විදෙස් උපකාර හා සත්කාර තීව්‍ර වෙයි

ලග්න අටකට සුබ යෝග
සැප්තැම්බර් 16, 2022

දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි කන්‍යාරවි 01 භාග බිනර මහේ අව සතවක තිථිය ලත් ශනි දින කන්‍යා රාශිය මකර නවාංශකය උත්‍රපල් 02 පාදය මූලාශ්‍රිතව විශ්වතාරකා මන්දාකිණියෙහි රාජ්‍ය කාරක සූර්ය දිව්‍ය රාජයාණෝ බුධ හිමි කන්‍යාවේ ඔටුනු පලඳන ‘කන්‍යා රවි ග්‍රහ සංක්‍රාන්තිය‘ හෙට දින එනම් සැප්තැම්බර් මස 17 පෙරවරු 07.22ට උත්කෘෂ්ට අයුරින් සිද්ධ වන්නේය. මෙම ග්‍රහ සංක්‍රමණය ලබන මස 17 පස්වරු 07.22 දක්වා බලපැවැත්වෙනු ඇත. මෙම ග්‍රහ පිහිටීමට අනුව ගුරු- චන්ද්‍ර, ගුරු -ශනි, ෂඩ් කෝණ ද චන්ද්‍ර -ශනි, කුජ ශනි, ත්‍රිකෝණ දෘෂ්ටිය ද කුජ ශුක්‍ර චතුර් කෝණ දෘෂ්ටිය, කුජ චන්ද්‍ර සංයෝගය පංචමහා පුරුෂ යෝග අතරින් මිථුන,කන්‍යා, ධනු, මීන රාශි හතරට බුධගෙන් භද්‍ර යෝගය ද, ගුරුගෙන් හංස යෝගය ද, මේෂ, කටක, තුලා, මකර සතරට, ශනි ගෙන් සස යෝග බලය ද රවි - බුධ ආධිත්‍ය අමෘත විදුරවි යෝග බල ද උදාවේ. ඒ අනුව මිථුන,කන්‍යා, ධනු, මීන, ද මේෂ, කටක, තුලා, මකර යන ලග්නවලට ප්‍රබල සුබ යෝග උදාවන බව පෙනේ.

නැ‍ඟෙනහිර ක්ෂිතිජයෙහි උදාරාශිගත කන්‍යාවෙහි රවි සමව වක්‍ර බුධ උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර ගතව ද කේතු සතුරුව දෙවැන්න වූ ධනස්ථානගතව ද, වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව 05 වැන්න වූ පුත්‍රකාරක ස්ථානගතව ද, වක්‍ර නැප්චූන් සමව රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේ ද වක්‍ර බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව 07 වැන්නේ ද, රාහු සතුරුව යුරේනස් වක්‍රව සමව 08 වැන්න වූ වැයස්ථාන ගතව ද ආනන්දා දී අටවිසි යෝග චක්‍රයෙන් ශ්‍රී වත්ස්‍ය ශුභ යෝග බලැතිව ග්‍රහමණ්ඩලය දීප්තිමත්ව බැබළෙන්නේය.

මෙම ග්‍රහ චාරයට අනුව කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍රයන් හි ඵලදායී ව්‍යාපෘති දියත් කිරීමට සුබ කාල පරාසයක් වේ. රාජ්‍ය අංශයන්හි මූල්‍ය කළමනාකරණය යහපත් ලෙස සිදු කෙරෙන තත්වයට පත්වේ. විදෙස් රටවල උපකාරය, සහාය මෙන්ම සැලකිළි, සත්කාර ද වෙනදාට වඩා තීව්‍රව ශ්‍රී ලංකාවට ලැබෙන බවක් පෙනේ. ශ්‍රී ලංකාවාසීන්ට ලැබීම් අතින් යහපත් කාලසීමාවක් වුව ද වංචාවන්ට හසුවීමට ඉඩකඩ පවතින බවක් ද මෙම ග්‍රහචාරය අනුව නිර්මාණය වන බව නොකියා බැරිය. මෙම ග්‍රහ සංක්‍රාන්තිය ඔබේ ලග්නයට බලපාන අයුරු කෙසේදැයි විමසා බලමු.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි


2022 දෙවන කෝණ මාසය හෙට උදා වේ

 
විවාහ හා නිවාස කටයුතුවලට අසුබදායකයි!
 
2022 වසරට යෙදෙන කෝණ මාස 04 අනුව, සෞරග්‍රහ මණ්ඩලීය දෙවන කෝණ මාසය හෙට (17 වන ශනි දින) ආරම්භ වන අතර එය ඔත්තෝම්බර් මස 17 වැනි දා දක්වා බල පවත්වනු ඇත. එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබවන අතර ඒ සඳහා නැකැත් සෑදීමක් නොකරනු ඇත. එසේම එම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට අසුබ ප්‍රතිඵල උදා වනු ඇත. ඒ සඳහා නැවත නැකැත් යොදා ගත යුත්තේ එළඹෙන ඔක්තෝම්බර් මස 17 වැනිදායින් පසුවයි. රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ජ්‍යෝතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය දුර්වල වීයාමයි. 
 
