තිස් පස් වසරක් සපිරෙන ජාතික පුෂ්පය හා ජාතික වෘක්ෂය

ජනවාරි 29, 2021

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත ලෙස ජාතික වෘක්ෂය, ජාතික පුෂ්පය, ජාතික මල, ජාතික ක්‍රීඩාව හා ජාතික ගීය ප්‍රධාන කොට ජාතික පක්ෂියා, ජාතික ඇඳුම ඇතුළු ජාතික වැදගත්කමක් ඇති කටයුතු රැසක්ම එසේ නම් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල්මානෙල් මලත් ජාතික වෘක්ෂය ලෙස නා ගසත් නම් කොට ඇත. එසේ ජාතික වශයෙන් නම් කොට මේවන විට තිස්පස් වසරක් සම්පූර්ණ වේ. නිල් මානෙල් මල හා නාගස පූජනීයත්වයට පත් මලක් හා වෘක්ෂයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද උපයෝගි කර ගන්නා ප්‍රබල ඖෂධයන් වන නිල් මානෙල් මල හා නාගස ඖෂධ රැසක් සඳහා උපයෝගී කර ගනිති. ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මලත් ජාතික වෘක්ෂය ලෙස නා වෘක්ෂයත් එකදාස් නමසිය අසූහය වසරේ පෙබරවාරි මස විසිහය වනදා පැවැති කැබිනට් රැස්වීමේදී සම්මත කර ගන්නා ලදී. ලංකාව පුරා පිහිටි වැව් පොකුණුවල බහු වාර්ෂික පැළෑටියක් ලෙස වැවෙන මානෙල් මල භූගත කඳ මඩයට ගිලී පවතී. ලා දම් හෝ නිල් හෝ රෝස පැහැති ලා පෙති වලින් මතු වෙන නිල් මානෙල් මලෙහි රේණු කහ පැහැයෙන් යුක්ත වේ.

 

මෙම මල බුදුදහමට අනුව මංගල ලකුණු එකසිය අටට අයත් පූජනීය වූ මලකි. සීගිරි සිතුවම් වල නිල් මානෙල් මල් අත දරා සිටින අප්සරාවියන් දැකගත හැකිය. හංස සන්දේශය සැළලිහිණි සන්දේශය හා පරවි සන්දේශ කාව්‍යවල නිල් මානෙල් මල ලලනාවියන්ගේ දෑසට උපමා කර ඇත. නිල් මානෙල් මල සත්‍යයේත්, සංකේතයක් ලෙසත් සැළකේ. විශේෂයෙන් නිල් මානෙල් සුබ කටයුතුවලට යොදා ගනු ලබන මලකි. ඉංගී‍්‍රසි භාෂාවෙන් මෝටර්ලිලී (ඒර්‍ථඡ්ඕධ්උඉඑඒඊඡ්අඹ්ධ්ඹ්ක) යනුවෙන් හඳුන්වනු ලබන නිල්මානෙල් මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ නිම්පෙයා ස්ටෙලාටා යන්නයි .(ව්රථනඩචඥච ඉබඥතතචබච) නිල්මානෙල් මලෙහි ඇති ඖෂධීය ගුණය ඉමහත්ය.

නිල්මානෙල් කඳ දළු මල් බීජ හා නටුද ව්‍යාංජන සඳහා යොදා ගනිති. නටු මල් රේණු හා බීජ යන සියලු කොටස් ආයුර්වේද මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොදා ගනිති.

