චතුර කථිකයන් බිහිකරන බුධ ආදිත්‍ය යෝගය

ජනවාරි 17, 2025

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ග්‍රහයා වේ. එනිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රධානියා, පියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙයි. කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත් අධිපති රවි ග්‍රහයා පුරුෂ ග්‍රහයෙකි. බුධ සූර්යයා හෙවත් රවි ග්‍රහයාට ආසන්නව පිහිටි ග්‍රහයෙකි. ඉගෙනීමට, බුද්ධියට, ළමා වියට කාරක ග්‍රහයා වේ.

කේන්ද්‍රයක බුධ බොහෝ විට සටහන් වන්නේ රවි සමඟය. නැතහොත් යාබද රාශියේය. බුධ හැමවිටම තමා සමඟ සංයෝග වන ග්‍රහයාගේ ගුණය ගනී.

බුධට හිමි නැකැත් වන්නේ දෙට, අස්ලිස, රේවතී නැකැත්ය. ග්‍රහමඩුල්ලේ පියා ලෙස සැලකෙන රවිත් ග්‍රහ මඬුල්ලේ පුතු ලෙස සැලැකෙන බුධ ග්‍රහයාත් නිතර සංයෝග වේ. මේ දෙදෙනා මිත්‍ර ග්‍රහයෝ වෙති.

බුධ රවි බලවත්ව එකම රාශියක සිටීමෙන් බුධ ආදිත්‍ය යෝගය හෙවත් නිපුණ යෝගය හට ගනී.

එලෙස බුධ ආදිත්‍ය යෝගය සරල ආකාරයෙන් පවසනවා නම් රවි - බුධ යෝගයයි. මේ රවි බුධ යෝගය සමස්තයක් වශයෙන් යහපත්ය. බුද්ධියට, ඥානයට කාරක බුධ ආත්ම කාරක ග්‍රහයා වන රවි සමඟ එක්වීම බුධ - ආදිත්‍ය යෝගය වශයෙන් සැලැකේ. සාමාන්‍යයෙන් මේ යෝගය ඇති අය බුද්ධිය ඥානය මෙහෙයවා කටයුතු කරන ඥානවන්තයෝ වෙති. ගණිත මිණිතයෙහි දක්ෂ, ලිපි ලේඛනයේ දක්ෂ මතක ශක්තිය ඉතා හොඳින් පවතින අය වීමට අවකාශ හොඳින් ඇත. වචන භාවිතයේ කුසලතාවයෙන් පිරිපුන් මොවුන් වාග් චාතුර්යකින් යුත් අය වීමට ද අවකාශ ඇත. ගුරු වැනි ග්‍රහයකුගේ ත්‍රිකෝණ දෘෂ්ටියට පාත්‍ර වී ඇත්නම් බෙහෙවින් සුබය. සප්තම දෘෂ්ටියට පාත්‍ර වී ඇත්නම් එසේ සුබ නමුදු වචන පාවිච්චියේදී සංවේදී හා කිසියම් ආකාරයක මුදු මොලොක් බවේ අඩුවක් පවතී. මේ රවි බුධ යෝගය කුජ වැනි ග්‍රහයකුට සප්තම වී ඇත්නම් වචනවල දැඩි කර්කෂ බවක් ඇත.

ශනි වැනි ග්‍රහයකුගේ දෘෂ්ටියට පාත්‍ර වී ඇත්නම් අන්‍යයන්ගේ හිත් සසල වන ආකාරයෙන් කතා කරන එසේ නැතහොත් ලේඛනයේ දී වුවද අන්‍යයන්ට කිසියම් ආකාරයක ඇනුම් බැනුම් සහිත වචන හසුරුවන අයකු වේ. රවි-බුධ යෝගය සිකුරු වැනි ග්‍රහයකුගේ ආකර්ෂණයට පාත්‍ර වී නම් හොඳ සෞම්‍යශීලි ලෙස වචන හසුරුවන්නෙකි. රවි බුධ යෝගය ඉතා විශාල වශයෙන් පුද්ගලයන් රැසකට පවතින බව කිව යුතුව ඇත. ඊට හේතුව නම් බුධ රවිගෙන් අංශක 28කට වඩා ඈත් නොවන ග්‍රහයා වීමයි. රවි බුධ දෙදෙනා එකට එක් වී මිථුන, කන්‍යා රාශිවල සිටින්නේ නම් භාෂා නිපුණත්වයෙහි විශේෂ දක්ෂතාවයක් ඇත. ඔවුහු හොඳ දේශකයෝ වීමේ අවකාශ පවතී. භාෂණයෙහි දක්ෂය. රවි, බුධ, කන්‍යා රාශිගත වී දිනය ද බදාදා වී බුධ හෝරාවෙන්ම යුක්ත නම් එය සරස්වතී යෝගයක් හා බඳුය. මෙය බෙහෙවින්ම ශාස්ත්‍රවන්ත යෝගයකි. හත නැකතත් යෙදී රවි - බුධ යෝගයක් යෙදී දිනයත් බදාදා වී බුධ හෝරාවක් යෙදී තිබීම අධ්‍යාපනයෙන් ඉහළම ප්‍රතිඵල දෙන උදාර වූ සරස්වතී යෝගයක් බඳු යැයි පොත පතේ දැක්වේ.

නැකැතත් හතයේ බුධ අංශකයට
පැමිණත් රවි, සඳු බුධ තුන් දෙන සිට
යෙදුණොත් එම දින එම ලග්නය තුට
පවසත් සරසවි යෝගෙලු නියමෙයට

ෆිලිප් ද සිල්වා, සෙනෙවිරත්න ඈපා, අප්පුහාමි මැතිඳුන් සඳහන් කර ඇති මේ කවිය අතිශය බලසම්පන්න සරස්වතී යෝගයක් යැයි පැවැසී ම වෙසෙසින්ම සුදුසුය.

බුධ ආදිත්‍ය යෝගය යෙදී ඇති ජන්මීහු එම බලය වඩ වඩාත් පෝෂණය කර ගැනීමෙහිලා සරස්වතී හා විෂ්ණු උදෙසා පුද පූජා පැවැත්වීම වඩාත් යෙහෙකි.

රවි බුධ යෝග වූ විට විද්‍යා ශාස්ත්‍ර හැදෑරීම, රජයේ ගරුබුහුමනට ලක්වන සේවා කටයුතුවලට හපන්කම් දක්වන සිත්ගන්නා විධියට කතාබහ කරන කීර්තියකින් යුතු ස්ථිර ධනයක් සහිත අයකු වේ. ඥානවන්ත පුද්ගලයන් ප්‍රසිද්ධියට පත් වන අය බවට පත්වේ.

මේ යෝගය දුර්වලව පිහිටීමෙන් ඥාති සබඳතා ගැටලු, මුදල් හානි, ශරීර අඩුපාඩු ඇතිවිය හැකිය.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.