මහා බෝසතාණෝ සමඟ බැඳි පෙරනිමිති

මැයි 5, 2023

මතු සිදුවන කරුණක් සම්බන්ධයෙන් පූර්ව නිමිති ලෙසින් අද යම් යම් කරුණු පෙනීමට පුළුවන. ලොවට වැඩ සලසා සෙත සලසා මහා ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ප්‍රාදූර්තභාවයේ දී අසිරිමත් පූර්ව නිමිති කල් තබා ම පෙන්වන්නේ ය. එමෙන් ම දුර්දන්තයන් රටට සමාජයට විපත්තිකාරී පුද්ගලයන් පහළ වීමේ දී ද ඒ බැව් පූර්ව නිමිතිවලින් පෙන්නුම් කරන්නේ ය. ලෝක විනාශ, කල්ප විනාශ ආදී සිද්ධීන් පිළිබඳ බොහෝ කලකට පෙර සිට පූර්ව නිමිති මඟිින් පෙන්වා දෙන්නේ ය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි ලෝකයාට හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස දෙව් මිනිසුනට අනුකම්පා පිණිස උපදනා එකම පුද්ගලයාණෝ වෙති. එබඳු ශ්‍රේෂ්ඨයකුගේ චරිතය වටා බොහෝ පෙරනිමිති දැක්වීම අරුමයක් නොවේ.

 

වෙසතුරු අත්භවෙන් මිදී තුසිත දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජයකුව අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වසන සමයෙහි ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවාසී බ්‍රහ්ම රාජයෙක් මිනිස් වෙස් ගෙන සුදු වස්ත්‍රයක් ඒකාංග කොට පොරවා සුදු මල් පැලැඳ ශුභ මංගල වෙස් ගෙන සත්ත්වයෙනි, මෙතෙක් පටන් අවුරුදු දහසක් ගිය කල ලොව්තුරු බුදුන් වහන්සේ නමක් ලොව පහළව ධර්මය නමැති වර්ෂාව වස්වා සංසාර නමැති කර්මය නිවා නිවන් පුරෙහි දොර හරිති. ඒ බුදු රූ බුදු සිරි දකිනු කැමැති සත්පුරුෂ කෙනෙක් ඇත්නම් පව්කම් නොකරව්.... ආදී ලෙස පි‍්‍රය තෙපුල් කියමින් දස දහසක් සක්වළ ඇවිද ගියේය.

එකල දස දහසක් සක්වළ මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, බමුණෝ ද තවත් දහස් වසෙකින් ලොව්තුරු බුදුවරයකු පහළ වෙති යි, ලොව දුකින් මුදවතියි කියමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්නට වන්හ. ඔවුන්ගේ මේ පී‍්‍රති ඝෝෂා මිනිස් ලොව පමණක් නොව දෙව්ලෝ බඹලෝහි ද පැතිර ගියේ ය.

මේ බුද්ධ කෝලාහලය (බුදු කෙනෙක් පහළ වෙතියි යන ඝෝෂාව) පටන් ගත් තැන් සිට ඉදිරි දහස් අවුරුදු මුළුල්ලේම බුදුවරයකු පහළ වනතුරුම ලොව පුරා පවත්නේ ය. මෙපරිද්දෙන් සක්විති රජතුමකු වීමට පහළ අවුරුදු සියයක් තිබියදී කාමාවචර දෙවි කෙනෙක් රන්වන් පලඳනා, මිණි ඔටුනු දරා රජමඟුල් වේශයෙන් මඟුල් සක්වළ සතර මහා දිවයින් වටා ඇවිද සියක් අවුරුදු ගිය කල සක්විති රජෙක් උපදනේ ය. එකල මත්පැන් බීමට නොහැකි ය. රහසින් වත් පස් පවින් එකක් පමණ කරන්නේ ද ඔහු හිස පැළෙන්නේ ය. පන්සිල් රකිව් ආදී ලෙස පී‍්‍රති තෙපුලෙන් අනුශාසනා කරමින් ඇවිදින්නේය.

බුදුවරයකුගේ මතු පහළ වීම පිළිබඳව මෙන් ම, සක්විති රජෙකුගේ පහළ වීම කල්ප විනාශය වැනි කරුණු සම්බන්ධයෙන් ද එපරිදි පූර්ව නිමිති දැක්වෙන්නේ ය. අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපිද තුසිත දෙව්ලොව පරමායුෂ ප්‍රමාණය එනම් මිනිස් අවුරුදු ගණනින් වර්ෂ සත්පනස් කෝටි හැට ලක්ෂයක් ආයු විඳිති. දෙව්ලොවින් මනුලොව ඉපදෙන්නට කාලය එළඹියේ ය. එහිදී දෙව්ලොව මියයාමක් නොමැතිඅතර චුත වීමක් වන්නේ ය. ඒ චුත වීමෙහි මහා බෝසතාණන් වහන්සේට පඤ්ච මහා පූර්ව නිමිති පෙනී ගියහ.

