වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂයයි ගොවිතැනයි
අතීතයේ විසූ ලාංකීය ජනතාව ගොවිතැන සඳහා ඡ්‍යොතිෂය නැතහොත් හිරු සඳු උපයෝගී කරගත ආකාරයත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ආකාරයත්, වස විසෙන් තොර පුරාණ ගොවිතැන (කෘෂිකර්මය) හි ඉතිහාසයත් පිළිබඳ විමසා බැලෙන කාලීන ලිපියකි.
නක්ෂත්‍රය මිනිසා මුලින්ම පාවිච්චියට ගත්තේ ගොවිතැන (කෘෂිකර්මය) සඳහාය. වැසි වැසීම පිළිබඳව ඉර හඳ හි බලපෑම මිනිසා විසින් සොයා ගැනිණි. අතීත මිනිසා තවත් කල් යාමේ දී ගව මහීෂාදීන් බෝවීම පිළිබඳවත් පිහිට සොයා ගෙන ඇත. මිනිස් වර්ගයා මේ ග්‍රහ තරුවලට යටත් බැව් මිනිසාටම වැටහිණ. ඒ අනුව මිනිසාගේ යහපත උදෙසා මේ ශාස්ත්‍රය උපයෝගී කර ගැනීමට මිනිසා පෙළඹීම මත ගොවිතැනට අදාළ නැකැත් සෑදීම වැනි කටයුතුද ආරම්භ විය. අද අපත් මේ පාවිච්චි කරන්නේ අතීත මිනිසා සොයා ගත් ඒ දේවල්ය.
අද ඡ්‍යොතිෂය යනුවෙන් බොහෝ විට භාවිත කරනුයේ මිනිසාට බලපාන හඳහන් බැලීම නැකැත් සෑදීම ආදි කටයුතු කීපයක් පමණකි. නමුත් ඊට වඩා පුළුල් ඡ්‍යොතිෂ විද්‍යාවක් අතීතයේ තිබුණි. හිරු රැස් වායුගෝලය හරහා ඒමෙන් පාථිවිය මතුපිටට ඇතිවන බලපෑම හා හිරුගේ රැස් අනෙකුත් ග්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවර්තනය වීම නිසා ඇතිවන බලපෑම් හා ඒවා ශාකවලට හා සතුන්ට බලපාන ආකාරය මෙන්ම එම ශාකවල ධාන්‍ය, පලතුරු හා එලවළු ද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප්‍රතික්‍රියා දක්වාම විනිවිද දකින්නට මේ විද්‍යාවට හැකියාව තිබුණි.
ඡ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව භාවිත කර ඇති හෙළයන් ඔවුන්ගේ දින දර්ශනයට මුල් වූයේ හිරු හා සඳුය. එම වස්තූන්ගේ බලපෑම් ගණනයෙන් කෘෂිකර්මාන්තය හැඩ ගැසුණි. මෙම වස්තුන් දෙක පෘථිවියේ කාලගුණයට බලපාන ප්‍රධාන සාධක දෙක වෙයි. එම් වස්තූන් දෙකන් පෘථිවියට සාපේක්ෂ ස්ථානය අනුව නොයෙකුත් දේශගුණික විපර්යාස වන බව විද්‍යාත්මක කරුණකි. වර්තමානයේ දේශගුණික වෙනස්වීම්වලට මෙම ග්‍රහයන්ගේ බලපෑම් මුල් වෙයි. එසේම හෙළයන් සූර්යයා සහ චන්ද්‍රයා මුල් කොට වගා කිරීම නිවැරදිය.
