සැප්තැම්බර් 20 - 26 අතර උපන් ඔබ...

සැප්තැම්බර් 20, 2024

 

සැප්තැම්බර් 20

පෞද්ගලික අංකය 2)

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු විසින් මානසික තලයට වඩා නැඹුරුව ගොඩනගන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු විසින් ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම හැම විටම සෞම්‍ය නොවන බව අවබෝධ කරගත යුතුයි. කලාව, උද්‍යාන අලංකරණය හා රසායන විද්‍යා අංශයන්ට ඔබගේ නැඹුරුව වැඩියි. එහෙත් ඔබේ හැකියාවන් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමට තව තවත් උනන්දු වෙනවා නම් හොඳයි. ඔයාගේ තැන්පත් හා නිහඬ බව නිසාම ඔයාට බොහෝ දෙනා ආර්ෂණය වෙනවා. ආදරය සම්බන්ධව ඔබට නිරවුල් අදහසක් නැතත් සාර්ථක විවාහයක් සිදු වෙන්නේ මැදිවියේදී ඔබ ලබන පරිනත බවින් පසුවයි. වෙනත් තැනක සිදුවන දේ දැනුණත් එය රහසක් හැටියට තබා ගැනීමට ඔබ කැමතියි. තම මානසික සංයමය පාලනයකින් තොර වුණොත් කෙතරම් ඉහළ තනතුරක හිටියත් අන් අය අතර ඔබ නින්දාවට පාත්‍ර වේවි. එනිසා නිතරම ආගමාණුකූල ජීවිතයක් ගත කිරීම ඔබට මානසික සහනයක් වේවි. පඨවි සස ත්‍රිවංකයට අයත් වීමෙන් වැටීම් තැලීම් වගේම නායයාම් ආදියට මැදිවීමේ අවදානමක් ද පවතින බව සිහියේ තබා ගත යුතුයි.

හිටපු ප්‍රවීන රංගධරයකු වූ අමරසිරි කළන්සූරිය (1940) යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී (1985) ඔබේ උපන් දින සගයන් බව දන්නවාද?

 

සැප්තැම්බර් 21

පෞද්ගලික අංකය 3

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු-නෙප්චූන් හා රවි-යුරේනස් විසින් එක්ව ගොඩනඟන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු හා රවි-යුරේනස් විසින් ඔබට සඳුගේ හා හිරුගේ ශක්තිය හොඳීන් යොමු කරවනවා.

කළ නොහැකි කටයුතු භාර නොගැනීමත් ආරම්භ කළ කටයුත්තක් කෙසේ හෝ ඉටු කර ගැනීමටත් ඔබ සතුවන්නේ සුවිශේෂී හැකියාවක්. ඔබ ලෙහෙසියෙන් සෑහීමකට පත් නොවන්නෙක්. හිතේ තදින් බලපවත්වන ඉහළ යාමේ ආශාව මානසික අවපීඩනයකට ගොදුරු වීමෙන් නිමාවිය හැකියි. විටෙක පරිත්‍යාගශීලී ඔබ තවත් විටෙක ඉතා මසුරුය. පරිපාලනයේ ඔබ ප්‍රායෝගික දක්ෂතා දක්වන අතර ගැටලු කළමනාකරණයට සමතෙකු වනු ඇත. අනුන්ට කෙතරම් දේශනා මහා ඉහළින් සිදු කළද තමන් අතින් සිදුවන වරදක් පිළිගැනීමට තරම් නිහතමානී වන්නේද නැත. තමන්ට පහළ මට්ටමකින් විවාහයක් කරගත හොත් අසාමාන්‍ය අත්දැකීම් රැසක් අත් විඳ ගැනීමට ද සිදුවනු ඇත. විදෙස් රැකියා හා මහජන සම්බන්ධතා ආශ්‍රිත අංශවලින් ඔබගේ අතමිට සරු කෙරෙනු ඇත. යම් කාර්‍යයක් සාර්ථක කර ගැනීමට අවදානම් ලෙස තමන් සතු සියල්ල ඔට්ටු අල්ලන ස්වභාවය අන්‍යයන් විස්මයට පත් කරනු ඇත. වායෝ සස ත්‍රිවංකයට අයත් වීම නිසා ශ්වසන අබාධ වගේම සුළිසුලං හා ගුවන් අනතුරුවලට මැදි වීමේ අවදානමක් ද පොදුවේ පවතිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (1966) ඔබත් සමග මෙදින උපන් දින සමරනු ඇත.

