භවභෝග සම්පත් දියුණුකර සෞභාග්‍ය ලබාදුන් සූර්ය දිව්‍ය රාජයාට පුදසත්කාර ලබාදෙන තෛපොංගල්

ජනවාරි 15, 2021

මෙසේ මල්රටා ඇඳ අලංකාර කොටස බොහෝ විට සූදානම් කර ගනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයාගේ කිරණ වැටෙන නැගෙනහිර දෙසට ය. එමෙන්ම ගෙවත්තේ මල් රටා ඇඳ ලස්සන කරනවා පමණක් නොව කෙසෙල් ගස් උක්ගස්වලින් මෙන්ම මකර තොරණින් ද එම බිම් කොටස අලංකාර කරගනිති.

 

කළගුණ සැළකීම මූලික කරගෙන සොබාදහමට තුති පිදීම සිදුකෙරේ. ඉතිරවීම බුබුළු දැමීම සහ බත යන අරුත් දෙන පොංගල් දෙමළ වදන නිසා එම නම යෙදී ඇති බව නිසැකය. හිරු දෙවියන්ට පුද පූජා තබා සතුටු කොට ලබන නව වසරේ දී ද පෙර වසරේ මෙන් සශ්‍රීකත්වයත් සෞභාග්‍යයත් ලබා ගැනීම සඳහා හිරු දෙවියන්ගේ පිහිට පැතීමයි.

 

තෛපොංගල් යනුවෙන් හැඳින්වෙන්නේ උත්තරායනම් නැකැත් කාලය ආරම්භවීමයි. ඒ සංක්‍රාන්තියේ උදාවන කාලයයි. මිනිසා ඇතුළු සියලු සත්වයන්ගේ දිවිමඟට හා දිවිපෙවෙතට ඒ සියලු කටයුතු කරගෙන යෑමට උපකාරී වන්නේ සූර්ය දිව්‍යරාජයා ය. එහෙයින් සූර්ය දිව්‍යරාජයේ නැමැදීම මෙහිදී සිදු කෙරේ.

 

පුරාණයේ සිටම දෙමළ ජනතාව පොංගල් දිනය සමරනු ලබන්නේ කෙත බත බුලත සශ්‍රීකත්වය සෞභාග්‍යය ඉස්මතුකරවීමට ය. එයට මුළින්ම හේතුව වී ඇත්තේ කෙත බුලත ආදී සියලු වස්තූන්ට උත්තම වස්තුව හිරු ලෙස සැලකීමයි. මෙම පොංගල් උත්සවයට තවත් හේතුවක් වන්නේ එය ශීත සෘතුව ගෙවී වසන්ත උදාව මූලික කර සැමරීමයි. සෘතු වෙනසට හේතුව සූර්යයා බැවින් තෛපොංගල් උත්සවය පුද පූජා පවත්වන උත්සවයක් ද වේ. හින්දු ජනතාව මහ ඉහළින් පවත්වනු ලබන මෙම උත්සවය ජනවාරි මස 15 වන දාට යෙදී ඇත.

