වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
ජන්මියාට වාසනාව ගෙන දෙන අධියෝග
ලග්නාධි යෝගය, චන්ද්‍රාධියෝගය ලෙස කේන්දරවල අධියෝගය යෙදේ. ලග්නයෙන් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයෝම පමණක් යෙදී ඇත්නම් එය ලග්නාධි යෝගය වශයෙන් සැලැකෙයි.
ලග්නාධි යෝගය
මෙය විශේෂයෙන්ම බුධ, ගුරු, සිකුරු වැනි සුබග්‍රහයන් පදනම් කර ගත් යෝගයකි. මේ යෝගයේ විශේෂත්වය නම්, මෙහි සඳහන් එම ග්‍රහයෝ තිදෙනා වෙන වෙනම 6, 7, 8 භාවවල සිටීම හෝ එම ග්‍රහයන් තිදෙනා එකී භාව තුනෙන් දෙකක සිටීම හෝ නැතහොත් එකී භාව තුනෙන් එකකම එකට සිටීම යන කවර ආකාරයෙන් නමුදු යෙදී ඇත්නම් එය ලග්නාධි යෝගය වේ. මෙහිදී පාපයන්ගේ සම්බන්ධතාවයකින් තොර වූ තරමට වඩාත් යහපත් ය.
මේ යෝගය ඇති තැනැත්තා උසස් මට්ටමේ අයකු වේ. ඔහු උගත් අයකු ද වන්නේය. අන්‍යයන් අතර කැපී පෙනෙන පිළිගැනීමක් වටිනාකමක් ඇති අයකු වනු ඇත. අධි යෝගය යන්නෙන් සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ස්වභාවයක් ඇතැයි යන්න ගම්‍ය වේ. මෙවැනි පුද්ගලයන් සමාජයේ යමක්, තැනක්, පිළිගැනීමක් ඇති අයවන බව කිව හැකිය. කෙසේ හෝ ජීවිතයෙහි ඉහළ මට්ටමේ වරප්‍රසාදලාභී තත්ත්වයක් මේ නිසා ඇති කරන්නේ ය.
චන්ද්‍රාධියෝගය
යම් ජන්මියකුට චන්ද්‍රාධියෝගය යෙදීම බෙහෙවින් වටිනා කාරණයකි. චන්ද්‍රයාගෙන්
6,7,8 ස්ථානවල බුධ, ගුරු, සිකුරු වැනි සුබ ග්‍රහයන් යෙදේ නම් මේ චන්ද්‍රාධීයෝගය යෙදේ. මෙහිදී මේ අධියෝගය වඩ වඩාත් ප්‍රතිඵලදායක වීමට නම් සඳුගෙන් 7 වැන්නේ ගුරු සිටින ගමන් ම මෙකී යෝගය යෙදීම වැදගත් වේ. 6, 7, 8 ස්ථානවල බුධ, ගුරු, සිකුරු සිටීමෙන් අධියෝගය යෙදේ යැයි පැවසීම සත්‍යයක් වන නමුදු මෙය වර්ණවත් වනුයේ බුධ, සිකුරු, කෙලෙසින් සිටියත් සඳුගෙන් 7 ගුරු සිටීමත් සමඟම යෙදෙන යෝග බලයයි. එවිට ගජකේෂරී යෝගයක් සමඟම අධියෝගය යෙදේ. බැරි වේලාවත් මේ යෝගය ඇතත් ගුරු සිටිනුයේ චන්ද්‍රයාගෙන් 7 නොවී 6, 8 නම් එය අධි යෝගයත් සමඟම ශකට යෝගය යෙදීමකි. සඳුගෙන් 7 ගුරු සිටින ගමන්ම මේ අධියෝගය යෙදුණු විට පිරිසුදු අධියෝගය යෙදෙන අතර එවැනි ජන්මීන් තමා ජීවත්වන පරිසරය තුළ තමා සම්බන්ධ වෘත්තිය ක්ෂේත්‍රය තුළ තමාගේ සමාජ වටපිටාව තුළ කවර බාධා මැද හෝ ඉහළම තත්ත්වයට පත්වේ. කීර්තියෙන්, පිළිගැනීමෙන්, ප්‍රසිද්ධියෙන් අනූන අයෙක් වේ. තම ජීවන මාර්ගය නිසා ඔහු ප්‍රසිද්ධිය සමඟ සැප සම්පත් ලබයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ද ලබයි. ජීවිතයේ තෘප්තිමත් බවක් හිමි කරගන්නේය. අප මේ අධි යෝගය යෙදුණු බොහෝ අය සැලකිය යුතු මට්ටමෙන් සිටින බව තේරුම් ගෙන ඇති අතර මෙරට එක්තරා රාජ්‍ය නායකයකු මේ අධියෝගයේ බලය නිසාම මෙරටට ඉතාමත් ඉහළ මට්ටමේ අප්‍රමාණ සේවාවක් මෙන්ම කැපී පෙනෙන ආකාරයේ වටිනාකමක් ලබා ගනිමින් ක්‍රියාකළ බව කිව හැකිය. ඒ කෙසේ වුවත් ඔහුගේ අධි යෝගයේ දී ගුරු චන්ද්‍රයාගෙන් 6 වැන්නේ සිට ශකට යෝගය උදා කිරීම නිසා අධියෝගයේ බලය හානියට පත්කොට තිබුණි.
මොහු මෙරටට අසාමාන්‍ය සේවාවක් කළ ශ්‍රේෂ්ඨයෙක් යැයි හැඳින්විය හැකි වුවත් ශකට යෝගය නිසා ඔහුට කිසියම් විදිහක අසහනයක්, පීඩාවක් මිනිසුන්ගේ අකෘතඥතාවයට ලක්වීමක් මෙන්ම යම් යම් ජීවිතයේ ඇද වැටීම් ලබන්නට හේතු වී ඇත.
අධියෝගය යෙදුණු අය විශේෂයෙන්ම බුධ, ගුරු, සිකුරු වැනි ග්‍රහයන් තිදෙනාගේම නියෝජනයන් ඇති දෙවි දේවතාවුන් ඇදහීමෙන් ප්‍රතිඵල ලද හැකිය.
බුධ නිසා විෂ්ණු දෙවියන් ද ගුරු නිසා ශක්‍ර දෙවියන්ද සිකුරු නිසා ලක්ෂ්මි දෙවියන්ගෙන්ද පිහිට පැතීමෙන් අධියෝගය යෙදුණු ජන්මියාට විශිෂ්ට ප්‍රතිඵල අත්වනු ඇත. මේ මඟින් වාසනාවන්ත වූ ජීවිතයක් ද දියුණුව කරා උපරිමයෙන් පිය මැනිය හැකි වූද දීර්ඝායුෂ ද ජන්මියාට උරුම වනු ඇත.
ආචාර්ය ජී. ඇම්. ගුණපාල