සැප්තැම්බර් 22

පෞද්ගලික අංකය 4

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු විසින් ගොඩනඟන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු-නෙප්චූන් විසින් ඔබට නිර්මාණාත්මක බවක් ලබා දී තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංකය තුළින් රවි-යුරේනස්ද ඔබට හිමිකර දෙන්නේ සුළුපටු ජවයක් නෙවෙයි. නිර්මාණශීලී බව, උපක්‍රමශීලී බව විසින් සූක්ෂ්ම ලෙස ඔබව නායකත්වය දෙසට තල්ලු කිරීමක් මෙහිදී දැකගත හැකි වෙනවා. මේ නිසා අන් අයට නොදැනෙන ලෙස ඔවුන්ව පාලනය කිරීමට ඔබ සමත් වෙනවා.

ඔයාගේ සෘජු බව නිසාම නිතර රහස් සතුරෝ ඇතිවෙන අතර හවුල් ව්‍යාපාර කිසිදා සාර්ථක වෙන්නෙත් නෑ. ජීවන සහකරුවකු හරි ළඟ රැඳෙන්නේ දෙන්නාගේ අරමුණු සමාන වුණොත් විතරමයි. නඩු කටයුතුවලින් වුවත් පාඩුමයි සිදුවෙන්නෙත්. ඔයාට මඩ ප්‍රහාර දියත් කරන්නත් මිතුරු වේශයෙන් ළඟ ඉන්න පසමිතුරෝ නිතරම දතකනවා. ශාස්ත්‍රීය හා කාර්මික අංශයෙන් වඩා සාර්ථක වියහැකි ඔබ පිරිසක් මැද තමන්ගේ ඉදිරි සැළසුම් හෙළි නොකිරීම වඩා යහපත්. ඔයාට වැළඳෙන ලෙඩ වෛද්‍යවරුන්ටත් හොයා ගැනීමට අපහසුයි. ඒත් දරා ගැනීම හොඳ නිසා ඉක්මනින් ලෙඩේ ගොඩ දා ගන්නත් වාසනාව හිමි වෙනවා.

ඔබතුළ වැඩි බලය හිමි රවිට ද යුරේනස්ටද යන සාධකය පදනම් කර ගෙන හුදෙකලා බව හෝ පිරිවර මැද බැබළීම තීරණය කෙරෙනවා. වායෝ සස ත්‍රිවංකයට අයත් වීම නිසා ශ්වසන අබාධ වගේම සුළිසුලං හා ගුවන් අනතුරුවලට මැදි වීමේ අවදානමක් ද පොදුවේ පවතිනවා.

මළල ක්‍රීඩක සුරංග අධිකාරී (1979) මහත්තයත් ඔයා වගේම සමාන ජීවන අත්දැකීම් රැසකට උරුමකම් කියනවා ඇති.

සැප්තැම්බර් 23

පෞද්ගලික අංකය 5

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු/නෙප්චූන් හා ගුරු විසින් එක්ව ගොඩනගන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු/නෙප්චූන් හා ගුරු ඔබට කලාත්මක භාවය මෙන්ම ජන ප්‍රසාදය සහිත පාලන හැකියාව ලබා දෙනවා. බුද්ධිය මෙහෙයවා කරන ඕනෑම අංශයක රැකියාවකින් ඔයා සාර්ථක වෙනවා. අනුන්ට රැවටීමත් ඔබ සතු හැකියා ගොන්න නිසාත් එක තැනක එක වෘත්තියක රැඳෙන් නෑ. එනිසා යම්

ක්ෂේත්‍රයක පරිණත වීමේ අවස්ථාව ගිලිහෙන එකත් සුළුපටු පාඩුවක් නෙවෙයි නේද? ඔයාට ආගන්තුක පරිසරයකට හුරුවෙන්න ගත වෙන්නේ ටික දවසයි. ඕනෑම භාෂාවක් වුනත් එහෙමයි. ඔබට දේපළ, නිවාස පවා හොඳීන් ආකර්ෂණය වන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම මාධ්‍යකරණය වැනි අංශයකින් දුර ගමනක් යන්නත් ඉවහල් කරගත හැකියි. අපැහැදිලි ව්‍යාපෘතිවල ආයෝජනයෙන් විටෙක මූල්‍යමය පාඩුද ඇතිවේවි. ඔබගේ සඳෑ සමය අගහිඟතා මැදිව ගත කිරීමට සිදුවන බවක් පෙනී යනවා. ඒ ගැනත් දැන් දැන්ම අවධානය යොමු කරන්න. නොකා, නොබී, නිදිවරා වුවද මුදල් පසුපස හඹා ගොස් විවේකයක් නොගැනීම වගේම මනස නිවන විනෝදාංශයක නිරත නොවීමේ අවසාන ප්‍රතිපළය ඔබ හිතන තරම් සුන්දර එකක් නොවේවි.

