තරබාරුව මට්ටු කරන කුරක්කන් පිට්ටු

ජනවාරි 29, 2021

මානව පරිණාමයේදී වනගතව සිටි මිනිසා ගස්වල ගෙඩි, කොළ, පොතු වගේම අල ද ආහාරයට ගත්තේය. එහෙත් මිනිසා දඩයම් යුගයෙන් ගොවිතැන් යුගයට පැමිණි පසු ආහාර වගා කර ගැනීමට පුරුදු වී ඇත.

ඒ අනුව ගල් යුගයේ සිට අද දක්වාම ආහාරයට ගනු ලබන ධාන්‍ය වර්ගයකි. කුරක්කන් ඡ්තඥභඵඪදඥ ඛ්ධපචජචදච යන උද්භිද නාමයෙන් හඳුන්වන කුරක්කන්වල නිජබිම ඉතියෝපියාවේ උස්බිම් ලෙස සැලකේ. වර්තමානයේ කුරක්කන් ආසියාවේ සහ අපි‍්‍රකාවේ වාර්ෂිකව වගා කරන බෝගයකි. ශ්‍රී ලංකාවේ ගිරුවාපත්තුවේ, රජරට සහ ඌව වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල හේන්වල අද ද කුරක්කන් වගා කරනු ලැබේ. ඈත අතීතයේ කැලය කපා ගිනි තබා පුලුස්සා සකස් කර ගන්නා නවදැලි හේන්වල උස්බිම්වල කුරක්කන් වපුරනු ලබයි. එකල පොහොර හෝ කෘමිනාශක වගාව සඳහා භාවිතා නොකළ අතර, කෘමි රෝග ද ඇතිවූයේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් කුරක්කන් වගාවේ වර්තමාන තත්ත්වය එදාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. නව තාක්ෂණය අනුව රාවණා, ඕෂධී වශයෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකි කුරක්කන් වර්ග හඳුන්වා දී ඇති අතර, ඒවා වගා කිරිමේදී පොහොර මෙන්ම කෘමිනාශක ද භාවිතා කිරීමට සිදු වී ඇත. එදා කුරක්කන් බහුලව වගා කරන ලද්දේ හේන්වලය. එහෙත් වනසංරක්ෂණ නීති අනුව අද කැලෑ එළිකිරීමට අවශ්‍ය නැති නිසා කුරක්කන් වගාව දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. එනිසා රුපියල් මිලියන ගණනක් වැය කර ඉන්දියාවෙන් කුරක්කන් ආනයනය කිරීමට සිදු වී ඇත.

ශ්‍රී ලාංකිකයින් කුරක්කන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ කුරක්කන් තලප, හැලප, පිට්ටු , රොටි, ඉඳිආප්ප සහ කැඳ වශයෙනි. ගිරුවාපත්තුවේ, වෙල්ලස්ස බින්තැන්නේ මෙන්ම රජරට කුරක්කන් තලප සහ රොටී ප්‍රධාන ආහාරයක් වේ. අද නාගරිකව ද කුරක්කන් මිශ්‍ර ආහාර බහුලව දක්නට ඇත. හැලප, කුරක්කන් පාන්, කුරක්කන් බිස්කට් සහ පිට්ටු නගරයේ ජනපි‍්‍රය වී ඇත. නාගරිකයන් අතර කුරක්කන් ජනපි‍්‍රයවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරු විසින් බෝනොවන රෝග සඳහා සුදුසු ආහාරයක් ලෙස කුරක්කන් නිර්දේශ කිරීම හේතුවෙනි. කෙසේ නමුත් දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල්, අධික ස්ථූලතාවය පාලනයට සහ රෝග වළක්වා ගැනීමේ ආහාරයක් ලෙස කුරක්කන් ආහාරයට ගැනීමට පුරුදු වී ඇත. කුරක්කන් රළු ආහාරයක් නිසා අවශෝෂණය හෙමින් සිදු වේ. එනිසා බඩගින්න ඇතිවීමට පමාවේ. එනිසා තරබාරු අයට සුදුසු සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. කොල්ලු, මුං ඇට සහ වැව් මාළු ආනම සමඟ කුරක්කන් තලප ගම්බද ප්‍රදේශවල ජනපි‍්‍රය ආහාරයකි. මැග්නීසියම් බහුල නිසා පරණ කුරක්කන් දියවැඩියා රෝගීන්ට ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස භාවිත කෙරේ. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති නිසා කුරක්කන් මඟින් වයසට යාමේදී ශරීරය වැහැරීමේ තත්ත්වය පාලනය කරයි.

