ඔබ උපන්නේ මාර්තු 29 සිට අප්‍රේල් 04 අතර දිනකද?

මාර්තු 29, 2024

 

අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු 21න් පසු මේෂ රාශිගතව ගමන් කරන මුත් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පුර්ණ බලය ක්‍රියාත්මක වන්නේ මාර්තු මාසයේ 28 වැනි දින සිට අප්‍රේල් 19 දක්වාය. අප්‍රේල් 19 න් පසු මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ බලය කෙමෙන් අඩුවෙමින් සිකුරගේ බලය කෙමෙන් වැඩි වෙමින් දින 07ක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව මාර්තු 28 න් පසු උපන් පුද්ගලයන් පෞද්ගලික අංකය අයත් ග්‍රහයාගේ බලපෑමට මෙන්ම මාසයේ බලයෙන් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පූර්ණ බලයට යටත් වේ. පෞද්ගලික අංකය කුමක් වුවත් තිවංකය ගිනි වීමත් කුජ ධනාත්මක වීමත් නිසා මේ මස උපන් ඔබ ශක්තිමත් පේශි පද්ධතියක් සහිතව උත්පත්තිය ලබන අතර, එතරම් උස පුද්ගලයන් වන්නේ නැත. ඔබ නොපසුබසින අධිෂ්ඨාන ශක්තියෙන් යුක්තය. ඒ වගේම මුරණ්ඩු ගති ලක්ෂණයක් පෙන්නුම් කරයි. හොඳ සංවිධාන ශක්තියක් ඔබට හිමිය. එම නිසා බොහෝ සමිති සමාගම්වල මෙන්ම ජනතාව සංවිධානය කරන අංශයන් හි ප්‍රමූඛත්වය ඔබ ගනී. නමුත් සියල්ල සිදු විය යුත්තේ ඔබට අවශ්‍ය ආකාරයටය.

එසේ නොවන කල්හි ඔබ සියල්ල අත හරිනු ඇත. එසේම මේ මස උපන් ඔබට නිවැරැදි තීරණ තුළ සිටීමෙන් ලෞකික දියුණුව සහ බලය ලබා ගැනීමෙන් දිගු ගමනක් යා හැකිය. නමුත් සාර්ථකත්වය බොහෝවිට අන්‍යයන්ගේ චාටු බස් නිසා හිස උදුම්මා ගැනීමෙන් ඇණ හිටිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. අහංකාරව තම බලය පිළිබඳව වැරැදි තක්සේරුවකින් ක්‍රියාකිරීමෙන් ඔබට ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකිය. ස්වභාවයෙන්ම ඔබ ආවේගශීලි නිසා වේගවත් හැගීම් ඇති බැවින් උපායශිලි නොවී කෙලින් කතා කිරීම නිසා සතුරන් ඇති කර ගනී. ඉහළ නැඟීමේ ප්‍රබල ආශාවක් ඔබ සතුව තිබේ. නීතියක් වශයෙන්ම ඔබ සාර්ථක වනවා සේම ඉහළ තනතුරු නිලතල උත්සහයකින් තොරව ලැබීමට හිමිකම් සහිත වේ.

 

මාර්තු මාසයේ 29 වෙනි දින

මාර්තු මාසයේ 29, වෙනි දින උපන් ඔබෙ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මේෂ රාශිගතව ගමන් කරන බැවින් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ මෙන්ම සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඉතා ඉක්මනින් සිත් රිදවා ගැනීම ඔබගේ ක්‍රමය වුවත් නායකත්වය දැරීමේ හැකියාවක් ඔබ සතුවේ. ඔබ ඔබේ ඉලක්කයන් වෙතට ගමන් කරන්නේ ඉතා සෙමින් වන අතර, ඔබේ ක්‍රියාකලාපයන් අන් අයට බාධාවක් වන්නේ ද නැත. මහජන සම්බන්ධතා පැවත්වීමට වැඩි ඉඩකඩක් ඔබට ලැබෙන අතර, ඵලදායි පුද්ගලයන් රැසක්ම හඳුනා ගැනීමට ඔබට අවස්ථාව සැලසේ. සාමකාමි පරිසරයකට ඉතාමත් කැමැති අතර ප්‍රබල සංවේදි බවක් ඔබ සතුය. අනියම් පෙම් සබඳතාවල පැටලීමට ඉඩ තිබේ. එයින් අපකිර්තියට පත්විය හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාකාරි විය යුතුය. අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාවක් ඔබ සතුය. අනවශ්‍ය ප්‍රමාණයට නීතිගරුකවීම ඔබට අවාසියක් විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. උගුර කන් පිළිබඳ අසනීපයන් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය.

