වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
හොඳට නරකට සිටුවිය හැකි ගස්
“මට නං මහගෙදරට ගිහින් එන්න හිතෙන්නෙවත් නෑ. හැමදාම රණ්ඩු” සමන්සිරි මෝටර් රියේ දොර හැර එළියට බසින අතර, කුමුදු හා පැවැසුවේ දැඩි තරහකින් යුතු ශෝකයකිනි.
දීර්ඝ කාලයක සිට තම මවත් පියාත් අතර පවතින නෝක්කාඩුව සමන්සිරිට ඉවසුම් නොදේ. “වයසට ගිහිල්ලත් මේ දෙන්නට සමඟියෙන් ඉන්න බැරි හැටි. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලෙවත් මේ දෙන්නා සතුටින් ගත කරන්න එපැයි.” සමන්සිරි තවමත් කියැවීම කුමුදුගේ සිත පාරවන්නක් විය.
“ගෙදර දෝෂයක් ද දන්නෙ නැහැ. අපි ඡ්‍යොතිෂවේදියෙක්වත් මුණගැහෙමුද? එයින් වත් පිළියමක් මේ දෙන්නට ලැබෙයිද?” “ ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙමවත් කරලා බලමු.” සමන්සිරි හා කුමුදු එකඟත්වයකට පැමිණ ඡ්‍යොතිෂවේදියකු හමුවීමට ගියහ.
ඒ අනුව ඡ්‍යොතිෂවේදියා හමුවට ගිය සමන්සිරිටත් කුමුදුටත් ඡ්‍යොතිෂවේදියාගෙන් ප්‍රශ්න කිහිපයක් යොමුවිණි.
අවසාන උපදෙස වූයේ ඡ්‍යොතිෂවේදියා නිවෙසට පැමිණ පරීක්ෂාවක් සිදු කළ යුතු බවයි. ඒ සඳහා දින නියම කරගත් පරිදි ඡ්‍යොතිෂවේදියා සමන්සිරිගේ නිවෙසට පැමිණියේය. නිවෙස හා ගෙමිදුලේ වවා ඇති කටු සහිත විශාල බෝගන්විලා ගස දුටු වහාම ඡ්‍යොතිෂවේදියා විමසුවේ. ” නිවෙසේ දෙන්නා දෙමහල්ලන් සිටින්නේ සතුටින් ද?” යන්නය.
නිවෙසේ ඉදිරිපස දොරට මුහුණලා සිටුවා ඇති කටු සහිත බෝගන්විලා පඳුර ගලවා දමන්නට ඡ්‍යොතිෂවේදියාගෙන් උපදෙස් ලැබුණු අතර, නිවෙසේ තවත් වෙනස්කම් කීපයක්ද සිදු කරන්නට උපදෙස් ලැබුණි. දින කිහිපයක් ගතවත්ම සමන්සිරිගේ මවත් පියාත් අතර නිතර ඇතිවන රණ්ඩු සරුවල් වියැකී ගියේය.
ඡ්‍යොතිෂවේදියාට තම කෘතඥතාවය පිරිනමන්නට සමන්සිරිත්, කුමුදුත් අමතක නොකළෝය. මේ අතරම නිවෙසක ගෙවත්තේ සිටුවිය යුතු ගස්වැල් මොනවාද යන්න කුමුදු ඡ්‍යොතිෂවේදියාගෙන් විමසන්නට විය. ඔහු නිවෙසක සිටුවිය යුතු ගස් වර්ග හා සුබ දිශා පිළිබඳ ඔවුන් දැනුම්වත් කළේ මේ අයුරිනි.
නිවැරැදිව ගෙමිදුලේ ගස් සිටුවන්නේ මෙහෙමයි
නිවෙසක ගෙවත්තේ ගස්, වැල්, මල් පිළිවෙළට හා ක්‍රමවත්ව සිටුවීමෙන් නිවෙසට හිමිවන්නේ සුන්දරත්වයකි. එමෙන්ම සිසිලස, සෙවණ, ආහාර ආදිය නිතැතින්ම එමඟින් හිමි වේ. මේ සියල්ල අතරේ නොහිතන අන්දමේ සිරියාවක්ද, ගස් වැල් මලින්, පලින් බර වූ විට නිවෙසට එක්වේ. එහෙත් ගස්වැල් හිතූ හිතූ පරිදි හිතු හිතු තැන්වල ගෙමිදුලේ සිටුවීම සුබදායක නොවන බව පැරැණි ඡ්‍යොතිෂවේදීන් පත පොතෙහි දක්වා ඇත. මහත්ඵල මහානිශංස ලැබෙන, එමතු නොව දෙව්ලොව ඉපැදීමට පවා මඟ විවර කරන ගස් වැල් සිටුවීම කිසි විටෙක ආවාට ගියාට නොකළ යුතු බවද සඳහන් වේ.
ගස්වැල් සිටුවීමේදී ඔබේ ගෙවත්තේ සිටුවීමට සුබ ගස් වර්ග මොනවාද? අසුබ ගස් වර්ග මොනවාද යන්නත් එම ගස් සිටුවීමේ දී ඒ ඒ ගස් සිටුවීම සඳහා සුදුසු දිශා මොනවාද යන්නත් ඔබ දැන සිටීම වැදගත් වෙයි. ඔබ සිටුවන ගස් වර්ග නිවෙසට කොතරම් සුන්දරත්වයක්, කලඑළියක් ගෙන දුන්නද ඇතැම් ගස් වර්ග නිවෙසකට වාසනාවත්, අවාසනාවත් ළඟා කර දෙන්නට ඉවහල් වන බව පුරාණ ඡ්‍යොතිෂ මතයයි. ඒ අනුව නිවෙසක දිළිඳු බව, ලෙඩ රෝග, භූත දෝෂ, දියුණුවට බාධා මෙන්ම දරු දැරියන්ගේ මුරණ්ඩු බව, ගෙහිමියන් අතර අඬදබර ගෙවත්තේ අසුබ ස්ථානයන්හි ගස් වැල් සිටුවීමෙන් ඇතිවන බව පැවැසේ.