වායෝ 11 ත්‍රිවංකයට අයත් වීම නිසා ශ්වසන අබාධ වගේම සුළිසුලං හා ගුවන් අනතුරුවලට මැදි වීමේ අවදානමක් ද පොදුවේ පවතිනවා. කාව්‍ය නිර්මාණ අංශයේද නමක් දිනා ඇති ප්‍රවීණ ලේඛක/මහින්ද සෙනෙවිරත්නත් (1965) ඔබ සමඟ උපන් දින සමරණ අයෙක්.

සැප්තැම්බර් 24

පෞද්ගලික අංකය 6

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු-නෙප්චූන් හා රවි-යුරේනස් එක්ව ගොඩනඟන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු-නෙප්චූන් විසින් ඔබට මානසික තලයට මුසු නිර්මාණාත්මක හැකියාවන් උරුම කර දෙද්දී රවි-යුරේනස් දෙදෙනා මුළු ගැන්වී නො ඉඳ ලෝකය සමග තරග කරන්න අවශ්‍ය ජවය සලසා දෙනවා. ඔයා හරිම ප්‍රේමණීය චරිතයක්. හැබැයි එකවර මල් දෙකක් සිඹින ස්වභාවයකුත් පෙන්නුම් කෙරෙනවා. ඔබ ආදරයට කෙතරම් ලෙංගතු අයෙක් වුවත් ආදරයේදී වැඩි වශයෙන් වේදනාවන් උරුමයට ගෙන ආ දෙයක් ගානයි. තරුණ වියට පා තැබීමත් සමග ලෞකික හා අධ්‍යාත්මික යන එක් මගක් තෝරා ගැනීමට සිදු වෙනවා. ඇසුරු කරන අයගෙන් බොහෝ විට ආර්ථික වාසි පවා ඔබට අත්වනු ඇති. දවසක කලා මාධ්‍යයන්ගේ හිණිපෙත්තටම වුව පහසුවෙන් ලඟාවීමේ වාසණාවද හිමියි. එළිමහන් ජීවිතයට, මහා පරිමාණ ගොවිපළ, සත්ව ගොවිපළ පවත්වා ගෙන යන්නත් ඔයා ආසා වෙනවා.

සතුරාට වුවත් මෛත්‍රිය පතුරුවන ස්වභාවයක් ඔබ තුළ පවතින්නේ. අනික් අයට ප්‍රිය වචනයෙන්, රස අහාර පාන ආදියෙන් සලකන්නත් ආසයි. සුරාව, ප්‍රේමය හා සුඛෝපභෝගී ජීවිතය සමඟ පරිවාර බලය ඔබගේ කර්ම ශක්තිය අනුව ඔබට අඩු වැඩි වශයෙන් ආකර්ෂණය වේවි. ඔබේ ජීවිතයේ සුඛෝපභෝගී නැඹුරුව වැඩිවන තරමට වයස අවුරුදු 51 සිට ඔබට හෘද්‍යාබාධ හා කොලෙස්ටර්රෝල් විසින් සිදු කරනු ලබන අනතුරු ඇඟවීම් කල්තියාම හඳුනා ගත හැකිවුවොත් ජීවිතය ගොඩ යාවි. වායෝ සස ත්‍රිවංකයට අයත් වීම නිසා ශ්වසන අබාධ වගේම සුළිසුලං හා ගුවන් අනතුරුවලට මැදිවීමේ අවදානමක් ද පොදුවේ පවතිනවා. එකට උපන් දින සමරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ (1977) ගතිගුණ ඔබට කොතෙක් දුරට ගැළපෙනවද සසඳා බලන්න