1. එතෙක් කල් හැඳි දිව්‍යමය සළු කිළිටි වීම.

2. එතෙක් කල් පරනොවූ පැලඳි දිව්‍යමල් පරවී යාම.

3. එතෙක් කල් ප්‍රභාමත්ව පැවති ශරීර ශෝභාව නිෂ්ප්‍රභාවත් වීම.

4. දිවිතෙක් කල් විසූ දිව්‍යමය මාලිගා රිසි නොවීම.

5.එතෙක් කල් නොවූ ඩහදිය වැගිරීම.

මිනිස් දින ගණනින් සතියක් තිබිය දී මේ පඤ්ච මහා පූර්ව නිමිති පහළ වූයේ ය. ඒ පෙරනිමිති පහළ වූවා දුටු, බුද්ධ කෝලාහල ශබ්දය ද අසා ඇති දෙවියෝ මහා බෝසතාණන් වහන්සේ වෙත පැමිණ ලෝ සතුන් සසරින් මුදවනු පිණිස මිනිස් ලොව උපදිනට දැන් කාලය වේ ය යි සැළකළහ.

මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම අවස්ථාවේ සිහිනයක් දුටහ. සතරවරම් රජවරු බිසවුන් යහනින් ඔසවා හිමාලයේ සැට යොදුන් සිරියල් ගල්තලා කෙළවර පිහිටි සත් යොදුන් මහා සල් රුකක් මුල තබා ඉක්බිති රජ මෙහෙසිවරු දේවිය අනවතප්ත විලෙන් නහවා දිව සලු හඳවා දිව මල් පලඳවා ආදී වශයෙන් දිගු විස්තර කියවන සිහිනයේ සුරතල් සුදු ඇත් පැටවෙකු සුදු සොඬින් සුදු පියුමක් ගෙන රන් විමනට පිවිස බිසොවුන් යහන වටා තුන්යලක් ඇවිද දකුණැලයෙන් බිසවුන් කුසයට පැමිණි බව සඳහන් වෙයි.

මෙම සිහිනය බිසවුන් වහන්සේ විසින් රජතුමාට කී කල්හි බමුණෝ දේවියට පින්වත් පුංචි කුමරෙක් පිළිසිඳ ගන්නේ ය. හෙතෙම පැවිදි වුවහොත් බුදු වෙයි. ගිහි වුවොත් සක්විති රජවෙයි. යනාදී ලෙසින් සිහිනයේ ඵල කීහ. මෙපරිද්දෙන් බුද්ධත්වයට පත්වන පුණ්‍යවන්ත කුමරා කුස පිළිසිඳ ගැනීමේ පූර්ව නිමිත්තක් ලෙසින් එම සිහිනය කිව හැකි ය. මහ පොළොව කම්පා වීම් ආදී පෙර නිමිති විය.

අප මහා බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත් දෙතිසක් මංගල පූර්ව නිමිති පහළ වූ බව පොත පතෙහි සඳහන්ය. ඒ මෙසේ ය.

දස දහසක් සක්වළ මහ පොළොව ගිගුම් දී පැවති මහී ගර්ජනාව.

දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මාදී සියලු ආලෝක මැඬ පවත්වා එදින ආලෝකවත් වීම.

ජාත්‍යන්ධයින් ඇස් ලැබීම.

ගොළුවන් ගායනා කිරීම.

බිහිරන්ට කන් ලැබීම.

කොරුන් ඇවිදීම.

කුරු කුදු වූවන්ට ගාත්‍රා ලැබීම.

ඇත්, අස්, මොනර, පරෙවි ආදී සියලු සත්ත්වයින් බැමිවලින් මිදී රිසි පරිදි ගමන් කිරීම.

තෙලක්ෂ හැටදහසක් වූ සියලු නිරයන්හි ගිනි නිවී සිසිල් වීම.

කල්පයක් මුළුල්ලේ බත් පැන් නොලත් ප්‍රේතයින් බත් පැන් ලැබ සා පිපාසා නිවා ගනිමින් ‘අහෝ සැප’ යි කියමින් ශබ්ද නැඟීම.

තිරිසන් අපායික සත්ත්වයින් ඔවුනොවුන් කෙරේ නොබියව සිත් සේ ඇවිදීම.

සියලු සතුන්ගේ අසාධ්‍ය රෝග එදවස සංසිඳී ‘අහෝ සැප’ යි පි‍්‍රය තෙපුල් පැවසීම.

දස කුලෙහි ඇතුන් සතුටින් කුංචනාද කිරීම.

සියලු සත්ත්වයින් අපි‍්‍රය වචන නොකියා, පි‍්‍රය වචන කීම.

සත්කුල සියලු අශ්වයින් මියුරු හේෂාරාවයන් නාද කිරීම.

සිංහයින් සතුටින් ගර්ජනා කිරීම.

