සිංහල අවුරුද්ද සහ කාන්තාව සතු කාර්යභාරය

අප්‍රේල් 9, 2021

සූර්යයා වසරක් පුරා සිය රාශි වළල්ලේ අවසන් රාශිය වන මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගෙන ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව දුරාතීතයේ සිටම පොදු සාමූහික හැඟීමෙන් යුතුව පවත්වන උත්කර්ෂවත්ම සංස්කෘතික උලෙළ සිංහල අලුත් අවුරුද්දයි.

දසත සුවඳවත් කරමින් තුරුලිය මලින් පිරී, පලබරින්,කුරුලු කෙවිලි නාදයෙන් අවුරුදු කාලයටම උරුම එරබදු මලින්, කජු පුහුලන්, අඹ, වැල, වරකා වැනි පලතුරුවලට ඇදී එන සියතුන්ගෙන් පරිසරය හැඩවෙද්දී ඇතිවන චමත්කාරය සැමදෙනාගේම සිත්සතන් ප්‍රබෝධමත් කරවන්න කි. එදා තරම් සොඳුුරු පරසරය නොතිබුණ ද අදත් බෞද්ධාගමික සහ අපේ පැරණි හෙළ සිරිත් සුරකිමින් සිංහල අලුත් අවුරුද්ද සමගිව සතුටින් ගත කිරීමට ජනතාව පෙලඹී සිටී. ජීවයේ පැවැත්මට ඉමහත් කාර්ය භාරයක් සිදු කරන සූර්යයාට ගෞරව දැක්වීම් ලෙසින් කෘෂිකාර්මික ආර්ථික රටාවක් පැවති මුල් වකවානුවෙහි ගොවියා හිරු දෙවියන් නැමැදීම සිදු කළ අතර, එයට ඒකාලයේ සූර්ය මංගල්‍යයය යනුවෙන් ව්‍යවහාර විය. එය පසුකලෙක සිංහල අවුරුද්ද ලෙසින් ප්‍රචලිත වන්නේය. අවුරුද්දේ හොඳින් හිරු එළිය ලැබෙන කාලය වගාවන්හි පලදාව ඇතිවී ගේ දොර අහරින් පිරී ගොවියාගේ අතමිට සරුවන විට සෞභාග්‍යමත් කාලයක් උදාවීමෙන් අවුරුදු උත්සවය මේ තරම් සුවිශේෂිව ජනතාව අතරට පැමිණ ඇත. නාගරික ජනතාව පවා ගම රටවලට ගොස් අවුරුදු අසිරිය විඳගැනීමට පුරුදු වී සිටින අතරේ නගරාශි‍්‍රත පිරිස කෙසේ හෝ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අවුරුදු සැමරී සිදු කරති.

ඒ අනුව අවුරුද්ද ළං වන විට ලොකු කුඩා සියලු දෙනා සැරසෙන්නේ සියල්ලෙන්ම අලුත් වන්නටය. දිළි ඳුපැලේ සිට මහමන්දිරය දක්වාම සාමය, සතුට කැන්දන සිංහල අලුත් අවුරුද්ද වඩාත් හැඩගැන්වෙන්නේ නිවසක ගෘහනියක වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ කාන්තාව අතිනි. අතීතයේ මෙන් නොව අද කාන්තාවන් බොහොමයක් රැකියාවන්හි නියුතුය. සංකීර්ණ සමාජයක දහසකුත් එකක් රාජකාරි මධ්‍යයේ වුවත් අවුරුදු ළං වන විට ඒ සඳහා පළමුවෙන්ම සූදානම් වන්නේ ඇයයි. නිවෙස් පිරිසිදු කිරීමේ, අලංකාර කිරීමේ කැවිලි පෙවිලි සකස් කිරීමේ, මුළුතැන්ගේ සියලු කටයුතු සඳහා පෙරමුණ ගන්නේත් ඇයමය. පවුලේ අයට. ඤාතීන්ට අලුත් ඇඳුම්, රෙදිපිළි මිලදී ගැනීම, එම කාලය සඳහා ආහාරපාන, අවශ්‍ය කලමනා සියල්ල සූදානම් කිරීම සැමියා හෝ දරුවන් දෙන මිල මුදල් පවා අරපරෙස්සමින් වියදම් කරමින් කිසිවකුගේ සිත් නොරිදෙන අයුරින් සියලු කර්තව්‍යයන් ඉටුකිරීම කාන්තාවගේ වගකීමයි. තමාට තනිව කළ නොහැකි කාර්යයන් පවුලේ සාමාජිකයන් ලවා හෝ හවුල්කරගෙන හෝ කර ගැනීමට හැකියාව ඇය සතු විය යුතුය.