මුත්‍රා රෝග සිරුරේ උෂ්ණාධික අතීසාරය ඉදිමුම් ආදී රෝග සඳහා ද උපයෝගී කර ගනී. උශිරාදි තෛලය, කුමාරි තෛලය . උක් පුරුක් කෂාය, චන්දනාදී චූර්ණය ආදී ඖෂධ රැසකටම නිල්මානෙල් අල, මල් රේණු ඖෂධ හා සමව එක්කර ගනී. දවස පුරා පිපී තිබෙන නිල් මානෙල් මලෙහි මනි පත්‍ර හතරක්ම පිහිටා ඇත. මෙම මල සායම් වර්ග සඳහාත් භාවිතා කෙරේ. ඉතාම පූජනීය තත්ත්වයේ පවතින නිල් මානෙල්මලට බෞද්ධ සාහිත්‍යයේද විශේෂ තැනක් ලැබී ඇත. සිදුහත් කුමරු උපත ලද අවස්ථාවේදී රජ මාළිගයට පැමිණි කාලදේවල තවුසාණන් බෝසතාණන්ගේ සිරිපතුල් දෙක දෑතින් අල්ලා ගෙන මගුල් ලකුණු පරික්ෂාකිරීමේදී දෙපතුල් පුරා මඟුල් ලකුණු එකසිය අටක් දුටු බවද සඳහන් වේ. ඒ මඟුල් ලකුණු අතර නිල්මානෙල් මල්දෙකක්ද වූ බව සඳහන් කොට ඇති අතර නිල් මානෙල් මල් පූජා කළ අවස්ථාද සාහිත්‍යයේ දැක්වේ.

අපේ ජාතික වෘක්ෂය වන නාගස දිවයින පුරා දක්නට ලැබෙන පූජනීය වෘක්ෂයකි.එය බොහෝ පූජනීය ස්ථානවල වැඳුම් පිදුම් ලබමින් පවතී. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි අටවිසි බුදුරදුන්ගෙන් මංගල සුමන රේවත හා සෝභිත යන බුදුවරුන් නාගස යට දී බුද්ධත්වයට පත්වීම නිසා නාගස පූජනීයත්වයට පත්වී ඇත. නාගසේ කොළ දික්ව වැඩේ. රෝස පැහැතිය. සුදු පැහැති පෙති හතරකින් යුත් සුවඳැති මල් ප්‍රසන්නතාවයකින් යුක්ත වේ. නාගසාරියුම් යන (ව්චඨචඵඵචපඪභථ) උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන නාගස ඉතා ප්‍රසන්න වෘක්ෂයකි. අපේ‍්‍රල් ජුනි යන මාසවලදී මල් හටගන්නා එහි සුවඳ කාලයක්ම පවතී. නාගසේ දළු රත් පැහැගැන්වී ඉතා සුන්දරත්වයක් ගෙන දෙමින් කොළ පැහැයට හැරේ. නාමල් රේණු බොහෝවිට ඖෂධයන් සඳහා යොදා ගනු ලබන අතර, නා දළු පිරිත් මණ්ඩපවල උඩුවියන් වල එල්ලීමටත් දේවාල කෝවිල්වල සරරසිළි ලෙස යොදා ගැනීමටත් යොදා ගනිති.

ආයුර්වේද ඖෂධ සඳහා ගනු ලබන නා ගසේ කොටස් වලින් වැඩියෙන්ම ගනු ලබන්නේ නාමල් රේණුය. එම රේණු අමුවෙන් හා වියළා යොදා ගන්නා අතර, නා පොතු හා නා කොළ බෙහෙත් සඳහා ගනී. විශේෂයෙන් නාමල් රේණු කර්පුරාදී චූර්ණය, මහා සරස්වතී චූර්ණය චන්දනාදී චූර්ණය කාමේශ්වරිමෝදකය. මදන මෝදකය අමෘතාරිෂ්ටය අශ්වගන්ධාරිෂ්ටය. ඉරිමේදාදී තෛලය ,චන්ද්‍රකාන්තිය සඳහාද යොදාගන්නා අතර, නාගසේ හටගන්නා දුම්මලද ඖෂධීය බැවින් එය සර්ප විෂ ප්‍රතිකාර සඳහා විශේෂයෙන් යොදා ගනිති. නාදළු සිංහල සාහිත්‍යයේදී කාන්තාවන්ගේ දෙතොලට උපමා කොට ඇත. අපේ ජාතික වෘක්ෂය වන නා ගසත් ජාතික පුෂ්පය වන නිල් මානෙල් මලත් ඉතා වටිනා ඖෂධයන්ය.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර

වෙද මැඳුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.