ඔබේ අත්ලේත් මේ රේඛා තිබෙනවාද?

ජනවාරි 19, 2024

 

හස්ත රේඛා පරික්ෂාවකදි ඉතාම වැදගත් වු ප්‍රධාන රේඛා පසුගිය සතියේ ලිපියෙන් අප හඳුනාගත් අතර අද අප අප්‍රධාන රේඛා සහ තවත් වැදගත් වු ලක්ෂණ කිහිපයක් හඳුනා ගනිමු.

කුජ රේඛාව

ජීවන රේඛාවට පහළින් මහපට ඇඟිල්ල දිශාවේ සිට ජීවන රේඛාවට සමාන්තරව විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හඳුනාගත හැකිය. මෙහි අවසානය මහපට ඇඟිල්ලට සමාන්තරව සිදුවන අතර එසේ අවසාන නොවී ජීවන රේඛාවේ අවසානය දක්වා ගමන් කරන්නේ නම් එම රේඛාව කුජ රේඛාව නොවන අතර ජිවන රේඛාවේ ද්විත්ව රේඛාවක් ලෙස හඳුනාගත හැකිය. ඒක පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ රේඛා සමහර පුද්ගලයන්ගේ අත්වල රේඛා එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකිය. මේ රේඛාව නිසා ජීවන රේඛාවේ ප්‍රබලතාවය තව තවත් තීව්‍ර කරන අතර ජීවන රේඛාචේ ඇති යම් යම් දුබලතා මඟ හරවයි. ජීවන රේඛාවට අමතරව කුජ රේඛාවන් කිහිපයක් පිහිටි අත්ල හිමි පුද්ගලයන්ට තම ජීවන ගමන ගෙනයාමට උපකාර කරන අමතර බලවේගයන් ද ඇත. කුජ රේඛාව අත්ලේ සටහන් පුද්ගලයා ප්‍රබල ශරිර ශක්තියක් ද මනා සෞඛ්‍ය තත්වයක්ද පැහැදිලි පිළිවෙතක්ද උපතින්ම උරුම කර ගනියි. නමුත් මොහුන් ස්වයං උත්තේජන කාර්යයන් සඳහාද කැමැත්තක් දක්වයි. මේ නිසා මද්‍යසාර භාවිතය වැනි කටයුතුවලට ඇබ්බැහි විය හැකිය.

වයාලැසිවා රේඛාව

වයාලැසිවා හෙවත් වින්දන රේඛාව සුලැඟිල්ල පහළම කොටසින් ආරම්භ වන අතර රේඛාවේ අවසානය නිෂ්චිත වශයෙන් කිව නොහැකිය. බොහොදුරට මැණික් කටුව දෙසට ගමන් කරයි. මෙය අත්ලක පවතින අනිවාර්ය රේඛාවක් නොවන අතර කලාතුරකින් පිහිටන රේඛා ලක්ෂණයකි. පුද්ගලයෙකුගේ අත්ලේ මෙම රේඛාව මනාව පිහිටලා තිබේ නම් යම් කිසි ක්‍රියාවකට ඇබ්බැයි වු බවක් කියාපායි. සුරාවකට වහලෙකු විය හැකිය. විකෘති කාමාශාව සහිත පුද්ගලයෙක් ද විය හැකිය. කෙසේ හො අධර්මිෂ්ට භාවයක් පුද්ගලයාගෙන් පෙන්වයි. පුද්ගලයා මොන දිශාවට පෙළඹී ඇද්දැයි රේඛාවේ පිහිටීම අනුව තීරණය කළ හැකිවේ.