මකර සංක්‍රාන්තිය යනුවෙන්ද හඳුන්වන මෙම උත්සවය මිනිසුන්ගේ උසස් ගුණාංගයක් වන කළගුණ සැළකීම මූලික කරගෙන සොබාදහමට තුති පිදීම සිදුකෙරේ. ඉතිරවීම බුබුළු දැමීම සහ බත යන අරුත් දෙන පොංගල් දෙමළ වදන නිසා එම නම යෙදී ඇති බව නිසැකය. හිරු දෙවියන්ට පුද පූජා තබා සතුටු කොට ලබන නව වසරේ දී ද පෙර වසරේ මෙන් සශ්‍රීකත්වයත් සෞභාග්‍යයත් ලබා ගැනීම සඳහා හිරු දෙවියන්ගේ පිහිට පැතීමයි. වෘක්ෂලතාවන්ට හා සතුනට හිරුගේ බලපෑමක් ඇති නිසා අලුත් වී අස්වැන්න කපාගත් විලස සහල් පිළියෙල කර කිරිබත් පිස හිරු දෙවියන්ට පූජා පැවැත්වීම සෑම හින්දු භක්තිකයෙකුගේම සිරිතකි. දෙමළ හින්දු ජනතාවගේ සෑම උත්සවයකදීම මංගල්‍යයකදී පූජාවකදී ම ඒ සඳහා සූදානම් කරන ආහාර වර්ග පන්තියක් ඇත. ඒ අනුව තෛපොංගල් පූජා උත්සවයේ දී පිසිනු ලබන කිරිබත සුවිශේෂ වූ ආහාරයක් වනු ඇත. තමන් වෙහෙස මහන්සි වී වගා කළ වී ගොවිතැනේ හොඳම කොටස (අග්‍ර) කොටස සූර්ය දිව්‍යරාජයා වෙනුවෙන් පුද කෙරේ.

පුරාතනයේ දී ගොවියන්ට පමණක් සීමා වී තිබූ මෙම උත්සවය මේ වන විට ගෙයක් ගෙයක් පාසා පවත්වමින් තම සශ්‍රීකත්වය වර්ධනය කර ගැනීමට පෙළඹී සිටිති. පොංගල් දිනයේ දී සූර්යය දිව්‍යරාජයා උදාවීමට පැය පහකට ප්‍රථම අවදිවන හින්දු බැතිමතුන් ස්නානය කර පිරිසුදු වස්ත්‍රාභරණයෙන් සැරසී පෙහෙවස් සමාදන්වෙති. අනතුරුව නිවස ඉදිරිපිට ගෙමිදුලේ ගොම පිරියම්කර සකස් කරගන්නා බිම් කොටසක සුදු, රත් පැහැ පිටි, සුදු පිටි සූදානම්කරගෙන ඒවා ගෙන අලංකාර ලෙස බිම්කොටසේ මල් රටා ඇඳ රැලි දමා ලස්සන කරගනිති.

මෙසේ මල්රටා ඇඳ අලංකාර කොටස බොහෝ විට සූදානම් කර ගනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයාගේ කිරණ වැටෙන නැගෙනහිර දෙසට ය. එමෙන්ම ගෙවත්තේ මල් රටා ඇඳ ලස්සන කරනවා පමණක් නොව කෙසෙල් ගස් උක්ගස්වලින් මෙන්ම මකර තොරණින් ද එම බිම් කොටස අලංකාර කරගනිති. තවද එහි පිරිසුදු කර වෙන්කරන ලද ස්ථානයක අසුනක් සාදා එහි ගණදෙවියන්ගේ ඡායාරූපයක් ද තබා ගනිති. එම දෙවිවරු ඉදිරියේ පහනක් දල්වන අතර, හාල් හෝ වී අතුරා ඒ මත සෝදා පිරිසුදු කරන ලද පොල් ගෙඩියක් ද තබා කෙසෙල් ගෙඩි බුලත් පුවක් ඇතුළු පූජා භාණ්ඩ තබති. ඉන් අනතුරුව පළමු කොට ගණදෙවියන්ට පුද පූජා පවත්වා පසුව අනෙකුත් සියලු පුද පූජා පවත්වති.

