රාජයෝග හතරකින් ලග්න තුනක් බලවත් වෙයි

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා
නොවැම්බර් 15, 2024

මේෂ, වෘශ්චික සහ මීන යන ලග්න තුනට උසස් වූ සුබ පල ද වෘෂභ, කටක, සිංහ, කන්‍යා, ධනු, මකර ලග්නවලට සුබ පලද මිථුන, තුලා, කුම්භ ලග්නවලට මිශ්‍ර පලද ලබා දෙමින් ග්‍රහලොව මාතාව වන සඳු ග්‍රහයා නොවැම්බර් මස 16 වැනිදා සෙනසුරාදා අලුයම 03.16ට වෘෂභ රාශිගතව යස නම් රාජයෝගය උදාකරයි. එය නොවැම්බර් මස 18 වැනිදා සඳුදා උදේ 7.56 දක්වා බල පැවැත්වේ.

මේ සමඟ වක්‍ර නිසා උච්ච ග්‍රහයකු මෙන් බලවත් වූ බ්‍රහස්පති ග්‍රහයා එම සඳු සමඟ යෝගවීමෙන් බලවත් ගජකේශරී යෝගයක්ද, කටක රැසෙහි කුජගේ නීචබව උච්ච සඳුගෙන් භංගවීමෙන් නීච භංග රාජයෝගයක්ද, සඳු ග්‍රහයාට සත් වැන්නෙහි සහ අට වැන්නෙහි පිළිවෙළින් සහජ ශුභයන් වන බුධ, සිකුරු යෙදීමෙන් අර්ධ චන්ද්‍රාධි යෝගයක් ද යෙදීමෙන්, චන්ද්‍රයා කේන්ද්‍රකොට ගෙන රාජයෝග හතරක් යෙදෙයි.

සඳු වෘෂභ රැසෙහි ගෝචර වන දින 2 1/2 තුළ දින ශුද්ධියක් පැවැතීම සඳුගෙන් ලැබෙන සුබපල තීව්‍ර වීමට හේතු වෙයි.

මේ රාජ යෝග යෙදීමෙන් සියලු ලග්න හිමියන්ට ආර්ථික දියුණුව, රැකියා හා වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි, ගේ දොර අලංකරණ කටයුතු සහ ප්‍රීතිය පැතිරීම, ධන ලාභ ඇති වීමට හේතුයි.

මෙකී කාලසීමාව තුළ යටකී රාජයෝග යෙදී ඇති ජන්මීන්ට දැනට සඳු ග්‍රහයාට අයත් මහ දශා, අන්තර් දශා ලබා ඇත්නම් සහ මේ දිනවල උදාව පවතින සඳු හිමි රෙහෙණ සහ කැති නැකත්වලට සීහෙන සම්පත්, ක්ෂේම, සාධක, මෛතී‍්‍ර, පරම මෛත්‍රී නැකැතකින් උපත ලබා ඇත්නම් මේදිනවල සඳු හෝරාවේ සඳුගේ පංචම කාලහෝරාව තුළ පවතින මිනිත්තු 4ක් පමණ වන සඳුගේ සූක්ෂ්ම කාල හෝරාවකින් අදාළ කාර්යයට ගැළපෙන සුබ තත්කාල ලග්නයකින් ගොවිතැන් සම්බන්ධ කටයුතු, ගෙවල් සම්බන්ධ කටයුතු, වැව්, ළිං කැණීම පිළිබඳ කාර්යයන්, විවාහ කටයුතු, වෙහෙර විහාර ගොඩනැඟීමේ කාර්යයන්, බැංකුවල මුදල් තැන්පත් කිරීමේ කටයුතු, නඩුහබවලට ඉදිරිපත්වීමේ කටයුතු ආරම්භ කිරීමෙන් බොහෝ සුබපල ලැබෙන්නේය.

එහිදී උසස් වූ සුබ පල ලැබෙන්නේ, සඳු ලග්නාධිපති වන කටක සහ සඳු ග්‍රහයා යෝගකාරක වන මේෂ, වෘශ්චික, මීන ලග්නවලින් ජන්ම ලාභය ලැබූවන්ටය. අන්‍ය ලග්න හිමියන්ට සුබ පල ලැබෙන්නේ ඔවුන්ගේ උත්පත්ති කේන්දරයේ චන්ද්‍රයා මේෂ, කටක, වෘශ්චික, මීන යන රාශියක ඇත්නම් පමණි.

මෙකී කාලසීමාව මහජනයා පිනට දහමට යොමුවීමත්, වෙනදාට වඩා දරු ප්‍රසූතීන්, භව බෝගවල ඵලදාව, කිරි නිෂ්පාදනය ආදිය වැඩි වීමටත් ගොවිතැන් කටයුතු සඳහා ජලය සුලබ වීමටත් හේතුවෙයි.