සැප්තැම්බර් 25

පෞද්ගලික අංකය 2/7

තෙවැනි පෙළින් නැවතත් සඳු-නෙප්චූන්ට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. සඳු, නෙප්චූන් හා බුධ යන ග්‍රහයන්ගේ බලය ඒ තුළ විද්‍යමාන වෙනවා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමගම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. මෙදින උපත ලබන ඔබ සංවේදී චරිතයක්. ශරීරයේ යම් පිරිපුන් ස්වභාවයක් පෙන්නුම් කරන්නේ. පතපොතට නැඹුරුව වගේම පෑනෙන් දස්කම් පෙන්නලා ලේඛන අංශයෙන් නමක් දිනා ගන්නත් පහසුයි. පහසුවෙන් විදෙස්ගත වෙන්න වගේම මුහුදු සංචාර ආදියටත් උපතින්ම නැඹුරුවක් තියෙනවා. ආගමට දහමට හා කලාවටත් පුදුම ළැදියාවක් තමයි ඔයාට පෙන්නුම් කෙරෙන්නේ. සෙම් රෝගවලින් පරිස්සම් වෙන්න හොඳීන් හිතට ගන්න. යටිබඩ ආශ්‍රිත ගැටලු පාලනය කර ගන්න වැඩියෙන් වතුර බොන්න. ඒ වගේම දරුපල ආශ්‍රිත ප්‍රශ්න ඇති කාන්තාවක් නම් ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් වේවි. ළමා කාලයේදී කාගේත් හොඳ නම අහගෙන හැම අංශයෙන් කැපී පෙනිලා හිටියට තරමක් මුහුකුරා යද්දී තමයි තත්ත්වය කණපිට හැරෙන්නේ. ඔබ ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි නැඹුරු වුවද ඒ දෙස යොමු කරන්නේ සැකය මුසු ඇසක්. ජීවිතයේ මුල් කාලසීමාවේදී මිල මුදල් අතින් එතරම් සාර්ථකත්වයක් පේන්න නෑ. එහෙම වුවත් ජීවිතයේ වයස 34 න් පස්සේ කාලයේ දී අතමිට හොඳ හැටි සරු වේවි.

යොවුන් ලේඛිකා තුෂාරි වන්නිආරච්චිත් (1993) ඔයාගේ මොඩල් එකට බොහෝ සමානකම් ඇති කෙනෙක් වේවි.

සැප්තැම්බර් 26

පෞද්ගලික අංකය 8

සඳු-නෙප්චූන් හා සිකුරු යන ග්‍රහ සුසංයෝගයෙන් ශනිට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමඟම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා.

ඔයාට තියෙන්නේ ඉතා ප්‍රිය මනාප පෙනුමක්. වයස අවුරුදු 4, 8 හා 17 වගේ වයස්වලදී ඔයාට ඉතා ආදරය කළ කෙනෙක්, අඩුම තරමින් සීයා-ආච්චී කෙනෙක් හරි ඔයාගෙන් සදහටම සමුගත්තාද කියලා මතක් කරලා බලන්න. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම බිඳ වැටීම නිසා පවුලේ ආර්ථිකයත් ඒ කාලවල බින්දුවටම වැටෙන්න ඇති. ඔය අතරේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ හරි සෙනෙහස හා රැකවරණයත් අහිමි වුණාද? දෙමාපිය භාරකාරීත්වයෙන් මිදිලා කුඩා කල සිටම තමන්ගේ කටයුතු තමන්ටම තීරණය කර ගැනීමේ වගකීමත් දරන්න වුණාද? ඒත් ඉතිං මොන ප්‍රශ්න තිබුණත් ඔයා පොත පත දෙකට තියෙන උනන්දුව අඩු කළේ නෑනේ? කුමන අංශයේ හරි ලැබෙන රස්සාවක් අකුරටම කරලා ආයතනය තුළ නමක් දිනා ගත්තේ වයස 35 පනින කොට තමන්ටම කියලා ගෙයක් දොරක් එහෙම හදාගෙන වාහනයකුත් මිදුලේ නවත්ත ගන්නේ නැද්ද? ඔබ රහසින් අසාමාන්‍ය විෂයන් හැදෑරීමට ළැදියි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අතරම අන්‍යයන් නිර්දය ලෙස විවේචනයට ලක් කරනු ඇති. සැක කිරීම ඔබේ ජීවිතයේ ප්‍රධාන අංගයක්. අන්‍යයන් වෙනුවෙන් කොතෙක් කැපවීම් කළද දිවිතුරා ඔබට ඒ පිළිබඳව ඇගයීමකට ලක් කෙරෙන්නේද නැත. ඒ කෙසේ වුවද සෙස්සන් අභිබවා ඔබ විසින් ලෞකික ජයග්‍රහණ රැසක්ද ජීවිත කාලය තුළ දිනා ගන්න බවනම් සිකුරුයි. කොඳුඇට පෙළ හා තුණටිය ආශ්‍රිත ප්‍රශ්න දෛවයෙන් ඔබට ළංකරන නිසා ඒ සම්බන්ධව ප්‍රවේශම් විය යුතු වෙනවා. විශේෂයෙන් වයස අවුරුද 53 ක් විතර වෙද්දී කඳු නැඟීම් ආදිය නොකරනවා නම් හොඳයි. නැත්නම් ජීවිත කාලයටම විඳවන්න වෙනවා. ක්‍රිකට් ක්‍රීඩක මුතුමුදලිගේ පුෂ්පකුමාරටත් (1981) ඔයාට සමාන ජීවිත කතාවකට හිමිකම් ඇති.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.