ඡ්‍යොතිෂ හා ගුප්ත විද්‍යාව භාවිත කොට මෙම වස්තුන් දෙකෙන් පෘථිවියට වන බලපෑම් ගණනය කිරීමට හෙළයන්ට හැකි විය. මෙම වස්තූන් දෙකෙන් ලැබෙන ශක්තිය පොළොවටත් ශාකවලටත් ජීවීන්ටත් ලැබේ. මෙම සංකල්පය විද්‍යාත්මකව බැලීමේදී සත්‍යතාවයක් ඇත. සූර්ය ආලෝකය ශක්තියකි. ආලෝක තැනී ඇත්තේ ෆෝටෝන යනු (PHOTON) වලිනි. සූර්ය ආලෝකයට අනු ලෙසත් , කිරණ ලෙසත් හැසිරිය හැක. (WAVE -PORTICKE DUALITY) මෙම කිරණ ශාක මඟින් අවශෝෂණය කර ප්‍රභාසංස්ලේෂණය කරයි. නවීන විද්‍යා පරීක්ෂණ අනුව සූර්යයාගේ වර්ණාවලියේ වර්ණ ශාකයක වර්ධනයට එක් එක් අවස්ථාවන්වලදී උපකාරි වේ. එනම් උත්තේජකයක් ලෙස ක්‍රියා කරන්නේය. උදාහරණයකට නෙදර්ලන්තයේ හරිතාගාර තුළ වගා කරන ඇන්තූරියම් වගාවත්, උත්තේජක ලෙස විදුලි බුබුළු ආකාරයෙන් මෙම වර්ණ ශක්තීන් ලබා දේ. එමඟින් ශාකයේ වර්ධනය හා පලදාව වේගවත් කර ගැනීමට හැකිව ඇත. යුරෝපයේ රටවල් රාශියක් මෙම ක්‍රමයට මල් වැවීමත්, එළවළු වැවීමත්, පලතුරු වැවීමත් කරනු ලබයි. පුරාණයේ හෙළයන්ට මෙම වර්ණ හා එමගින් ලැබෙන ශක්තීන් පිළිබඳ මනා අවබෝධයක් විය. මෙම ලබන ශක්තිය ශාකය තුළ ගබඩා වන ආකාරයත් සූර්යයාගේ බලපෑම අනුව වර්ෂය පුරාත් සඳුගේ බලපෑම අනුව මාසිකවත් ලැබෙන ආකාරය පිළිබඳ මනා දැනුමක් විය. සූර්යයාගේ වර්ණාවලියේ විවිධ වර්ණ ශක්තීන් ශාකයේ කුමන කොටස්වලට බලපාන්නේ ද යන්න හෙළයන් මනාව අවබෝධ කරගෙන සිටියේය. වර්තමානයේ හරිතාගාර තුළ වගා කරන බෝග වර්ග වෙතටත් මෙම වර්ණ ශක්තීන් ඒ ඒ කාලවලට ලබා දෙන්නේ. පුරාණයේ හෙළයන් මෙම වර්ණ ශක්තීන් ලබා දුන්නේ නියමිත කාලයට වගා කිරීමෙනි. සූර්යයා හා චන්ද්‍ර ශක්තීන් පිළිබඳ මනා අවබෝධයක් වු නිසා මෙම කාලයන් ඡ්‍යොතිෂය මඟින් ගණනය කළේය. මෙම ශක්ති ගණනයන් කෘෂිකර්මයේ පමණක් නොව හෙළ වෙදකමටත් යොදා ගන්නා ලද්දේය. අවශෝෂණය කරගත් ශක්තිය ශාකයේ කොටස්වල ගබඩා කිරීමත් දවසේ හෝරාව අනුව ශාකය තුළ තිබෙන ශක්ති ප්‍රමාණයන් ගණනය කිරීමටත් හෙළයන් දැන සිටියේය. ආයුර්වේයේ ඖෂධ එක් කිරීමේදී එම ඖෂධ එක් කරන කාල හෝරාව සඳහන් කර ඇත්තේ එම නිසාය. ශාකයකින් පත්‍ර හෝ වෙන යම් කොටස් නෙළා ගැනීමේ දී උපරිම ශක්තිය ඇති හෝරාවට නෙළා ගත යුතුය.