සියලු සිවුපාවුන් තම තම නාදයෙන් ඝෝෂා කිරීම.

දස දහස් සක්වල දෙවි මිනිසුන්ගේ පැලඳි ආභරණ බැබළීම.

දස දහසක් සක්වළ දස දෙස බුදුරැස් පරිද්දෙන් රැස් විහිදීම.

වනමල් සුවඳැති මඳ පවන් පැවැත්වීම.

දස දහසක් සක්වළ එසැණින් මහ වැසි වැසීම.

මහ පොළව දැදුරු කොට නාඹ ගල් කඳක් සා ජල ධාරා රිදී කඳන් සේ ඒ ඒ දිග දිවීම.

පක්ෂීන් අහසින් නොගොස් තුරු අග නොනිඳ පොළොවට බැස මධුර නාද කිරීම.

ගංගාවන් ගැලීම නවතා රඳා වීම.

සමුදුරු රළ සංසිඳී මිහිරි ජලයෙන් පිරි පැහැදී සිටීම.

සාගර පස් පැහැ මල් පිපීමෙන් සජ්ජිත වීම.

දිය ගොඩ සියලු මල් එකවිට පිපී දස දෙස සුවඳ පැතිර වීම.

දස දහසක් සක්වළ ගල් මුල්වල අග දක්වා මල් පිපීම.

දස දහසක් සක්වළ පොළෝ විවරව සත්බුමු දඬු පියුම් පිපීම.

සියලු අහස්තල මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතිව උඩ බලා තටු තිබීම.

දස දහසක් සක්වළ මුළුල්ලෙහි මල් වැසි වැස පියා මල් අස්නක් සේ වීම.

ලොව පහළ වූ ධජ මාලාවෙන් බඹලොව වසා ගැනීම.

 

මේ දෙතිසක් නිමිතිවල ප්‍රතිඵල,

 

සර්වඥතා ඥානය ලැබීමට

දෙව් මිනිසුන් සහිත බොහෝ ජනයාගේ සිත් පිනවන බවට

දිවැස් ලැබීමට

දම්සක් පැවතුම් කළ එකහෙළා සාධු නාදය ලැබීමට

දිව කන් ලැබීමට

සතර සෘද්ධිය ලැබීමට

බොහෝ දෙනා අධිගමලාභිව නිවන් දක්නා බවට

අස්මිමාන බිඳීමට

රාග ද්වේෂ ආදී එකොළොස් ගිනි නිවීමට

කායගතාසති අමෘත ප්‍රතිලාභයට

ආර්ය අෂ්ටාංගික මඟින් නිර්භය කරන බවට

චතුස්සත්‍ය ධර්ම ප්‍රතිලාභයෙන් ‘අහෝ සැපයි’ පී‍්‍රති වචන කීම.

ධර්මය පිළිගෙන සතුටුව පී‍්‍රති වචන කීමට

සතර බ්‍රහ්ම විහරණ භාවනාවන් ප්‍රතිලාභයට

අනුපූර්ව විහාර භාවනා ප්‍රතිලාභයට

මහත් වූ සද්ධර්ම නමැති භේරී නාදය ඇස්වීමට

ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති දොර හැරීමට

සියලු ලෝකයාට සද්ධර්මය නමැති ආලෝකය දක්වන බවට

අවිද්‍යා අන්ධකාරය දුරලා විද්‍යා ආලෝකය දැක්වීමට

දෙසැටක් දෘෂ්ටිගති බිඳ හෙළීමට

මහත් වූ සද්ධර්ම නමැති වර්ෂාව වැස්සවීමට

කායික චෛතසික ශාන්ත සැප ඉපදීමට

මහජන සමූහයා අවවාද පිළිගෙන දිවිතෙක් සරණ යන බවට

චතුර්විධ වෛශ්‍යාරද්‍ය ඥානයාගේ ලැබීමට

නිවන් රසයෙන් එකසේ භාවය ලැබීමට

බුද්ධත්වයට පැමිණි උදාන වාක්‍ය පවත්වන බවට

විමුක්ති සැප නමැති පුෂ්පයෙන් හා ශ්‍රාමණ්‍ය ඵලාහරණයෙන් හරිත වීමට

විමුක්ති සැපතින් සැපතට පැමිණෙන බවට

සතර සතිපට්ඨාන ධර්මයාගේ ලැබීමට

සිව් පිළිසිඹියාවගේ අධිගමයට

දස දහසක් සක්වළ දහම් නමැති මල් වැසි වැස්වීමට

අර්හත් ධජ මාලාවෙන් සියලු ලොව ලීලෝපෙත වන බවට යනාදි ලෙසින් දැක්වෙන ඒ ඒ කාරණාවනට පූර්ව නිමිති වන්නේ ය.

එබැවින් බෝසත් සමයේ සිටම පෙරනිමිති පිළිබඳ මෙරට ජනතාවට විශ්වාසයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.

 

ආචාර්ය සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.