ලංකාවේ විසූ දෛවඥයෝ

අගෝස්තු 7, 2020

මධ්‍ය යුගයේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නියලුණු අය නැකැත්තා ගණිතයා යන නම්වලින් හඳුන්වා ඇත. ග්‍රහතාරකා ගැනීමෙන් සුභාසුභ කථනය නැකැත් කීම විය. ඒ අනුව ඡ්‍යොතිෂය කුල භේද අනුව කුලවලට සීමා වීමද දැකිය හැක. ඒ අනුව ඡ්‍යොතිෂය උගත්තා නැකැත්තා ගණිතයා ලෙස හඳුන්වා ඇත. මධ්‍ය යුගය වන විට ඡ්‍යොතිෂය ඉන් පිටස්තරව ඡ්‍යොතිෂ උගතුන් සිටි බවටද සාධක බහුලයි. ජනප්‍රවාද අනුව කරුණෑගල බුවනෙකබාහු රජු කල උපතිස්සගම නැකැත් පරපුරට අයත් සුද්දෝ ගම්මන ගණිතයා විය. රජු ඔහුට “ශිල්පාධිපති” නම පිදුවේය.

ලංකාවේ විසූ දෛවඥයන් ගැන කෙටි හැඳින්වීමක් මෙහි එයි. “රාජාවලිය” අනුව විජය කුමරු එන බව කුවේණී දැන සිටියාය. උන්මාද චිත්‍රා උපන් නැකත අනුව ඇගේ පුතෙකු මයිලන් නසන බව මන්ත්‍රපාරගත බමුණන් කී බව මහාවංශයේ එයි. පණ්ඩුකාභය කුමරු රජවන බව දැන ඔහුට උගන්වා රණශිල්පාදි සේනාව රැස් කර දුන්නේ පන්ඩුල බමුණාය. පණ්ඩුල බමුණාගේ පුත් චන්ද්‍ර කුමරු ඔහුගේ සෙන්පති විය. 

ගැමුණු කුමරු ඔහුගේ පුතා අශෝකමාලා පාවා ගැනීමට පෙර බමුණන් ලවා ඇගේ අංග ලක්ෂණ පරීක්ෂා කළ බව සාහිත්‍ය ග්‍රන්ථවල එයි. ජනප්‍රවාද අනුව ගැමුණු කුමරු කොත්මලේ සිටින විට රජවන බව කීවේ පොන්නා නැකැත්තාය. ගැමුණු රජු කල නිමිත්ත පාඨකයන් චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, උල්කාපාත ආදී ආකාශ, ලකුණු බලා නියඟක් ඇති වන බව කී විට ගැමුණු රජු වැව්, අමුනු ඇළවල් බැන්ද වූ වග සද්ධර්මාලංකාරයේ මහතෙල වස්තුව කියයි. සද්ධර්මාලංකාරයේ නන්දි වාණිජ වස්තුව පිල්ලි යවා නන්දි වෙළඳ මැරවීමට තැත් කළ ඇමැතියෙකු පිල්ලියෙන් මැරුම් කෑහැයි කියයි. අත්තනගලුවංශය පරිදි සඟබෝ ඇතුළු කුමරුන් තිදෙන මතු රජ වන බව කීවේ තිසා වැවේ හේ ගෙය තුළ වූ අන්ධ බමුණෙකි. සද්ධර්මාලංකාර පරිදි කාවන්තිස්ස රජු විහාර දේවියගේ දොළ බමුණන් ලවා පරීක්ෂා කරවීය. අනුරාධපුර මුල් යුගයේ ලංකාවේ ඡ්‍යොතිෂ කටයුතු බමුණන් අතින් ඉටු වූ බව පෙනෙයි. 

චූලවංශය කිත්තිකුමරුගේ පරපුර වූ කඳවුරු තුළ උපත ගැන කියන විට ඒ පරපුරේ අයෙකු ගෝකණ්ණ තොටේදි කඳකුමරු වාහනාරූඪ මොණරාට ඇසක් පුදා කඳ කුමරවර ලබා ඇත. කීර්ති කුමරුගේ අනාගතය ගැන බමුණන් අනාවැකි කී බව චූලවංශය කියයි.චූලවංශයේ 73 පරිච්ඡේදය අනුව මහා පරාක්‍රමබාහු රජු බමුණන් ලවා මන්ත්‍ර පිරවීමට මැදුරක් හා මන්ත්‍ර පිරවීට ධාරණී ගෘහයක් පොළොන්නරුවේ කරවීය. නිශ්ශංකමල්ල රජුගේ ශීලා ලිපිවල ඔහු යන්ත්‍ර මන්ත්‍රවලට දැක්වූ ඇල්ම ගැන කියයි. 