වර්තමාන පරීක්ෂණ අනුව මෙම කරුණු අනාවරණය වෙමින් පවතී. අමෙරිකාව හා ජපානයේ පවත්වන පරීක්ෂණ අනුව ශක්තිය උපරිම ඇති හෝරාවල නෙළාගත් ශාකවල ඖෂධ ගුණය ඉතාම ඉහළ බව තහවුරු කර ඇත. ඇමරිකාව ගොවිතැන් සඳහා ඡ්‍යොතිෂය ඉතාම සාර්ථකව භාවිත කරනු ලබන රටකි. එහි ගොවිපලවල අදාළ නැකැත් සහිත ඡ්‍යොතිෂ පොත් භාවිතා කරනු ලබයි. කෘෂිකර්මයේදි හෙළයන් මෙම ඥානය භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේය. කල් යල් බලා වගා කිරීම සූර්යයා හා සඳුගේ ශක්තීන් උපයෝගි කරගෙන වගා කිරීම සාර්ථක වගාවකට සාධක වෙයි. නවීන කෘෂිකර්මය භාවිත කොට මෙවැනි ප්‍රතිඵල ලබා ගත නොහැක. හෙළයෝ සොබා දහමට හානියක් නොවී වස විසෙන් තොර පලදාවක් ලබා ගත්හ.
සූර්ය ශක්තිය හා චන්ද්‍ර ශක්තියට අමතරව ශබ්දයත් ශාක උත්තේජකයක් ලෙස පුරාණයේ හෙළයන් භාවිත කළේය. ශබ්ද පූජාවල් පැවැත්වීම එකල චාරිත්‍රයකි. වගාවන් රෝපණය කිරීමේදි මෙන්ම කෘමීන් හා පළිබෝධ උවදුරුවලින් ආරක්ෂා වීමටත් පලදාව වර්ධනය කිරීමටත් යොදා ගත්තේය. වර්තමානයේ ශාක ශබ්දයට ප්‍රතිචාර දක්වන බවට පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. යුරෝපයේ රටවල් කීපයක සංගීතය භාවිත කරමින් වගාවන් වර්ධනය කර ඇත. පුරාණයේ සිට හෙළ ගොවියෝ පළිබෝධ හානිය අවම කිරීමට කෙම් ක්‍රම භාවිතයත් දුම් ඇල්ලීමත් සිදු කළහ. කල් යල් බලා සිටවීම නිසා මෙම උවදුරු අවම කර ගැනීමට හැකි විය.අනවශ්‍ය විදියට හෙළි පෙහෙළි නොකිරීමෙන් කෘමි උවදුරු අවම විය. හෙළ ගොවීන් වෙල්යායවල වගා බිම් වල දුම් ගැසීම හා විලක්කු පත්තු කිරීම වැන්න භාවිත කළේය. දුම් ඇල්ලීමේදී කැකුණ ඇට කොහොඹ කොළ, ගම්මිරිස් හා කරාබු කොළ වැනි දෑ භාවිත කළේය. මෙම කොළ මගින් ඇතිවන දුමෙන් සියලු මැසි කෘමි උවදුරු පමණක් නොව පක්ෂි උවදුරු පවා අවම වෙයි. විලක්කු භාවිතය තවත් ඉතාම සාර්ථක ක්‍රමයකි. මෙම විලක්කු විශේෂිත තෙල් වර්ග දමා සාදා ගන්නා අවස්ථා ද වෙයි. මෙම භාවිතයේ දී කෘමීන් ඒවාට අසු වී විනාශ වෙයි. උදාහරණයකට පොල් කුරුමිණි උවදුරට සාර්ථක විසඳුමක් ලෙස වර්තමානයේ පවා ගොම්මන් වෙලාවට (ප.ව.5.30-6.30) ගිනි මැල ගැසීම යොදා ගනී. පොල් කුරුමිණියන් රන් පැහැයට ඇදී ඇවිත් දැවී යයි.
මෙයට අමතරව විශාල ප්‍රමාණයක් කෙම් ක්‍රම වර්ග හෙළ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා යොදා ගෙන ඇත. සමහර ගුප්ත ක්‍රම විද්‍යාත්මකව විස්තර කළ නොහැකි අතර සමස්තයක් හැටියට වගා බිම්වල ධනාත්මක ශක්තිය වර්ධනය කිරීමත් කරන්නේය. එම ප්‍රදේශයේ විශ්ව ශක්තිය වර්ධනය කිරීමත් කරන්නේය. වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර කිරීමත් දේව පූජා තැබීමත් මෙම කාරණයට අදාළ අනික් කටයුතු ලෙස හැඳින්විය හැකිය.