සෝදා පිරිසුදු කරන ලද නැවුම් මුට්ටියක් ගෙන එහි කට වටේට කහ කොළ ඉඟුරු කොළ අඹ කොළ වටේට තබා බැඳ මුට්ටියේ පිට පැත්තේ තිරනූර් තවරා ත්‍රිශූලයක් සේ තුන් පැත්තක ඇද කට්ටකුමංජල් ඇතුළු සුවඳ වර්ග එහි තවරා පොට්ටුවක් තබා එම සැලියට එළකිරි සමඟ ජලයත් වත්කර සුවඳ දුම් අල්ලා ලිප්බැඳ එම ලිප කපුරුවලින් දල්වා සැමියා හා බිරිය එක් වී සූර්ය දිව්‍ය රාජයාට නමස්කාර කර ඉෂ්ට දෙවියන් වන්දනාමාන කර සකස්කර ගත් සැළිය ඉතා පරෙස්සමින් දෙදෙනාම එක් වී දෑත්වලින් අල්ලා කපුරුවලින් දැල්වෙන ලිප උඩ තබති. එසේ සිදුකරන විට දූ දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනා ම ඒ අවට රැස්ව සිටියි. සැළියේ කිරි ඉතිරී පිටට ගලනවිට ඔවුන් හැම දෙනාම ශබ්දනගා පොංගල් පොංගල් කියමින් සතුටු වෙති. කිරි ඉතිරී උතුරු දිසාවටද නැගෙනහිර දිසාවට ද පිටාර ගැලිය යුතු ය. එහෙත් ඊසාන දිශාවට කිරි පිටාර ගැලුවහොත් එය ඉතාම යහපත් යැයි සළකා සිත් සැහැල්ලු කර ගනිති.

ඉන් අනතුරුව ගෘහ මූලිකයා අලුත් සහල් දෑතින්ම ගෙන හිරුදෙවියන්ට නමස්කාර කර සැලිය තෙවරක් පැදකුණුකොට සහල් හැලියට දමති. ඉන්පසු පිළිවෙලිත් වැඩිහිටියාගේ සිට ලාබාලම දරුවා දක්වාම සහල්ගෙන සැලියට දමති. පසුව සූකිරි, ගිතෙල් පැණි, උක් පැණි, රට ඉඳි, මිදි, මුං ඇට ද දමා හොඳින් කළවම් කරගනියි. එසේ පිසගත් කිරිබත කෙසෙල් කොළ තුනකට බෙදා දෙවියන්ට පිදේ. එහිදී කිරිබතට අමතරව දෙවිරුව ඉදිරියේ කෙසෙල් ගෙඩි උක් දඬු කැබලි මල් වර්ගද පූජාව සඳහා තබනු ලබයි.

ඊට පසු පොල් ගෙඩියක් ද බිඳ එය ද තබා ඒ අසලින් මල් වට්ටියක් ද තබා සුවඳ දුම් අල්ලා ස්ත්‍රෝත්‍රගායනා කර සූර්ය දෙවියන් වන්දනා මාන කරති. ඉන් අනතුරුව දේවස්ථානවලටද ගොස් දෙවියන් නැමැද මවුපිය ගුරුවරයන්ටද වැඩිහිටියන්ට ද වැඳ ආශිර්වාද ලබා ගනිති.

එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දුප්පතුන්ට අනාදරයට පත්වූවන්ට කාත් කවුරුවත් නැති අයටත් කිරිබත් ඇතුළු ආහාර ද්‍රව්‍යවලින් සංග්‍රහ කරති. එසේ සංග්‍රහ කිරීමෙන් පසු සියලු නෑ හිත මිතුරන් සමඟ එක් වී නොයෙකුත් ක්‍රීඩාවල යෙදෙමින් විනෝද වන අතර, දින හතරක් තිස්සේ මෙසේ තෛපොංගල් දිනය සමරති. තෛපොංගල් දිනයේ දී සිදු කරනු ලබන විශේෂ කාර්යයක් ද වේ. ඒ පල හට නොගන්නා ගස්වලට මල්හට නොගන්නා ගස්වලට පහර දීමයි.

එසේ සිදුකරනු ලබන්නේ කිරිබත පිසීමට ගන්නා පොල් කටු හැන්දෙනි. එසේ පහරදෙන ගස් අතර පොල්, අඹ, කොස්, තල් වැනි ගස්වලටයි. මෙම කෙම් ක්‍රමය ඔවුන් මහත් විශ්වාසයෙන් යුතුව කරණු ලබන්නේ මෙම පහර දීමෙන් පසු පලදාව සරුවන බවට විශ්වාස කරමිනි.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.