 

මාර්තු මාසයේ 30 වෙනි දින

මාර්තු මාසයේ 30, වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 3 වන අතර, එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මේෂ රාශිගතව ගමන් කරන බැවින් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. මෙදින උපන් ඔබ ඉහළ නිර්මාණාත්මක හැකියාවක් සහිත අයකු වන අතර, දෑත් උපයෝගි කරගෙන කරන නිර්මාණයන්වලින් ඉදිරියට පැමිණිය හැකිය. බොහෝ ශක්තිවන්ත සහ කාර්යක්ෂම පුද්ගලයන් වන අතර, ඕනෑම අන්දමේ විධායක ශ්‍රේණියේ තණතුරු ඔබට ගැළපෙනු ඇත. සෑම අවස්ථාවකදීම සෑම අයෙකුම පාලනය කිරීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන අතර, සෑම දෙයක්ම සුබවාදීව බැලීම ඔබගේ ක්‍රමය වේ. සමාජශීලි ජීවිතයකට ඔබ නිරන්තරයෙක් කැමැති අතර, සමාජය තුළ ජනප්‍රිය චරිතයක්ද වේ. එසේම වාසනාව නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවයක් ජීවිත කාලය පුරා දැකිය හැකි වේ. එසේම ඔබට හොඳ කල්පනා ශක්තියක් ඇති අතර, ගුරු වෘත්තිය, දේශපාලනය හෝ සමාජ සේවා කටයුතු ආර්ථිකමය ස්ථාවරය සඳහා සුදුසු වේ.

 

මාර්තු මාසයේ 31 වෙනි දින

මාර්තු මාසයේ 31, වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මේෂ රාශිගතව ගමන් කරන බැවින් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. අධ්‍යාත්මික සේම භෞතික ලෝකයේද ඔබ දක්ෂකම් පාන අතර, ඔබ ඔබේ සැලසුම් ඉදිරියේ බොහෝ ඉවසිලිමත්වීම ඉතාම වැදගත් වේ. හොඳ මතක ශක්තියක් හිමි ඔබ ඉතාම වෙහෙසට පත්ව කටයුතු කිරීමට කැමැති අයෙකු වේ. විනෝදාංශයන් සඳහා ඔබේ වැඩි කැමැත්තක් නොමැත. මුදල් ඉපයීම පමණක් සතුට වශයෙන් සිතීම ලොකු දුර්වලතාවයකි. ඔබට මිතුරන් අඩු අතර තෝරාගත් කිහිප අයෙකු සමඟ පමණක් ගණුදෙණු සිදු කෙරේ. ඔබ අවංක පුද්ගලයෙකි. එහෙත් අවංකකමින් වෙනත් පුද්ගලයන්ට ප්‍රයෝජනයක් ගැනීමට නො හැකිය. ආදරය සම්බන්ධයෙන් ජීවිතය පුරාම ගැටලු මතුවේ. බලාපොරොත්තු බිඳවැටීම් සිත් රිදවා ගැනීම් ආදරය කිරීමේදි අපේක්ෂා වේ. ඉක්මන් විවාහයකට යාම ඔබට වාසි සහගත වේ. වෛද්‍ය වෘත්තිය ගෘහ නිර්මාණය, ගණකාධිකරණය වැනි වෘත්තීන් ආර්ථික දියුණුවට යහපත් වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උරුම වුවද අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් මාසයේ 01 වෙනි දින

අප්‍රේල් මාසයේ 01,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මේ දිනවල උත්පත්තිය ලැබූ ඔබ ජීවිතයේ ඉහළ නැගිමේ ආශාවන් සහිතව කුඩා කල සිටම කටයුතු කරන පුද්ගලයකු වන අතර එම ආශාවන් සාර්ථක ලෙස ඉටුකර ගැනීමේ හැකියාවක් ඔබ සතුවේ. නිර්මාණාත්මක හැකියාවන් උපතින්ම ඔබ සතුවන අතර, සියලුම කටයුතුවලදී දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. සමාජයේ මෙන්ම තම පවුල සහ ඥාතින් අතරද ප්‍රධාන වන අතර තම මතය අනුවම කටයුතු කරන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල නෙලාගත හැකිය. ආදරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවිය හැකි අතර එයට හේතු වන්නේ ඔබ එක අරමුණක ගමන් කිරීමයි. ක්‍රීඩා කටයුතුවලට ප්‍රිය කරන අතර ජයග්‍රහණයන් ඔබ සතුවේ. ගිනි අවි පිපිරීම් රිය අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ආර්ථික කටයුතු වලදි ඉහළ පහළ යෑම් සිදුවිය හැකි අතර, ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. සමාජ කටයුතුවලදි සාර්ථක වන අතර සතුරන් ඇතිවීම වැළකිය නොහැකිය. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උරුම වුවද අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් මාසයේ 02 වෙනි දින