මෙතරම් විද්‍යාත්මක පසුබිමක් වූ හෙළ ගොවිතැන අද වන විට අමතක කර දමා විදේශ වගා ක්‍රම අප අත්හදා බලමින් සිටී. නමුත් හෙළ වගාවන් විනාශ කර එය කිරීම මෝඩ ක්‍රමයකි. තාක්ෂණය නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කළ යුතු තැන් ඇත. නමුත් මහා සම්මත රජුගෙන් ආරම්භ වු හෙළ රජ පෙළපත කෘෂිකර්මයට මුල් තැන දුන්නේය. ඔවුන් විසින් වර්ෂ දහ අට දාහකට ආසන්න කාලයක් දියුණුූ කොට පෙර දිග ධාන්‍යාගාරය ලෙස වැජඹුණූ ලංකාව නැවත එම තත්ත්වයට පත්කළ යුතු කාලය දැන පැමිණ ඇත. හෙළ දිව කෘෂිකර්මාන්තය ඉතාම පුරාණයට දිවෙන්නේය. එහි විකාශන හඳුනාගැනීමට හෙළදිව මානව විකාශනය විශ්ලේෂණය කිරීම වටින්නේය.
හෙළ රාවණා යුගය වන විට ලංකාවේ කෘෂිකර්මය ඉතාම ඉහළ මට්ටමක විය. කෘෂිකර්මාන්ත හෙළ දිව ප්‍රධාන ස්ථානයක් ගත් අතර රාවණ අධිරාජ්‍යයාගේ සොහොයුරෙක් වන කුම්භකර්ණ මහා සෙන්පතිතුමා කෘෂිකර්මය භාරව සිටියේය. එතුමාගේ යටතේ කුඹුක්කන් ඔය මුල් කොටගෙන රෝහණ රාජ්‍යය අස්වැද්දීය. කුඹුක්කන් ඔය හරස් කොට යෝධ වාරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රදේශයට වර්තමාන හම්බන්තොට, කතරගම, යාල, අම්පාර, මඩකලපුව, මොනරාගල, හා සෝමවතිය ඇතුළත් විය. මෙතුමා මාස 6 ක් මෙම ප්‍රදේශයේ වී අස්වද්දා මාස 6 ක් රාවණ අධිරාජ්‍යාගේ පරිපාලන කටයුතුවලට උදව් විය. මේ නිසා ඔහුට විශාල ප්‍රමාණයක් බත් වලඳා මාස 6 නිදා ගන්නා බවට කතා පටබැඳිනි. මෙම ධාන්‍යය රාවණ අධිරාජ්‍යය පුරා අලෙවි විය. රාම රාවණ යුද්ධයෙන් පසු යෝධ කෘෂිකර්ම ව්‍යාපෘති කඩාවැටුණි. නාග, යක්ෂ සටන් දිගටම ඇවිළී ගියෙන් කෘෂිකර්මය පසු බැසිනි. බුදු සමය වන විටත් මෙම විරසක පවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන මහියංගණයට වැඩීමය. මෙම කාලය වන විටත් හෙළ කෘෂිකර්මය අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් විය. යක්ෂ ගෝත්‍රිකයන්ට ගිරි දේශය (මධ්‍යම කදුකරය) ලැබීමෙන් තෙත් කලාපයේ වගාවන්ට පුරුදු විය. නාගයන් තැනිතලා බිම්වල වගාවන්ට හුරු විය.
විජයාගමණය වන විට හෙළ වැසියන් වන යක්ෂ රාක්ෂ , නාග හා දේවකෘෂිකර්මය අතින් ස්වයංපෝෂිතව සිටියහ. ආර්යයන්ට වාරි මාර්ග ක්‍රම සම්බන්ධ දැණුමක් නොතිබුනු බැවින් ගංගා ආශි‍්‍රත ජනාවාස පිහිටුවා ගැනීමට පෙලඹුණි. ඉන්දියානු ගංගා ආශි‍්‍රත ශිෂ්ටාචාර ක්‍රමයට) පණ්ඩුකාභය රජු සමයේ ලංකාව පළමු වරට එක් සේසත් කළේය. මේ අනුව කෘෂිකර්ම මධ්‍යගතව පාලනය කිරීමට ආරම්භ විය. මෙතෙක් වූ පරුමුක (ප්‍රාදේශීය) රාජ්‍යයන් එක්සේසත් කළේය. දේවානම්පියතිස්ස රජුගේ සමයේ බෞද්ධ සංකල්ප ලංකාවට ආදේශ විය. බෞද්ධ දර්ශනය අනුව ගොවිතැන විශේෂ තැනක් ගතතේය. රාජ අනුග්‍රහය මේ නිසා කෘෂිකර්මයට ලැබෙන්නට විය.