ඒ අනුව මේ වසරේ දෙවන කෝණ මාසය උදා කරමින් එළඹෙන හෙට දින (17 වන ශනි දින) ග්‍රහ ලොව රාජ්‍ය කාරක ග්‍රහ තාරකාව රවි ග්‍රහයා (සූර්යයා) තමාට සම රාශියක් වන බුධ හිමි කන්‍යා රාශියට පිවිසෙයි. ඒ අනුව බුධහුට අයත් අස්ලිය නැකතේ මෙන්ම දෙට හා රේවතී යන නැකත්වල ද මේ මාසය පුරාවට රවි ගමන් කරනු ඇත. එලෙස රවි ග්‍රහයා කන්‍යා රාශි ගත වීම කෝණ මාසයක ආරම්භයයි. එනිසා සුබ කටයුතු සඳහා ලබන මස 17 වැනි දායින් පසු සුබ දිනයක් යොදා ගත යුතුයි. ඉහත සඳහන් ග්‍රහ තත්ත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම මස 17න් පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය.

රවි ග්‍රහයා බුධ හිමි කන්‍යා රාශියට 

මේෂ රාශිය
 
මෙම ග්‍රහ ගමන ඔබට සුබදායක කාලසීමාවක් වෙයි. රැකියා ආදායම් මාර්ග ධන ලාභ, වස්තු ලාභ හිමිවේ. තැම්පත් දේපළ වස්තුව වැඩි දියුණු වෙයි. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙයි. තමාගේ අභිවෘද්ධියට කටයුතු සැලැසෙන කාලසීමාවක් වේ.
 
වෘෂභ රාශිය
 
පවුලෙහි යම් ආකාරයක ගැටුම්කාරී බවක් නිර්මාණය විය හැකිය. අධ්‍යාපනය, විවාහය සඳහා යම් යම් බාධක අවහිරතා ඉස්මතු වේ. ආදායම් මාර්ග අවහිර වුවත් තමාගේ දැඩි උත්සාහය හා කැපවීම මත ජයග්‍රහණය ලබන කාලසීමාවක් වේ.
 
මිථුන රාශිය
 
තමාගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් සඳහා සුබ දායක කාලයක් උදාවෙයි. යුගදිවියෙහි යම් යම් හැලහැප්පීම් ඇතිවිය හැකිය. සමාජයේ ප්‍රසිද්ධියට හේතු යෙදේ.
 
කටක රාශිය
 
තම ඉලක්කයන් සපුරාගැනීමට උත්සාහ ගනු ලබයි. ඒවා බොහෝ දුරට සාර්ථක වන බව පෙනේ. අවිදිලි සහිත කාල පරාසයකි. වංචනිකයන්ගෙන් ප්‍රවේසම් විය යුතු කාලයක් වෙයි. නිවෙසේ සමඟි සමාදානයට අවහිරතා බාධක ඇතිවිය හැකිය.
 
සිංහ රාශිය
තමාගේ දෛනික ජීවන රටාවට සොර සතුරු බිය මතු වන කාල පරාසයක් වෙයි. ඇවිදිලි බහුල කෙරෙයි. තැම්පත් ධනය වස්තුව දේපළ කෙරෙහි බාධක අවහිරතා මතු විය හැකියි. දෛනික ජීවන ගමන් මඟ ඉවසිලිවන්තව ගෙන යාමට වගබලා ගතයුතු වෙයි.
කන්‍යා රාශිය
 
රැකි රක්ෂා ආදායම් මර්ගවලට බාධක අවහිරතා එල්ල විය හැකිය. ඒ සියල්ල අතුරින් සතුටුදායකව තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට හැකි වේ. ඒ සඳහා වෙහෙසත් කාලයත් වැය කිරීමට සිදුවෙයි. ආගමික කටයුතු කෙරෙහි ප්‍රබලව සිත යොමු කරයි. ඒ කටයුතුවල නිරත වෙයි.
 
තුලා රාශිය
 
බොහෝ දුරට සොර සතුරු බිය මෙන්ම රෝග බිය ඇතිවීමේ කාලසීමාවක් වෙයි. යටි බඩ, උදරාබාධ මෙන්ම කොන්ද ආශ්‍රිත රෝගත් දැවිලි පිච්චිලි ආදී අනතුරු ද විය හැකිය. 
 
වෘශ්චික රාශිය
 
පවුලේ පිරිස අතර නිතර ආවේගශීලීව ක්‍රියාකරයි. සියලු ආකාර ලැබීම් සහ සාමකාමී බවද දෙදරා යනු පෙනෙයි. එනිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලසීමාවක් වෙයි.
 
ධනු රාශිය
 
පදිංචියෙහි යම් වෙනසක් සිදු විය හැකි බවක් පෙන්වයි. රැකියා ආදායම් මාර්ගයන්හි සතුරු බලවේග මතු වුවත් ඒ සියල්ල මැඬ ඉදිරියට යාමට හැකියාව ඇත.
 
මකර රාශිය
 
උත්සාහය හා උනන්දුව මත අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන කටයුතු සපල වෙයි. එසේම අනාගතය වෙනුවෙන් සිදු කරන ආයෝජන සාර්ථක වෙයි.
 
කුම්භ රාශිය
 
තම සැලැසුම් අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කටයුතු සාර්ථක වුණු ඇත. රැකියා ආදායම් මාර්ගයන් හි අවහිර බාධක යෙදී තිබුණත් ඒවා මැඬගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
 
මීන රාශිය
 
ආර්ථිකය, පවුල් ජීවිත තුළ සතුට සැනසුම ලැබිය හැකිය. උත්සාහය උනන්දුව අනුව ආරම්භ කරන කටයුතු සාර්ථකව විජයග්‍රහණය කරා ගෙන යා හැකිය.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.