වයිරසය සමාජයෙහි ඉවත් කළ හැකි නම් ඉතිරිවන්නේ මිනිසා සහ මදුරුවා පමණි. එවිට වයිරසය නැති නිසා රෝගය බෝවීමක් සිදු නොවේ. එහෙත් වයිරසය විනාශ කිරීමට ඖෂධයක් තවම සොයාගෙන නැත. එමෙන්ම රෝගයෙන් වැළකී සිටීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ද තවම නිපදවා නැත. මෙහිදී පැහැදිලි වන්නේ ඩෙංගු රෝගය සුව කිරීමට ඖෂධයක් හෝ එයින් වැළකී සිටීමට එන්නතක් ද නොමැති බවයි.

මදුරුවන් පාලනය සඳහා වියදමකින් තොරව කළ හැකි පරිසර හිතකාමී ක්‍රමය නම් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍ය නොවේ. කාලය හා ශ්‍රමය පමණක් ප්‍රමාණවත් වේ. ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් වැඩිපුර බෝ වන්නේ මිනිසා විසින් ඇති කරන ජලය එක්රැස්වන භාජන හෝ ස්ථානවලය. ඉවත ලන පොලිතීන්, ෂොපින් බෑග්, ලන්ච්ෂීට්, යෝගට් කෝප්ප, බියර් ටින්, හිස් ප්ලාස්ටික් වතුර බෝතල්, පොල්කටු, ඉවතලන ටයර් වැනි ජලය එක්රැස්වන බඳුන්වලයි. මේ හැර නිවෙස්වල ජලය එකතුවන අබලන් වූ වැහි පිහිලි, කැඩීගිය කානු පද්ධති, අලුතින් ඉදිකරන ගොඩනැගිලි, සොහොන් කොත්, ස්මාරක, සිමෙන්තිවලින් හෝ පිඟන් ගඩොල්වලින් තනා ඇති නිර්මාණවල ජලය රැඳෙන තැන්වල මදුරුවන් බෝවන බව සොයාගෙන ඇත.

මිනිසා විසින් ඇති කරන මේ ජලය රැඳෙන ස්ථාන විනාශ කළ හැක. නැත්නම් ඉවත් කළ හැක. එසේ නොවේ නම් රැඳී ඇති ජලය බැසයාමට කටයුතු කළ හැක. මිනිසා විසින් සිදු කරන වැරැදි මිනිසා විසින්ම නිවැරදි කළ යුතුය.

ඩෙංගු මර්දනයට තමා විසින් කළ දේ කුමක්ද? යන්න පිළිබඳ පණිවුඩයක් රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් නැතිනම් අනෙකුත් සමාජ මාධ්‍යවලින් විකාශය වූවාට ප්‍රචාරය වූවාට ප්‍රමාණවත් නැත. පුවත්පතක සතියකට වරක් විතරක් මතුවූවාට වැඩක් නැත. එමෙන්ම ඩෙංගු සති මාස ප්‍රකාශ කරයි. මේ සියල්ලෙන් සිදුවන්නේ ජනතාවට මූලික අවබෝධයක් ලැබීම පමණි. මේ වන විට මිනිස්සු ඕනෑවටත් වඩා ඩෙංගු පිළිබඳ දැනුවත් වී ඇත. ජනමාධ්‍ය සාකච්ඡාවලින් මිනිසුන්ට වැඩක් නැත. මිනිසාට අවශ්‍ය ක්‍රියාකාරී වැඩපිළිවෙළකි.

අද ඩෙංගු මර්දන කාර්යයයෙන් ඉටු නොවන්නේ එයයි. මිනිසුන් ඩෙංගු පිළිබඳ මූලික දැනුමෙන් සන්නද්ධව කළ යුතු ය. ඉන්පසු මේ ප්‍රශ්නය ඔවුන්ගේ අයහපත් ක්‍රියා නිසා ඇතිවන්නක් බවත් එනිසා එය විසඳිය යුතු ඔවුන් විසින්ම බව අවබෝධ කළ යුතු ය. ජනමාධ්‍ය මඟින් කරන ප්‍රචාරණය වගේම ග්‍රාමීය මට්ටමේ සෞඛ්‍ය සේවකයින් ජනතාව අතරට ගොස් ඩෙංගු මර්දනය සංවිධානය කළ යුතුය.