එදා අපේ මුතුන් මිත්තන් අපට දයාද කළ හෙළ ගොවිතැන අද වන විට ඉතා සීඝ්‍රයෙන් අභාවයට ගොස් ඇත. හිරු සඳු ගමන අනුසාරයෙන් එදා භාවිතා කළ නැකතට අනුව ගොවිතැන් කිරීම අද වන විට දක්නට නැත. ඒ වෙනුවට රසායනික පොහොර හා උග්‍ර වස විෂ සහිත කෘමිනාශක අද වන විට අපේ ගොවිතැනට එක්වී හමාරය. රසායනික පොහොර උග්‍ර වස විෂ සහිත කෘමිනාශක නිසාවෙන් පොළොවට එක්වූ වස විෂ හේතුවෙන් පිරිසුදු වතුර පොද පවා දූෂණයට ලක්වී හමාරය. කුඹුරු යායකට බැසීමට නොහැකි ලෙස ඒවා දූෂණය වී ඇත.
ඈත අතීතයේ පෙර දිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලැබූ ලංකාව කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත විය. එදා අපට වස විෂෙන් තොර නිර්මල ගොවිතැනක් අපේ මුතුන්මිත්තන් දායාද කළේය. එදා ඒ පුරාණ ගෞරවනීය මුතුන්මිත්තන් අපට දායාද කළ එම වස විෂෙන් තොර නිර්මල ගොවිතැන අද දක්නට නැත. ඉර හද ගමන අනුව නැකැත්, කෙම් ක්‍රම භාවිතයෙන් එදා වගා කටයුතු කළේය. එහෙත් අද තත්ත්වය ඉතාම කනගාටුදායකය. දිනෙන් දින ලාංකීය ජනතාව වස විෂ ආහාර නිසා රෝගී තත්ත්වයට පත්වේ. රසායනික පොහොර, උග්‍ර වස විෂ සහිත කෘමිනාශක නිසා අද අපේ ගොවිතැන තනිකර වස ධාරාවක් බවට පත්වී හමාරය. ලාංකීය ජනතාව දිනෙන් දින රෝගීන් බවට පත්වේ. විවිධ පිළිකා වර්ග, වකුගඩු රෝග, දියවැඩියාව ඇතුළු ඉතාම භයානක රෝග රාශියකම ආරම්භය ලෙස අප ගන්නා ආහාරයට එක්වු වස විෂ හේතු වී ඇත. රජ රටින් දිනෙන් දින වකුගඩු රෝගීන් වාර්තා වේ. ළදරුවාගේ සිට මහල්ලා දක්වා රෝගීන් වී හමාරය. රටේ ශ්‍රමදායක වන ජනතාව රෝගීන් වීම නිසා ලාංකීය ශ්‍රමබලකාය දිනෙන් දින පහත වැටේ. අප කන බත් පතට පවා විෂ ආසනික් මුසු වී හමාරය. එළවළු ටික කෘමිනාශකයෙන් නැහැවී හමාරය. එසේනම් අප වහා වහා මේ ප්‍රශ්නයට විසදුමක් සොයා ගත යුතුය. නැතිනම් අප සියලු දෙනා අන්ත රෝගීන් වන දිනය වැඩි ඈතක නොවේ. එසේ නම් ඒ සඳහා අපට ගත හැකි හොඳම පියවර අපේ දේශීය පාරම්පරික ගොවිතැනට යොමු වීමයි. ඒ සඳහා අවශ්‍ය පාරම්පරික දැනුම අප රට තුළම ඇත. එය නගා සිටුවීම සඳහා රාජ්‍ය අංශයේ පුළුල් මැදිහත්වීමක අවශ්‍යතාව මේ යුගයේ දක්නට ඇති කැපී පෙනෙන අවශ්‍යතාවකි.