ඉහත රාජ යෝගවලින් ජන්ම ලාභය ලබා ඇති දැනට සඳු මහ දශා, අන්තර් දශා ලබා ඇති ජන්මීන් සඳු ග්‍රහයා වෘෂභ රාශියේ ගෝචරය වන දින 2 1/2 තුළ සුබ වැඩ කටයුතු සඳු ග්‍රහයාගේ කාල හෝරාවේ සඳු පංචමයේ සඳුගේ සූක්ෂ්ම කාලහෝරාවෙන් පසු තනි සුදු වස්ත්‍රයකින් සැරසී පත්තිනි මෑණියන්ට පහනක් දල්වා දකුණ බලා ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය.

මේෂ ලග්නය

මේෂ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙක් වන සිව්වැන්නාධිපති සඳු 2 වැන්න වූ වෘෂභ රැසෙහි බලවත්ව ගමන් කිරීම මේෂ ලග්න හිමියන්ගේ බැංකුවල ඇති මුදල් තැන්පත් ඉහළ යාමටත්, පදිංචි ස්ථානය මුල් කරගෙන කෙරන රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායම් ඉහළ යාමත් නිවාස ඉඩකඩම් විකිණීමෙන් ලාභ ලැබීමටත් හේතු වන්නේය.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න කේන්දරය තුන්වැන්නාධිපති සඳු පාපියෙක් වන නමුත් උච්ච 11 වැන්නාධිපති ගුරු සමඟ යෝගව අර්ධ චන්ද්‍රාධි යෝගයක් උදා කරමින් ලග්නයෙහි ගමන් ගැනීම, සහෝදරියන්ගෙන් විවාහයෙන් මුදල් ලැබෙන, ජංගම හවුල් ව්‍යාපාරවලින් වෙනදාට වඩා ආදායම් ලැබෙන කාලසීමාවක් වන්නේය.

 

මිථුන ලග්නය

මිථුන ලග්නයට දෙවැන්නාධිපති වන සඳු ලග්නාධිපති බුධට මිතුරු ග්‍රහයෙක් වන හෙයින් සඳු ග්‍රහයා උච්චව 12 වැන්නෙහි ගමන් කිරීමෙන් මිථුන ලග්න හිමියන් එතරම් ශුභ ඵලයක් බලාපොරොත්තු විය නොහැකි මුත් සඳු ග්‍රහයා ගමන් ගන්නා මෙකී වෘෂභ රැස ජන්ම සඳුගෙන් 1, 3, 6, 7, 10, 11 යන රාශියකට වැටේ නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මිථුන ලග්න හිමියන්ට දුරගමන් බිමන්වලින්, විදේශ ගමන්වලින්, විදේශ රැකියා හා ව්‍යාපාරවලින්, විවාහයෙන්, අනාගත ලාභ බලාපොරොත්තුවෙන් විවිධ කටයුතු සඳහා කරන මූල්‍ය ආයෝජනයන් මඟින් ලාභ ලැබෙන වෙනදාට වඩා අතමිට දිග හැර වියදම් කිරීමට අවශ්‍ය මුදල් ලැබෙන කාලයක් වන්නේය.

 

කටක ලග්නය

සඳු ග්‍රහයා මුල් කොට ගෙන චන්ද්‍ර අෂ්ටම, ලග්න අෂ්ටම, ජන්ම ඒරාෂ්ටක යන අපලයක් නොමැති කටක ලග්න හිමියන්ට ලග්නාධිපති වන සඳු ග්‍රහයා උච්ච 11 වැන්න වූ වෘෂභ රාශියේ ගමන් ගැනීම ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවූවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත්, රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ආදායම් ලැබීමටත්, දරුපල බලාපොරොත්තුවෙන් සිටි කාන්තාවන්ට දරුවන් ලැබීමටත්, කල්‍යාණ මිත්‍ර සම්බන්ධතා ඇතිවීමටත් හේතුවන්නේය.

 

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ට සඳු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් නොමැති එමෙන්ම මෙකී ගෝචර සඳු ජන්ම සඳුගෙන් 1,3,6,7,10,11 යන භාවයක වැටී ඇත්නම් ශුභඵල ගෙන දෙන්නේය. ඒ අනුව එම ග්‍රහ ගෝචරය සිංහ ලග්න හිමියන්ගේ රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වීමටත්, නිවාස ඉඩකඩම් විකිණීමෙන් ලාභ ලැබීමටත් හේතුවන ග්‍රහ ගෝචරයක් වන්නේය.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නය හිමියාගේ අයස්ථානාධිපති හෙවත් 11 වැන්නාධිපති වන සඳු ග්‍රහයා උච්චව 9 වැන්න වූ භාග්‍යස්ථානයේ වක්‍ර නිසා උච්ච ග්‍රහයෙක් මෙන් බලවත් වූ ගුරු සමඟ යෝගව අර්ධ චන්ද්‍රාධි යෝගයක් උදා කරමින් බලවත්ව ගමන් ගැනීම කන්‍යා ලග්න තරුණ තරුණියන්ට ගුණ යහපත් උගත් සහකරුවන් සමඟ විවාහවීමේ භාග්‍ය උදාකරයි. බාල සහෝදරියන්ගෙන්, මවු පාර්ශ්වයෙන් ධනය ලැබෙන, පින්වත් දරුවන් ලැබෙන, උසස් කලා කෘතින් බිහිකිරීමට හේතුවන ග්‍රහ ගෝචරයක් වන්නේය.