මේ සඳහා චීන කියමනක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

“යන්න මිනිසුන් අතරට

ඔවුන් හා වාසයට

උගෙන ඔවුන් වෙතින

ඔවුනට ඇලුම් කළ මැන

ඔවුන් දන්නා දෙයින් අරඹා

ඔවුන් සතු දේ නගාලුව මැන

හොඳම නායකයින්ගේ

මෙහෙය සඵල වූ කල

කාරිය නිම වූ සඳ

එය අපිම කළෙමු යි

මිනිස්සු කියන්නාහ.”

(චීන කියමනකි)

මෙයින් කියවෙන්නේ මිනිස්සු අතර ඇති සම්පත් ප්‍රයෝජනයට ගෙන ඔවුන් ඇති කරන ප්‍රශ්නය ගැන දැනුම්වත් කර ප්‍රජා සහභාගිත්වය ලබාගෙන ඔවුන්ගේ ගැටලුව විසඳිය හැකි බවයි.

අද සෞඛ්‍ය නිලධාරීන් සිතන්නේ ඩෙංගු ඔවුන් විසඳිය යුතු ඔවුන්ගේ ප්‍රශ්නයක් බවයි. ඩෙංගු මිනිසුන් ඇති කරන මිනිසුන්ගේ ප්‍රශ්නයක් බව අවබෝධ කරදෙනතුරු ඩෙංගු ගැටලුව විසඳීම අපහසු වේ.

ප්‍රදේශයේ ඇති ස්වේච්ඡා සංවිධාන අනෙකුත් විධිමත් අවිධිමත් සංවිධාන මෙන්ම විධිමත් හා අවිධිමත් නායකයින් හඳුනාගත යුතුය. මේ හැර ජනතාවගේ චාරිත්‍ර, වාරිත්‍ර, උත්සව ආදී සියලු සංවිධාන හා ස්ථාන හා අවස්ථාවන් හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වේ. මේ සියලු දේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රයෝජනයට ගත හැකිය. නිසිපරිදි මිනිසුන් දැනුවත් කළ පසු නමුත් ඒ සියල්ල මනාව සංවිධානය කරනු ඇත.

සෞඛ්‍ය සේවකයින් කළ යුත්තේ ඒවා හඳුනාගෙන ඔවුන් දැනුවත් කර පෙලඹීම පමණි. ප්‍රදේශයේ ඇති සියලු සම්පත් හඳුනාගෙන ඒ පිළිබඳ විශේෂයක් කර සහාය කරගත හැකි සියලු දේ හඳුනා ගත යුතු වේ.

මේ සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ දැනුම හා ආකල්ප යම් ප්‍රමාණයට වෙනස් කිරීම ද අත්‍යවශ්‍ය බව අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාවේ මැලේරියා රෝග මර්දනය, පාචන රෝග වසංගත මෙන්ම ජනතාව තුළ පවුල් සැලසුම් වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කළේ මෙවැනි ප්‍රජා සහභාගීත්ව වැඩසටහන් මඟිනි. මෙසේ ජනතාව සජීවීකරණය කිරීම තුළින් පමණයි ඩෙංගු සාර්ථකව මර්දනය කළ හැක්කේ.

ඩෙංගු මර්දනයේදී සෞඛ්‍ය සේවකයින්ගේ පමණක් ඇප කැපවීම ප්‍රමාණවත් නොවේ. මේ සඳහා අවශ්‍ය අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලබා ගැනීමද අත්‍යවශ්‍ය වේ. පළාත් පාලන ආයතන, අධ්‍යාපන සමාජ සේවා, සමෘද්ධි ප්‍රජා සංවර්ධන, තරුණ සේවා ආදී ග්‍රාමීය මට්ටමේ ක්‍රියා කරන සියලු ආයතන සංවිධාන දැනුවත් කර ඒ සියලු ආයතනවල සහාය ඩෙංගු මර්දන වැඩසටහනට ලබා ගැනීමට ක්‍රියා කළ යුතු වේ. මේ සඳහා විශාල මුදල් කන්දරාවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සෞඛ්‍ය නිලධාරීන්ගේ කැපවීම පමණයි.

 

කෝනාර එම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.