එකල රජ දවස සය කෝටියක ජනග්‍රහනයක් වෙසෙන ලක්දිව කෘෂිකර්ම අතින් ඉතාම ස්වයංපෝෂිත විය. විෂ සහිත පළිබෝධනාශක එදා යොදා නොගත්තේය. පැරැන්නෝ ගොවිතැන සඳහා පිරිත්, නැකැත්, කෙම් ක්‍රම ඇතුළු සාම්ප්‍රදායික උපක්‍රම යොදා ගත්හ. අදත් මේවා නොනැසී පවතී. කෘෂිකර්මය උදෙසා විවිධ නැකැත් ක්‍රම වලින් අනූන නක්ෂත්‍ර පොත් රාශියක් ඇත. ගොවිතැන සඳහා භාවිතා කළ නොවරදින කෙම් ක්‍රම බොහෝ වෙයි. මෙය සඳහා මන්ත්‍ර මෙන්ම පිරිත්ද භාවිතා වෙයි. “සුපටිපන්නෝ යන සංඝයා පුදන ගාථාවෙන් 108 වරක් වතුර මතුරා පලතුරු ගස් වලට ඉසීමෙන් සතුන්ගෙන් ඵල ආරක්ෂා කර ගත හැකිය. වරෝ වරඤ්ඥේ වරදෝ වරාහරෝ යන ගාථාවෙන් 108 වරක් පිරිත් කළ පැන් ඉසීමෙන් ඉපියන් හා මීයන් ආදි සතුන් මර්දනය වනු ඇත.
ගොවිතැන සම්බන්ධ නක්ෂත්‍ර විදි බොහෝමයක් ඇත. පොළොව හා සම්බන්ධ සුභ නැකැත් ලෙස බෙරන, අද, පුෂ, මා, සිත , සා, අනුර, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත් යෝග්‍ය වෙයි. අදාළ තිථි වන්නේ නව වක තිථිය හැර සියලු ඔත්තේ තිථිද ඉරට්ටේ තිථි වලින් දියවක දසවක දෙකද සුභ වෙයි. සඳුදා, අඟහරුවාදා ගොවිතැනට ඉතා සුබ දිනයක් වන අතර බදාදා හා බ්‍රහස්පතින්දා මධ්‍යම වෙයි. අදාළ දින වන රෝපණය කළ යුතු ගස්වැල් අතර
ඉරිදා - මුල් මගින් ආහාර ලබාගන්නා ශාක
සඳුදා – කඳ මඟින් ප්‍රයෝජනය ගන්නා වු ශාක,
අඟහරුවාදා /සෙනසුරාදා – කොළ මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක,
බදාදා – මල් මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක,
බ්‍රහස්පතින්දා / සිකුරාදා ගෙඩි මගින් ප්‍රයෝජනය ගන්නා වූ ශාක
වී ගොවිතැන ප්‍රධාන කොට ඇති සියලුම වගා කටයුතු වල දී පැරණි සිංහලයන් නියම ලෙස කල් යල් බලා ඡ්‍යොතිෂයට මුල් තැන දී කටයුතු කළ වග පෙනී යයි. “කැටකොළචක්‍රය” නමින් වගා නැකැත් සඳහන් පුස් කොළ ග්‍රන්ථයක්ද තිබේ. “නැකැත්වදුළ” නමැති පැරණි පොතින් ද වගා නැකැත් පෙන්වා දී ඇත. ඡ්‍යොතිෂය කරුණු ගැන නොසලකා ඇතැමුන් වගා කටයුතු කර අලාභ හානි කර ගනිති. ඉරිදා දිනය තුළ වී වැපුරූ අයට අවශ්‍ය ජලය නොලැබීම වගාව දුර්වල වෙයි. නැතිනම් කුඹුරෙහි ජලය රැඳවීමට බාධක ඇතිවෙයි. කක්කුටුකරදර නිදසුනට ගත හැකිය. සඳුදා දිනයේදී වැපුුරුවහොත් ගොයම වැඩෙයි. එහෙත් අස්වැන්න අඩුවෙයි. අඟහරුවාදා නම් කුඹූර පාළුවෙයි. බදාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා නම් වැඩි අස්වැන්න ලැබෙයි