දඹදෙණි කල පූජාවලිය ලිවූ මයුරපාද හිමි කඳ කුමරවර ලැබූ බව කියවෙයි. දඹදෙණි කල විසු බ්‍රාහ්මණ වංශික අනවමදර්ශී හිමි දෛවඥකාමධෙනු සංස්කෘත නක්ෂත්‍ර ග්‍රන්ථය ලිවීය. දඹදෙණි අස්න පරිදි අජඨාදශවිද්‍යාවට නක්ෂත්‍රය, ත්‍රිවේදය ඇතුළත් විය. දඹදෙණියේ තුන්වන විජයබාහු රජු තම පුත් 4 විජයබාහු රජුගේ අනාගතය බමුණන් ලවා පරීක්ෂා කර වීයයි චූලවංශයේ එයි. 

මධ්‍ය යුගයේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නියලුණු අය නැකැත්තා ගණිතයා යන නම්වලින් හඳුන්වා ඇත. ග්‍රහතාරකා ගැනීමෙන් සුභාසුභ කථනය නැකැත් කීම විය. ඒ අනුව ඡ්‍යොතිෂය කුල භේද අනුව කුලවලට සීමා වීමද දැකිය හැක. ඒ අනුව ඡ්‍යොතිෂය උගත්තා නැකැත්තා ගණිතයා ලෙස හඳුන්වා ඇත. මධ්‍ය යුගය වන විට ඡ්‍යොතිෂය ඉන් පිටස්තරව ඡ්‍යොතිෂ උගතුන් සිටි බවටද සාධක බහුලයි. ජනප්‍රවාද අනුව කරුණෑගල බුවනෙකබාහු රජු කල උපතිස්සගම නැකැත් පරපුරට අයත් සුද්දෝ ගම්මන ගණිතයා විය. රජු ඔහුට “ශිල්පාධිපති” නම පිදුවේය. සුද්දෝ ලගම්මන ගණිතයා හා ලින්දර ගණිතයා තරගයට පොල් පැල සිටුවීලු. කුරණැගල කල ලංකාවේදී දෙමළෙන් ලියැවුණු එකම ඡ්‍යොතිෂ ග්‍රන්ථය වූ “සරජෝතිමාෙලෙයි” ලියවුණි. සරජොතිමාෙලෙයි ලීවේ තෙනුවරෙයිපෙරුමාල් නම් ද්‍රවිඩ බමුණෙකි. පැරකුම්බා සිරිත බමුණකු ලිවූ බව එක් අදහසකි. ගිරා සන්දේශය අනුව තොටගමුවේ විජයබාහු පිරිවෙනේ ඡ්‍යොතිෂය ඉගැන්වීය. 

තබා තැනින් තැන ගහ ගණන් මැද 

පබා කර සිදත් සමහරු ගන්නි ඉද” 

වේදය උගන්නා බමුණන් (බමුණු රැසෙකි. වෙදරුන් කරන දාරණ) ගැන ගිරා සන්දේශයේ එයි. ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍ය ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරති පොත් තුනක් ලිවූ බමුණු පඬිවරයෙකි. තොටගමුවේ රාහුල හිමි ඡ්‍යොතිෂය මන්ත්‍ර ගුරුකම් දැන සිටියහ. උන් වහන්සේ කඳ කුමර වර ලැබූ බව පරෙවි සන්දේශයේ කියයි. තම ගුරුවර වීදාගම හිමි හා තරගයට ගලේ ඉනි සිටුවීම, පොල් පැළ සිටුවීම යකුන්ගෙන් වැඩ ගැනීම, සිද්ධාලෝකරසය වළඳා සිරුර නොදිරවීමට සැලසූ බව ජනප්‍රවාදවල එයි. තොටගමු නිමිත්ත රාහුල හිමි ලිවූ නක්ෂත්‍ර ග්‍රන්ථයක් සේ සැලකෙයි. වීදාගම මෛත්‍රිය හිමි රත්නාලංකාරය නම් බලිකවිපොත ලියා ඇත. රත්නාලංකාරය බුදුගුණ ආශි‍්‍රත බලි කවි පොතකි. 

සීතාවක කල දොඩම්පේ ගණිතයා විය. රාජාවලිය පරිදි රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයා ලවා රාජසිංහ රජුගේ පය උණකටුවක් ඇනුණු විට විෂ බඳින ලදුව රජු මළේය. සීතාවක රජකමට පත්වූ මේ රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයාගේ දූ හා මිත්‍රව සිටි බවද “රාජාවලිය” කියයි. 

සෙංකඩගල යුගය 

සෙංකඩගල පළමු විමලධර්මසූරිය රජුකල (ක්‍රි.ව. 1592-1604) විසූ අරාවේ නැකැත්තා හා පුස්කොළ මංකඩ නැකැත්තා ගැන “මහහටන” කියයි. සෙනරත් රජුකල (ක්‍රි.ව. 1604-1636) බෝගාවල නැකැත්තා විය.සෙනරත් රජුකල දෙවැනි රාජසිංහ කුමරු උපන් විට කුමරුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළේ දියකෙළිනාවල මහමැතිය මහමැති දියකෙළිනාවල ඡ්‍යොතිෂය උගත් අගමැතිවරයකු බව මින් පෙනෙයි. සෙනරත් කල “පදමානවක ජාතක කව“ ලීවේ ගණිතසිංහ ආචාරියාය. 

