සිත් සතන් තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කරවන ඇසළ සමය

ජූලි 16, 2021

සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගනු ලැබුවේ ඇසළපුණු පොහෝ දිනකය. ගිහිගෙයින් නික්ම පැවිදිවන්නට සිදුහත් කුමරුට සිත්දුන්නේත් ඇසළමස පොහෝ දිනක ය. දසමර සෙන් පරදවා උතුම්ම පදවිය වූ බුදුපදවිය ලැබීමෙන් පසු මගුල් බණ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග තවුසන්ට දෙසණු ලැබුවේ ද ඇසළ පුණු පොහෝ දිනකය.

 

රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද මෙවන් අසිරිමත් පොහෝ දිනකය. ගණ්ඩම්බ රුක්මුල්හිදී තීර්ථකයන්ගේ මහන්තත්ත්වය බිදිනු පිණිස යමා මහ පෙළහර පෑමට බුදුන්වහන්සේ තෝරාගත්තේත් ඇසළ පුණු පොහෝ දිනක්මය. මාතෘ දෙවියන් තුසිත දෙව්ලොව දෙව්බඹුන්ට බණ දේශනා කරන ලද්දේත් මෙවන් ඇසළ පුන් පොහෝ දිනකය. අනුබුදු මිහිඳු හිමියන් මහවිහාර සීමාව සම්මත කළේත් කිත්සිරිමෙවන් රජ දවස හේමමාලී හා දන්තකුමරු මෙරටට වැඩමවාගෙන ආ දළදාවහන්සේ වෙනුවෙන් පෙරහර පවත්වන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනකය. රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබුවේ ද මෙවන් පොහොය දිනකදී ය. එමෙන්ම පළමුවස් විසීම සිදුකරනු ලැබුවේ ද ඇසළ පොහොය දිනකදී ය.

වෙසක් පොසොන් මාස ගෙවී ඊසාන දෙසින් හමා එන මෝසම් වැස්සත් සමඟ ගස්වැල් මලින් බරවී ගොවිතැන් සශ්‍රීකත්වය කියාපාමීන් උදාවන ඇසළ මහා සැණකෙළිය නොහොත් ඇසළ සමය බුදුහම් උතුම් මාසයකි. තව්තිසා දෙව්ලොව දෙවියන්ට ධර්මය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම ඇසළ පෙරහර පැවැත්වීම සඳහා කප් සිටුවීම දෙවි දේවතාවුන් සඳහා භාරහාර වීම ගම්මඩු, ගිනිමඩු, යාතිකා පැවැත්වීම රෝබිය, දුක්බිය තුරන් කිරිම සඳහා සෙත් ශාන්ති කිරීම ආදී කටයුතු රැසක්ම ඇසළ සමය තුළ දී සිදු කෙරේ.

සකළ ලෝක සිවන්කර තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව ඇසළ පුණු පොහෝ දිනකදී පවත්වනු ලැබූ බැවින් ඇසළ පෙරහර එම සිද්ධිය සිහිපත් කිරීම සඳහා ඇරඹුණු බවද සඳහන් වේ. මෙරට බොහෝ ප්‍රදේශයන්හි විවිධ දේවාල, කෝවිල් හා විහාරස්ථානවල දෙවියන් උදෙසා වූ දේව පූජා පෙරහර හා වත් පිළිවෙත් සිදු කරනු ලබන්නේ ඇසළ සමයේදී ය.

රුහුණු රටට අධිපති කඳසුරිඳුන් පිදීමේ පූජා උත්සවය අරඹණු ලබන්නේ ඇසළයේ දී ය. කතරගම දෙව් සැණකෙළිය ආරම්භයෙන් පසුව රුහුණු රටේ දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙනුවෙන් ඇසළ උළෙල පැවැත්වේ. සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ උළෙල ද පවත්වනු ලබන්නේ ඇසළයේ දී ය. අලුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය නවගමුව පත්තිනි දේවාලය, සීනිගම දේවාලය, අතුරලියේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ගම්භාර දේව පෙරහර වාද්දුවේ පෙරහර මොරවක් කෝරළයේ කොටපොළ ගැටබරු විහාරස්ථානයේ හා අනෙකුත් සිද්ධස්ථානවල ඇසළ පෙරහර ආදී පෙරහර හා දේව උත්සවද පවත්වනු ලබන්නේ ඇසළ පෝයේදී ය. නැකැත් විධි අනුගමනය කරමින් චාරිත්‍රානුකූලව සුබ මොහොතින් කප් සිටුවා සියලුම ඇසළ පෙරහරවල් සිදු කෙරේ. රන්දෝලි මහ පෙරහර පවත්වා ගිනිපාගා දහවල් දේවදානය ලබාදීමෙන් දේව තොවිලය පැවැත්වීමෙන් දේවාශිර්වාද ලබා ගැනීම සෞභාග්‍යය ලබා ගැනීම භව භෝග සම්පත් සශ්‍රීකත්වය, රෝදුක්වලින් මිදී රට ආරක්ෂා කර ගැනීම සියලු ජනතාවට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරිමද මෙම සමය තුළ සිදු කෙරේ.