අපගේ ප්‍රධාන ආහාරය වන වී වගාව සඳහා මෙම තිථී/දින /නැකැත් භාවිත කිරීම මගින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. වී වගාව සම්බන්ධ කටයුතු වලට වෘෂභ /මිථුන/කටක/කන්‍යා / තුලා /වෘශ්චික /ධනු /මකර /මීන යන ලග්නද සෙනසුරාදා හැර අනෙක් දිනද 4/9/14 යන තිථි හැර අනෙක් තිථිද අස්විද /මුවසිරස /පුනාවස /පුෂ / මා /පුවපල්/ උත්‍රපල් /හත/ සිත /සා /විසා /අනුර /දෙට/මූල/ පුවසල /උත්‍රසල /සුවන /දෙනට /පුවපුටුප /රේවතී යන නැකැත්ද ගොවිතැනට ඉතා සුභය. බදාදා /බ්‍රහස්පතින්දා / සිකුරාදා /යන දිනයක මා /මත/මුල /උත්‍රපල් /උත්‍රසල /උත්‍රපුටුප / පුෂ / රෙහෙණ /අනුර / යන නැකැත් හා 3,5,7,11,13 යන තිථි හා වෘෂභ, මිථුන, කටක, මකර, මීන යන ලග්නයන්ද යෙදී ඇත්නම් ඉතා උතුම් වේ. මෙවැනි දිනයක වී වැපරීම් කටයුතු කිරීම ඉතාම සුභ වෙයි. මේෂ ලග්නය උදාව ඇති මොහොතක වී වැපිරීම අසුබ වෙයි.
කුඹුරු වැපිරීමට අනුගමනය කරන පැරණි පිරිත් රාශියක් ඇත. ශුභ දිනය උදාවූ විට නියර මත වී ටිකක් ඉසියි. බිත්තර වියට තබගෙන ඇති වී මෙයට ගනු ලබයි. ප්‍රදේශයන්ට අනුව වැපිරීම් ක්‍රම වෙනස් වෙයි. පළමුව නියර මත හබරල ගසක් සිටුවයි. හබරල පැළය ඌරා විසින් විනාශ නොකරයි. පැළය ඉදිරියේ මඩ ඉස ඒ මත වී ටිකක් ඉසිනු ලබයි. එවිට සබ්බ පාපස්ස ........ගාථාව ද කියයි. අදත් වප් මඟුල් උත්සවවලදී මේ සිරිත දැක ගත හැකිය. සමහරු පුවක් අතු දෙකක් මත වී ඉසිති. තවත් අය කුඩා ප්‍රමාණයේ කරු දෙකක් සිටුවා ඒ මත බෙලිකටු දෙකක් තමා මැද මඩ පුරවා ඒ මත වී ඇට හලති. මෙයට “වී වැඩීම” යයි කියනු ලැබේ. අමු වැපිරීමට යොදාගෙන ඇත්තේ අඟහරුවාදා දිනයටය.
පුර පක්ෂයේ හත් වැනි තිථිය සිකුරාදා දිනය කුම්භ ලග්නය සහ මුවසිරස නැකත ගුරු හෝ බුධ හෝරාව යොදාගත් සිකුරාදා දිනය ද මුං වැපිරීමට යොදාගෙන ඇත. අනුර නැකත යෙදෙන දිනයන්හි තල වැපිරීමට ශුභය. අඟහරුවාදා . සෙනුසරාදා , සඳුදා, බදාදා යන දිනයන් සමඟ යෙදෙන සිත උත්‍රසල, අස්විද, උත්‍රපුටුප , සියාවස, හා සායන නැකැත් මුං වැපිරීමට ශුභය. සා නැකත යෙදෙන අඟහරුවාදා දිනය කුරහන් වැපිරීමට ශුභය මුල නැකතින් උපන් අය ධාන්‍යය වැපිරීමට හා රෝපණයට ශුභ වෙයි. පොල් වගාවට ද අත්ගුණය හා නැකත බලපානු ලැබේ.
දේශීයව සාදාගත හැකි වස විෂෙන් තොර කෘමිනාශක වර්ග කීපයක් පහත දැක්වේ.