කුරක්කන්වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම්, ඛනිජ ලවණ,මේදය සහ ආහාරමය කෙඳි ද අඩංගුය. මළ බද්ධය සඳහා කුරක්කන් කැඳ මහඟු ඖෂධයකි. ඒ කරක්කන්වල ඇති කෙඳි (තන්තු ) හේතුවෙනි. ආර්තවහරණය සිදු වූ කතුන්ට කුරක්කන් ඉතාමත් සුදුසු ආහාරයකි. රුධිරයේ අඩංගු මේදය ඉවත් කිරීමට කුරක්කන් උපකාරි වේ. මුත්‍රාශයේ ගල් ඇතිවීම වළක්වන අතර සිරුරේ තෙල් මට්ටම පාලනය කරයි. යකඩ සහ කැල්සියම් බහුලව ඇති නිසා කිරිදෙන මව්වරුන්ට සහ මාස 06 ඉක්ම වූ ඕනෑම දරුවකුට පෝෂ්‍යදායි ආහාරයකි. පිතට සහ කැස්සට ගුණදායක කුරක්කන් නියුමෝනියා රෝගීන්ටත් පෙණහලු දුර්වල අයටත් ආහාරයක් වශයෙන් යෝග්‍යය. කොලෙස්ටරෝල් පාලනයට ඍජු දායකත්වයක් කුරක්කන්වල ඇත. කුරක්කන්වල පයිටික් අම්ලය බහුල නිසා පිළිකා සෛල වර්ධනය අඩාල කරයි.

ආයුර්වේද වෙදකමේදී කැඩුම් බිඳුම් සඳහා පත්තු සඳහා බහුලව භාවිත කෙරේ. ඉදිමුම්වලදී හීන්බෝවිටියා සමඟ කුරක්කන් පිටි දමා කකාරා පත්තු සකස් කර ගනී.

දහදිය බිබිලි සුව කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ආයුර්වේදයේ යොදාගනී. දකුණු අපි‍්‍රකාවේ ලාදුරුවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන අතර, ඉන්දු චීනයේ අක්මා රෝගවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි. සුමාත්‍රා දූපත් වැසියෝ පණුරෝගවලට ප්‍රතිකාරයක් වශයෙන් කුරක්කන් යොදාගනී. දැනට ලොව පැතිරී යන ඨතභබඥද චතතඥපඨර වළක්වා ගැනීමට කුරක්කන් යෝග්‍ය ආහාරයක් වී ඇත. එයට හේතුව කුරක්කන්වල ග්ලූටන් නොමැතිවීමයි. කුරක්කන්වල ග්ලූටන් නොමැති නිසයි තිරිඟු පිටිවලින් මෙන් පාන් නිෂ්පාදනය කළ නොහැක්කේ.

වත්මන් රජය විසින් කුරක්කන් ආනයනය සීමා කර ඇති නිසා ශ්‍රී ලංකාව තුළ කුරක්කන් වගා කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව ජාන තාක්ෂණය භාවිතා කරමින් වැඩි ඵලදා ලබා ගත හැකි නව කුරක්කන් වර්ග හඳුන්වා දී ඇත. එහෙත් සාම්ප්‍රදායික කුරක්කන් වගාව මෙන් නොව නව වගාවන්ට කෘමිනාශක සහ රසායනික පොහොර භාවිතා කිරීමට සිදුවීම නම් සෞඛ්‍ය හිතකර තත්ත්වයක් නොවේ.

 

කෝනාර එම්. ගුණපාල

(බංගදෙනිය සමූහ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.