එලෙසම ගෙමිදුලේ සුබ ස්ථානවල සුබ ගස් වැල් රෝපණය කිරීමෙන් නිවෙසකට වාසනාව, යසස, දියුණුව, ගෙහිමියන්ගේ සතුට, සමාදානය ඇති වන බව ඡ්‍යොතිෂ මතයයි. ගෙමිදුලක ඉදිරිපස සිටුවීමට සුබ ගස් ලෙස ඡ්‍යොතිෂයේ සඳහන් වන වර්ග කීපයකි. ඒවා නම් නාගවල්ලිය, පිහිඹියා, බුලත්, වැටකේ, කොහොඹ, සඳුන්, බෙලි, දෑසමන්, පිච්ච, කඩුපුල්, ඕකිඩ්, අඹ, කොබෝනීල වැනි ගස් වර්ග වෙයි.
ඉහත සඳහන් කරන ලද ගස් වර්ග අතුරින් උසට වැඩෙන ගස් වර්ග ද මල් වර්ගද නිරිත දිසාවට සිටුවීම සුබ වන බවද උසට නොවැඩෙන, අතුපතුර විහිදී නොයන ගස් හා මල් වර්ග ඊසාන දිශාවට සිටුවීමද සුබදායක බවයි ඡ්‍යොතිෂයේ සඳහන් වන්නේ. ගෙමිදුලේ ඔබ රෝපණය කරන ලද ගස් වර්ග නිවෙසේ ප්‍රධාන උළුවස්සට සම්මුඛ වන පරිදි නොසිටුවිය යුතුය. මෙය වාස්තු විද්‍යාවේ හමුවන රීතියක් වේ. ඒ මන්ද යත් නිවෙසට හමා එන සුළඟ ලැබෙන වාතාශ්‍රය බාධාවකින් තොරව ලැබෙනුයේ ප්‍රධාන උළුවස්ස ඔස්සේය. විශාල ගස් උළුවස්ස ඉදිරිපිට සිටුවීමෙන් හමා එන සුළඟ, වාතාශ්‍රය නිසි ලෙස නිවෙසට නිවැසියනට නෙැලැබේ. එවිට නිවැසියන්ට ලෙඩ රෝග ඇතිවීමට ඉඩ හසර ඇති විය හැකිය. මෙනිසා ප්‍රධාන උළුවස්සට සම්මුඛව ගස් නොසිටුවිය යුතු බව වාස්තු විද්‍යාවේත් ඡ්‍යොතිෂයේත් දැක්වේ. ඡ්‍යොතිෂ විද්‍යාවට අනුකූලව කටු සහිත ශාක වර්ග ද නිවෙස ඉදිරිපස සිටුවීම යෝග්‍ය නොවේ. උල්කටු සහිත ගස් වර්ග නිවෙස ඉදිරිපස වැවීම වාස්තු විද්‍යානුකූලව ඉතාම අශුභ බව දැක්වේ. බෝගන්විලා, රෝස, දෙහි, දොඩම්, අන්නාසි වැනි උල් කටු සහිත ශාක සිටුවීමෙන් නිවැසියන් අතර, සුහදතාවය අඩුවීම, ප්‍රශ්න, කරදර, අඬදබර නිතර ඇතිවීමට හේතුවන බව පැවැසේ.
එලෙසම යම් හෙයකින් විෂ සහිත කටු ඇනීමෙන් නිවැසියන්ට හානි සිදුවීමට ද ඉඩ ඇත.
නිවෙස ඉදිරිපස විශාල ගසක් පැවතීම ද යහපත් නොවේ. වාස්තු විද්‍යාවේ වෘක්ෂ වේද දෝෂය ලෙස මෙය හැඳින්වේ.
විශාල අතුපතර විහිදී ගිය ගස් වැවීමෙන් ගෙමිදුල හා නිවෙස අඳුරු ස්වරූපයක් ගනු ලබයි. මෙනිසා මෙය භූත දෝෂවලට අත වැනීමක් බඳු යැයි පැවැසේ. එමෙන්ම අඳුරු පැහැ ගෙන ඇති නිසාත් සූර්යාලෝකය නිසි ලෙස නොලැබෙන නිසාත් නිවැසියන් රෝගී වීම් බහුල වන බව පැවැසේ.
කොහොඹ, සඳුන් වැනි ඖෂධීය වටිනාකම් සහිත ශාක නිවෙස ඉදිරිපස තරමක් දුරින් සිටුවීමෙන් නිවැසියන්ට නීරෝගි බව ලැබේ. එවැනි ගස් ඔස්සේ පිටවන සුවඳ, ඒ ඔස්සේ නිකුත් වන කිරණ නිවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
ජම්බු ගස් ගෙවත්තක සිටුවීමෙන් ජම්බු ගස ඵල දරන කාලයට ගැහැැනු දරුවන් මුරණ්ඩු වන බව මතයකි.
කෙසේ නමුත් ආගමික ස්ථානයන්ගෙන් ගෙන ආ, සුසාන භූමි මඟින් ලබාගත්, තුඹස් මතින්, පාරවල් අබියසින්, රෝගී පුද්ගලයන්ගෙන් ලබාගත් ගස් වර්ග ගෙවත්තක සිටුවීම අයහපත් වේ.
උපදෙස්, ඡ්‍යොතිෂවේදී
ජයසේන ජයසිංහ