කොහොඹ බීජය
කොළ /ගෙඩි හා කඳ විදින පනුවන්, කොළ හා පැළ කන කීඩෑවන් කනින්නන්, ඉල්මැස්සන්, මයිටාවන් හා සුදු මැස්සන් පාලනයට
සාදා ගන්නා ආකාරය – පොත්ත ඉවත් කරන ලද කොහොඹ ඇට ග්‍රෑම් 50 ක් හොඳින් කොටා ජලය ලීටර් 1 ක් මිශ්‍ර කර මැටි බඳුනකට දමා රෙදි කඩකින් වසා අඳුරු ස්ථානයක පැය 12 ක් තබන්න. මිශ්‍රණය මිරිකා පෙරාගත් වනයට සබන් හෝ ටීපෝල් ස්වල්පයක් දමා මිශ්‍රකර සවස් වරුවේ බෝගයට ඉසින්න.
කොහොඹ පත්‍ර සාරය
කූඩිත්තන් /කීඩෑවන් /කොළ කන පණුවන්/ කොරපොතු කෘමින්/ ගොළුබෙල්ලන් /පැළමැක්කන් /ගුල්ලන් හා සුදු මැස්සන් පාලනයට
සාදා ගන්නා ආකාරය – කොහොඹ කොළ කිලෝග්‍රෑම් 1/2 ක් හොඳින් කොටා වතුර ලීටර් 3/4 කට පමණ මිශ්‍රකර මැටි භාජනයකට දින 3 ක් තබා ශාකයට ඉසින්න.
සුදුළූනු
සියලුම වගා වල කුඩිත්තන් හා කොළකන දළඹුවන් මෙන්ම එපිලැක්නා හා කුරුමිණියන් පාලනයට
සාදා ගන්නා ආකාරය – සුදුළූණු ග්‍රෑම් 100 ක් අඹරා භූමිතෙල් තේ හැඳි 2 කට කලවම් කර ජලය ලීටර් 1 ක් හා හා සබන් ග්‍රෑම් 10 ක් සමඟ මිශ්‍රකර පැය 24 ක් තබා පෙරන්න. හතර ගුණයක් තනුක කර ඉසින්න.
අරලිය මල්
ගෙවත්තේ වගාවට හානි කරන කෘමියන් පාලනය කර ගත හැක
සාදා ගන්නා ආකාරය – අරලිය මල් ජල බදුනකට දමා දින කීපයක් තබා එම මිශ්‍රණයට සීනි ස්වල්පයක් එක්කර පෙරා සබන් ස්වල්පයක් එක්කර වගාවට ඉසින්න.
දුම්කොළ නැටි
පණුවන් මර්ධනය සඳහා
සාදා ගන්නා ආකාරය – දුම්කොළ නැටි අහුරක් ගෙන ජලය ලීටර් 1 ක් හා කළවම් කර හොඳින් උතුරවා නිවෙන්නට හැර පෙරා ඉසින්න
ඉහත දැක්වූ ආකාරයට නූතනයේ භාවිත කරන රසායනික පොහොර හා කෘෂිරසායන වලින් තොර ඡ්‍යොතිෂයට මුල් තැනදී කටයුතු කිරීම හා දේශීය කාබනික පොහොර හා දේශියව සාදාගත් වස විෂෙන් තොර ශාක ශාර සහිත පලිබෝධ නාශක භාවිත කිරීම තුළින් අපත් වස විසෙන් තොර ගොවිතැනකට ප්‍රවිශ්ඨ වීමේ කාලය දැන් එළඹ ඇත. ඒ සඳහා ඔබත් අදම නොපමාව යොමුවන්න. ඡ්‍යොතිෂානුකූල ගොවිතැන පිළිබඳව ඔබ සතු වටිනා පැරණි කාලීන තොරතුරු පහත දුරකථන අංකයට හෝ ලිපිනයට යොමු කරන්නේ නම් බෙහෙවින් අගේ කොට සලකමි. එය තවදුරටත් ජනතාව දැනුවත් කිරීමට මහත් රුකුලක් වනු ඇත. මෙම ලිපිය සැකසීමේදී තොරතුරු සපයා ගැනීමට සම්පත් දායකත්වය ලබා දුන් අන්තර්ජාලය , පැරණි පොත් පත් හා ක්ෂේත්‍රයේ උගතුන්ගේ උපදෙස් ඉතා අගේ කොට සලකමි.