දෙවැනි රාජසිංහ කුමරු උපන්දා පෘතුගීසි නායකයා බියකරු සිහිනයක් දැක බිය වූ බව චූලවංශය කියයි. මෙකල සිටි ශිව ගුප්ත බමුණා යන්ත්‍ර මන්ත්‍ර බලි බිලි යාගහෝම රට පුරා පතුරුවා ඇත.1664 නිලඹේ කැරැල්ලට පෙර අහසේ වල්ගාතරුවන් පායා තිබූ බව රොබට් නොක්ස් කියයි. වල්ගාතරු රටට අහිතකර බව පොදුජන විශ්වාසය වී යයි නොක්ස් ලියා ඇත. දෙවැනි රාජසිංහ රජු කල (ක්‍රි.ව. 1636-1687) සිටි කවින් නව දෙනා අතර ඌවේ මොහොට්ටාල දක්ෂ කවියෙකි. ඡ්‍යොතිෂඥයෙකි. මන්ත්‍රකරුවෙකි. කවි 120 යුතු රාජසිංහ විරුදාවලිය ලීවේ ඌවේ මොහොට්ටාලයි. බහිරවයා බැඳගෙන වැඩ ගැනීම නිසා කෝප වූ බහිරවයා. කොළුවකුගේ වෙස්ගෙන රාජසේවයට යන මොහොට්ටාලට ගලකින් ගසා මැරවූ බව කියවෙයි. 

නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707-1739) ශ්‍රීි‍්‍රපාද වන්දනාවේ යන විට ආ වල් ඇතකු මන්ත්‍ර බලයෙන් එළවු කොට්ටව මැතිට රජු හඟුරන්කෙත ගම පිදූ බව “මන්දාරම්පුර පුවත” දක්වයි. මැටිඔළුවේ ශිල්පාධිපති ගණිතැඳුරු කවි කළ නාරිසන් සන්දේශය වන්දනා ගමන් කාව්‍යයකි. නමින්ම ඔහු ඡ්‍යොතිෂඥයෙකු බව පෙනෙයි. මිහින්තලේ මාඑළියාවේ බඩල් ගණිතයා සිංහල දෙමළ මිශ්‍ර භාෂාවකින් “පංච පක්ෂය” නම් නක්ෂත්‍ර සංග්‍රහය සෙංකඩගල කල ලිවූ බව සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශයේදි කියයි. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 -82) කල කවියන් ද ලෙසද ප්‍රකට වූ නැකැත්තන් අතර වාරියපොළ ගණිතයා හා බරණ ගණිතයා වෙයි. බරණ ගණිතයා හෙවත් සාධ්‍යකීර්ති ශ්‍රී රාජසිංහ රජකල තංගල්ලට නුදුරු සිටිනාමළුවේ විය. කරතොට හිමිගේ ශිෂ්‍යයෙකි. ප්‍රකට ගණිතැදුරෙකි. වස් කවියෙකි. කවි 148 යුතු නීලකොබෝ සන්දේශය හා වායස නිමිත්ත හෙවත් කපුටු ශාස්ත්‍රය ලීවේ ඔහුය. සිටිනාමලුවේ හිමිගෙන් ශිල්ප උගත් සාදා පත්තායමේ ලේකම් හා තරගයට කිවු කවි ප්‍රකටය. ඔහු වඩා ප්‍රසිද්ධ වූයේ වස්කවිවලටයි. 

බීමත් පිරිසක් කෑගසමින් බැදපු මාළු සමඟ රා බොනු දුටු ඔහු තම ඡ්‍යොතිෂ දැනුම මත “පෙර රැස නගා” “ යන කව කියා ඇත. තමාගේ හට ගත් කුෂ්ට රෝගයක් සුව කරදෙන කතරගම දෙවි යදිමින් ඔහු නීල කොබෝ සන්දේශය ලිවීය. ඔහුගේ වායස නිමිත්ත හෙවත් කපුටු ශාස්ත්‍රයේ කවි 54 ඇත. එහි ඔහුගේ නම එන්නේ “බරන්” යනුවෙනි. “මහ සොහොන් සමයම” ලීවේද බරණයා බව “මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන” කෘතියේ පී.බී. ජී. හේවාවසම් සිතයි. ඔහුගෙන් පැවතෙන චන්ද්‍රාභරණ නැකතිගේ පරපුර තවම ඇති බව “මාතර සාහිත්‍ය වංශය” කියයි. මෙකල විසු ඉතා ප්‍රකට ගණිතැදුරකු වූ අස්ගිරි විහාර මහානායක ගොලහැන්වත්තේ ධම්මදස්සි හිමි ගැන අස්ගිරි තල්පත කියයි. ක්‍රි.ව. 1741-51 අතර අස්ගිරි නායක පදවිය දැරූ එතුමා අස්ගිරි තල්පතේ බොහෝ ශාස්ත්‍රගමධාරී ගොලහැන්වත්තේ ධම්මදස්සීනායක හිමි ලෙස හඳුන්වයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.