රුහුණු කතරගම දෙවි සැණකෙළිය ආරම්භවීමට දින හතළිස් පහකට පෙර කප් සිටුවීම සිදුකෙරේ. පොසොන් පෝයට සතියකට පෙර කප් සිටුවයි. උත්තරායන වසන්ත සෘතුවේ මේෂ රවියේ පුර නවවක් දින කපට සිටුවන ගස සළකුණු කිරීමට පිටත්වගොස් නැකැත් චාරිත්‍ර අනුව පෙර දින රාත්‍රී නැකැත්වේලාව බලා කපා ගන්නා ලද ගස්දෙක රාත්‍රියෙහි පෙරහරින් වල්ලි අම්මා දේවාලයට ගෙනැවිත් මහා දේවාලයට වැඩමකරනු ලබන්නේත් පෙරහරකිනි. එසේ වැඩම කළ කප් දෙක මල්වලින් සරසා පඬුරු බැඳ සුබ මොහොතින් දේවාලයේ දී පුද පූජා පවත්වා මිණි බැඳ මණ්ඩපයේ ඇති කණු දෙකේ බැඳීම සිදුකෙරෙන්නේ පුදපූජා මෙන්ම ශබ්ද පූජා ද පවත්වමිනි. කතරගම ඇසළ පෙරහර ආරම්භ වන්නේ ඉන් අනතුරුව ය. පළමු පෙරහර මහ දේවාලයෙන් පිටත්ව මහ වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් පුද පූජා පවත්වා නැවත පෙරහර මහ දේවාලයට පැමිණේ. පෙරහර දොළහක් පැවැත්වීමෙන් පසු අවසන් මහ පෙරහර පැවැත්වේ. කාර්තික ස්කන්ද කුමාර සුබ්‍රමන්‍ය කදිර මහා සේන ශුභ දේවසේන, අග්නිකූට, ෂන්මුධ ආදී නම් රැසකින් හඳුන්වනු ලබන කතරගම දෙවියෝ වෙනුවෙන් පවත්වන මහ පෙරහර අවසන් පෙරහර වේල් පෙරහර දෙවොල් පෙරහර ද ඇතුළු පෙරහර දොළහක් ද දෙවොල් පෙරහර හයක් ද ඇතුළුව පෙරහර දහනමයක් පැවැත්වේ.

කතරගම ඇසළ උළෙල නිමාවන්නේ දිය කැපීමේ මංගල්‍යයෙන් හා ගිනිපෑගීමේ උත්සවයෙනි. කතරගම ඇසළ පෙරහර පැවැත්වීමෙන් පසු දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන ඇසළ උළෙල ආරම්භ වේ. ඉතා පැරණි පෙරහරක්වන දෙවිනුවර ඇසළ පෙරහර පැරණි නැටුම් ගැයුම්වලින් සමන්විතව පැවැත්වේ. මෙම පෙරහරේ විශේෂත්වයක් වන්නේ කෝල්මුර යාගය නොහොත් දේව තොවිලයයි. ක්‍රි.ව. හයවන සියවසේ පනස් නමයේ දී රාජධානියක් බවට පත් වූ දෙවිනුවර රජ පැමිණි පළමුවන දප්පුල රජු උත්පල දෙවියන්ගේ දෙව්රුවක් සකසා තැන්පත් කරන ලදී. දෙවුන්දර දේව නගරය දෙවුන්දර ගිරිහෙළ කිහිරැළිපුර නම්වලින්ද ප්‍රසිද්ධියට පත්ව ඇත.

ජීවමාන බුදුන්වහන්සේ හා සමාන ශ්‍රී දළදා වහන්සේ වැඩ වසන දළදා මාලිගාවේ පෙරහර මෙරට ප්‍රථමවරට පවත්වා ඇත්තේ කිත්සිරිමෙවන් රජ දවස ක්‍රි.ව. තුන්සිය දහයේදී ය. සෑම වසරකම දළදා වහන්සේ දළදා මාලිගාවේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහරින් වැඩමවා දින අනූවක කාලයක් ප්‍රදර්ශනය කළ බව ඉතිහාසගතව ඇත. ඇසළ පෙරහර වෙනුවෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වූයේ සුබ මොහොතින් සතර දේවාලයන්හි කප් සිටුවීමයි. මහනුවර විෂ්ණු දේවාලය නාථ දේවාලය, කතරගම දේවාලය හා පත්තිනි දේවාලය ද වේ. මහියංගණ ඇසළ පෙරහර ද ආරම්භ වන්නේ කප් සිටුවීමෙනි. මහියංගණ ථූපය කේන්ද්‍රකොට මෙම පෙරහර පවත්වනු ලබන අතර එහි නිර්මාතෘවර ලෙස සැළකෙන සුමන සමන් දෙවියන් සිහිපත් කොට පෙරහර පැවැත්වේ. මහියංගණ රාජ මහා විහාරය සහ මහ සමන් දේවාලය ඒකාබද්ධව ඇසළ මහා පෙරහර පැවැත්වේ.

සත්පත්තිනිදෙවියන්ට පුද දෙන නවගමුවේ ඇසළ පෙරහර සත්පත්තිනි දේවාලය හා පත්තිනි දේවාලය හා පැවැත්වේ. අලුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය අනුරාධපුර දළදා පෙරහර, අතුරළියේ පෙරහර, සීනිගම දේවාලයේ ඇසළ පෙරහර කොටපොළ ගැටබරු විහාරස්ථානයේ ඇසළ පෙරහර, වාද්දුවේ ඇසළ පෙරහර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇසළ මහා පූජෝත්සව මෙන්ම පෙරහරද පැවැත්වේ. එහෙත් රටේ පවතින වසංගත තත්ත්වය නිසා බොහෝ පෙරහර හා උත්සව ඒ ඒ ස්ථානවලට සීමාකොට පැවැත්වීමට පියවරගෙන ඇත.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් එම්. ජී. රාජපුර

 

 

සටහන - මාධ්‍යවේදී,

බී.ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.