අප්‍රේල් මාසයේ 02 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු

ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මේ දිනවල උපන් ඔබේ එකිනෙකට පරස්පර විරෝධි ගතිගුණයන් මෙන්ම චරිත ස්වභාවයක් මතු වේ. කුජ නිසා පැම්ණි දැඩි අධිෂ්ඨානශීලිබව සහ ස්වාධින බවට සඳු නිසා පැමිණි නිර්මාණාශීලි බව සහ හෘදයාංගමභාවය නිසා සම්ප්‍රදාය ප්‍රිය නොකරන තත්ත්වයන් ඇති වේ. සියලු කටයුතු වරින් වර වෙනස් කර ගනිමින් ගමන් කරයි. එහෙත් හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුය. එම නිසාම අනිත් අයව හොඳින් පාලනය කිරීමේ සුදුසුකම ඔබ ලබා ගනී. රජයේ රැකියාවක නියැළෙන්නේ නම් පමණක් එකම රැකියාවක නියළෙන අතර, නැතිනම් වරින් වර රැකියාව වෙනස් කිරීම ඔබගෙන් දැකිය හැකිය. සියලු ආර්ථික කටයුතු සඳහා තනියම යොමුවන්නේ නම් ඉතා සාර්ථක කර ගත හැකිය. සඳු සහ නෙප්චූන්ගේ පැමිණිම නිසා සාහිත්‍යමය හැකියාවන් දියුණු කර ගැනීමට හොඳ අවස්ථාවක් හිමි වේ. විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇති වේ. හොඳ සෞඛ්‍ය තත්වයක් උරුම වුවද උණ, රුධිරගත ආබාධ කුඩා බිබිලි ආදි අසනීපයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතී. උගුර, කන් පිළිබඳ අසනීපයන් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය.

 

අප්‍රේල් මාසයේ 03 වෙනි දින

අප්‍රේල් මාසයේ 03 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 3 වන අතර, එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ ගුරු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඕනෑම ක්‍ෂේත්‍රයකදි ඉහළ නැගීමේ ආශාවන් මෙන්ම අන් අය අභිබවා යාමේ අරමුණු සහිත අය මේ දිනවල උත්පත්තිය ලබන අතර, කෙසේ හෝ තම අභිලාෂයන් ඉටුකර ගැනීමේ ශක්තියක් ඔබ සතු වේ. කුජ සහ ගුරුගේ බලපෑම නිසා නිරන්තරයෙන් අන් අය පාලනය කිරීමට උත්සහ කරන අතර, එවැනි සංවිධාන නිරන්තරයෙන් ඇති කර ගනී. එම තත්ත්වය නිසා අන් අය යටතේ කටයුතු කිරීමට ඔබ කැමැති නැත. නීතිය සම්බන්ධයෙන් පූර්ණව ස්වාධිනව කටයුතු කරන අතර, තරාතිරමකින් තොරව සියලු අවස්ථාවන්හි කටයුතු කරයි. එම නිසාම ශක්තිමත් සතුරන් මෙන්ම හොඳ මිතුරන්ද ඇති වේ. සමාජය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වන අතර මේ ඔබගේ යෝජනා අදහස් ඒ වෙනුවෙන් ඉදිරිපත් වේ. යහපත් සෞඛ්‍යමය තත්ත්වයක් උපතින්ම හිමි නමුත් මැදි වයසෙන් පසුව අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධයන්ට ගොදුරු විය හැකි නිසා ප්‍රවේසම් විය යුතුය. හොඳ ආර්ථික මට්ටමක් ගොඩනඟා ගැනීමට හැකි අතර නිශ්චල දේපළ සඳහා මුදල් ආයෝජනය යහපත් වේ.

 

අප්‍රේල් මාසයේ 04 වෙනි දින

අප්‍රේල් මාසයේ 04 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සම්ප්‍රදාය ප්‍රිය නොකරන ඉතා ස්වාධීන පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබයි. ගවේශණශීලිව කරුණු හදාරන අතර දර්ශනවාදි බවක් ඔබ සතුවේ. එසේම සාහිත්‍ය කෙරෙහි ද දැඩි ඇල්මක් ද ඔබ දක්වන අතර, ඔබටම ආවේණික වු ආගම ඇදහීමක් ද සහිත වේ. කිසිවකුගේ අවවාද ඔබ පිළිගන්නේ නැත.සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැඟීම ඔබගේ ක්‍රමය වේ. සමාජය රිදෙන ලෙස කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වුවද සමාජය විසින් මේ ඔබව රිදවන්නේ නැත. සාර්ථක කාල පරිච්ජේදයක් මෙන්ම අසාර්ථක කාල පරිච්ජේදයකට ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදුවන බැවින් ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතුය. අනාගතය සම්බන්ධ අනියත බියක් ඇති බැවින් අනාගතය සඳහා ඔබ මුදල් ඉතිරි කරයි. සෞඛ්‍යමය වශයෙන් සොයා ගැනීමට අපහසු රෝගාබාධවලට ලක්වීමට පැහැදිලි ඉඩකඩක් ඇති බැවින් ප්‍රචේශම් විය යුතුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.