අවුරුද්දේ ශුභ නැකැත් පිළියෙල වෙන්නේ සූර්යයා මුල්කරගෙනය. හිරු මේෂ රාශියට පිවිසීම ආරම්භ වීමත් සමඟ උදාවන පුණ්‍ය කාලයේ පරණ අවුරුද්දේ පවුලේ අය හා ස්නානය කර පිරිසුදු වන කාන්තාව කා බී සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමත් සමඟ ඇරඹෙන අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා මූලිකත්වය ගන්නීය. පුණ්‍ය කාලයේ අපර කොටස තුළ යෙදෙන නැකැත් අනුව ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, ආහාර පිසීම ද නැකැත් සීට්ටුවේ සඳහන් ආකාරයට සුබ දිශාවන් බලා අදාළ වර්ණයෙන් වස්ත්‍ර හැඳ කටයුතු කිරීමද වැදගත් වේ. මීළඟට ආහාර අනුවය සඳහා කැවිලි මේසය සකස් කර පහනක් දල්වා සුබ නැකැත් වේලාවේදී පවුලේ සැම හා එක්ව වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය කිරීමත්, වැඩිහිටියන්ට බුලත් දී වැඳීමත්, තෑගි බෝග හුවමාරු කර ගැනීමත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනී.

මේ අතර නෑගම් යාම හෙවත් ඥාති මිත්‍රාදීන් බැලීමට යාම, අවුරුදු ක්‍රීඩා කිරීම, අවුරුදු උත්සව පැවැත්වීම් ආදි කටයුතු හුදෙක් ඔවුනොවුන් අතර සමගිය වඩා වර්ධනය වීමට හේතුවන කාරණා වේ. හිස තෙල් ගාන සිංහල අවුරුද්දේ විශේෂිත සංස්කෘතික අංගයකි. වසර පුරා සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කරන්නට ලැබේවායි ප්‍රාර්ථනය පෙරදැරි කරගෙන හිසතෙල් ගෑමේ සිරිත අතීතයේ පටන් පැවත ඒ.

අවුරුදු නැකැත් හමාර වන්නේ රැකීරක්ෂා සඳහා පිටත්වීමට තිබෙන නැකතිනි. එදින ද ගෘහනිය අතින් පිසෙන කිරිබතක් ඉඳුල් කර සතුටු සිතින් රැකීරක්ෂා සඳහා පිටත්ව යන්නේ ඇයගේ ආශිර්වාදයත් සමඟිනි.

ශ්‍රී ලාංකීය අපටම අනන්‍යවූ අවුරුදු චාරිත්‍ර සංස්කෘතිය බුදුදහම හා බැඳුණු වටිනා ගුණාංග රැකගෙන මතුපරපුරට දායාද කිරීමේ උදාරතර වගකීම පැවරී ඇත්තේ ද නිවසක සිරිකත වන් කාන්තාව වෙතම බව වටහාගත යුතුව ඇත. ඒ සඳහා මුළුමහත් සමාජයේ සහයෝගය ඇයට ලැබිය යුතුවේ.

එමෙන්ම කාන්තාව සතු තවත් විශාලතම වගකීමක් ඇත. ඒ අවුරුද්දේ සාමය, සමගිය, සතුට සමාදානය විනාශ කරන මත්පැන් සාදයකින් අවුරුදු සාදය නිමා කර නොගැනීමට වගබලා ගැනීමය. සැමගේම අවුරුදු ප්‍රාර්ථනය විය යුත්තේ ගෙවූ වසරට වඩා ලබන්නාවූ වසර වසංගත රෝදුක් බියෙන් තොර යහපත් සාර්ථක වසරක් වේවා යන්නයි.

 

ඡ්‍යොතිර්වේදිනී

චම්පා කෝදාගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.