 

තුලා ලග්නය

තුලා ලග්න හිමියාගේ 10 වැන්නාධිපති සඳු ලග්නයට පාපියෙකු වන හෙයින් තුලා ලග්න හිමියන්ට මෙකී සඳු 8 වැන්න වූ වෘෂභ රාශි ගමනෙන් ශුභඵල ලැබෙන්නේ ඔවුන්ගේ 8වැන්න වූ වෘෂභය උත්පත්ති සඳුගෙන් 1,3,6,7,10,11 යන රාශියකට වැටුණහොත් පමණි. එවන් ග්‍රහ පිහිටීමක් ඇති තුලා ලග්න හිමියන්ට, රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවලින් ධන ලැබීමට ඒ සම්බන්ධව ඇති නඩුහබවලින් ජය ලැබීමටත්, තැන්පත් ධන වැඩිදියුණු වීමටත්, පවුල් ජීවිතය පී‍්‍රතිමත් වීමටත්, හේතු වන්නේය.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරක ග්‍රහයකු වන සඳු ග්‍රහයා උච්චව 7වැන්න වූ වෘෂභ රාශියේ ගමන් කිරීම විදෙස් සංචාරයන් ඇතිවීමටත්, විවාහ වන වයසේ පසුවන තරුණ තරණියන්ට උගත්, ධනවත්, බලවත්, කීර්තිමත් අයවලුන් සමඟ යුග ජීවිතයට එළඹීමටත්, හවුල් ව්‍යාපාරවල නියුතු අයට වෙනදාට වඩා ස්වකීය ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබීමටත් හේතු වන්නේය.

 

ධනු ලග්නය

ධනු ලග්න හිමියාගේ 8 අධිපති සඳු ග්‍රහයා 6 වැන්නේ උච්චව ගමන් කිරීම සරලා නම් විපරීත යෝගය උදා කිරීමකි. ඒ අනුව එවන් විපරිත රාජයෝගයක් ඇති උප්පත්ති කේන්දරයේ යෙදී ඇති ධනු ලග්න හිමියන්ට, අන්තිම කැමැති පත්‍ර මඟින් මවුපාර්ශ්වයේ ධනය ලැබෙන, දික්කසාද නඩු මඟින් වන්දි මුදල් හිමිවන, සතුරු ප්‍රශ්න සම්බන්ධ නඩුහබවලින් ජය ලැබෙන ග්‍රහ ගෝචරයක් වන්නේය.

 

මකර ලග්නය

මකර ලග්න හිමියාගේ 7 අධිපති සඳු, මකර ලග්න කේන්දරයට පාපියකු වන මුත්, 7 වැන්න වූ වෘෂභ රැසෙහි උච්ච ගජකේෂරී සහ අර්ධ චන්ද්‍රාධි යෝගයක් උදා කරමින් ගමන් කිරීම අධ්‍යාපන, විවාහ කටයුතු සාර්ථක වන, අනාගත ලාභ අපේක්ෂාවෙන් කෙරෙන ආයෝජනවලින් ලාභ ලැබෙන, ලිපිලේඛන සම්බන්ධ කටයුතුවලින් කෙටි ගමන්වලින් ලාභ ලැබෙන ග්‍රහ ගමනක් වන්නේය.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියාගේ 6 අධිපති වන සඳු කුම්භ ලග්නයට පාපියකු වන මුත් උච්චව සිව්වැන්න වූ වෘෂභ රැසෙහි ගමන් ගැනීම ශුභ වන්නේ මෙකී සඳු ග්‍රහයා ගමන් ගන්නා 4 වැන්නවූ වෘෂභය ජන්ම සඳුගෙන් 1,3,6,7,10,11 යන රාශියකට වැටුණහොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න හිමියන්ට නැන්දා මාමලාගෙන් ධනය දේපළ ලැබීමටත්, නව නිවාස ගොඩනැඟීමට අවශ්‍ය ධනය ලැබීමත්, නිවසේ ශි‍්‍රයාව වර්ධනය වීමටත් හේතු වන්නේය.

 

මීන ලග්නය

මීන ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයකු වන පස්වැන්නාධිපති සඳු තුන්වැන්න වූ වෘෂභ රැසෙහි උච්චව ගමන් ගැනීම මීන ලග්න හිමියන්ට ගුරු පත්වීම් ලැබෙන, කෙටි කතා නවකතා, ලේඛක ලේඛිකාවන් අතින් උසස් නවකතා කෙටිකතා බිහිවන, පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු සාර්ථක වන, තරුණියන් තරුණයන් අතර මඟ තොටදී පේ‍්‍රම සම්බන්ධතා ඇතිවන ග්‍රහ ගෝචරයක් වන්නේය.

මෙහිදී චන්ද්‍ර අෂ්ටම හෝ ජන්ම ඒරාෂ්ටක අපල ලබා ඇති ජන්මීන්ට මෙකී සඳු ග්‍රහයාගේ වෘෂභ රාශි ගමනේදී ලැබෙනා ශුභ ඵල අහිමි වීමක් හෝ අවම වීමක් ඇති විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.