මණි බන්ධන රේඛා

අත්ලේ මැණික් කටුව සංධිය ආසන්නයේ ඇති මණිබන්ධන රේඛා බොහෝවිට රේඛා තුනක් වශයෙන් පිහිටා ඇත. ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. එසේම රේඛා තුනම සම දුරින් ප්‍රබලව ඇති පුද්ගලයින්ට රාජ යෝග ඇතැයි හින්දු ශාස්ත්‍රයේ පිළිගැනිමකි. පූර්ව ජන්මයන්හි දි කරන ලද කර්මයන්ගේ විපාක මේ භවයේදි ලබා දෙන ආකාරය පෙන්නුම් කරන ස්ථානය ද මේ කොටස ලෙස සැලකිය හැකිය. කෙනකුගේ අභිවෘද්ධිය ශ්‍රේෂ්ඨත්වය හා අධ්‍යාපනය ද මේ ස්ථානයට සම්බන්ධ රේඛාවලින් පෙන්වන හෙයිනි. ආයුෂ සම්බන්ධ ජීවන රේඛාවත් ජීවන කටයුතු වෘත්තීය හා බැදුණු දෛව්‍ය රේඛාවත් කලා කෞශල්‍ය හා දක්ෂතාත් ප්‍රසිද්ධියත් ප්‍රකාශ කරන රවි රේඛාවත් කර්මය කෙරේ බලපාන ශනි ඇඟිල්ලට මුහුණ ලා පිහිටි මේ ස්ථානයෙන්ම ආරම්භ වීමෙන් ඒ බව පැහැදිලි වේ.

ඉව රේඛාව හෙවත් ස්ථානෝචිත ප්‍රඥා රේඛාව

අත්ලේ සුලැඟිල්ලට පහළ මැණික් කටු සන්ධියට ළංව ආරම්භව සුලැඟිල්ල දිශාවට දුන්නක ආකාරයට වක්‍රව ගමන් කරන රේඛාව ඉව රේඛාව හෙවත් ස්ථානෝචිත ප්‍රඥා රේඛාව ලෙස හැඳින්වේ. අනාගත සිදුවීමක් කලින් දැනිම අප සියලු දෙනාටම පොදු වු කාරණයක් නොවේ. එය ඉතාම විශේෂ වු පුද්ගලයන්ට උරුම වු කාරණයක් වන අතර මේ රේඛාව පිහිටා ඇති අත්ල හිමි පුද්ගලයාට එවැනි වු අනාගතය දැකිමේ හැකියාවක් සහිත පුද්ගලයෙක් වේ.

විවාහ රේඛාව

විවාහ රේඛා අත්ලේ කිහිප ස්ථානයකම පෙන්වන අතර හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් රේඛාවක් ලෙස හැඳින්විය හැකිය. සුලැඟිල්ලට පහළින් හෘද රේඛාවට ඉහළින් ප්‍රධානම විවාහ රේඛාවන් පිහිටා ඇත. ඊට අමතරව හෘද රේඛාවෙන් ජීවන රේඛාව වෙත පැමිණෙන වක්‍රාකාර රේඛා ද ජිවන රේඛාවෙන් පහලට ලම්බකව එල්ලෙන කෙටි රේඛා ද දෛව්‍ය රේඛාවට චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණ සම්බන්ධ වන රේඛා ද එමෙන්ම කුටුම්භ රේඛාවෙන් ජීවන රේඛාවට අතු ශාඛාවක් වශයෙන්ද විවාහ රේඛා හඳුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් විවාහය නැමැති නීතිමය බන්ධනය අත්ලෙහි සටහන් නොවන අතර අත්ලෙහි විවාහ රේඛාවලින් පෙන්නුම් කරන්නේ තෝරාගත් අයෙකු සමග දෙනාගේ කැමැත්ත මත නිරන්තරයෙන් පවතින ප්‍රිතිමත් කායික සම්බන්ධ තාවයන්ය. එය විවාහය යැයි හැඳින්විය හැකිය.

දරුපල රේඛා

පුද්ගලයෙකුගේ අත්ලේ බන්ධන රේඛා හෙවත් විවාහ රේඛාවල උඩු අතට පිහිටි ඉතා සියුම් රේඛාවලින් දරුසම්පත් සම්බන්ධව කියවේ. එසේම සුලැඟිල්ලේ පාමුල සිට පහත බන්ධන රේඛාවටද මේ කුඩා කේෂික රේඛා විහිදේ. කෙසේ නමුත් දරුපල රේඛාවල ස්වභාවය අනුව ලිංග භේදයද,ශක්තිමත් දරුවන්ද දුර්වල දරුවන්ද ආදි කරුණු ද තහවුරුගත හැකිය. පළල රේඛාවලින් පිරිමි දරුවන්ද සියුම් රේඛාවලින් ගැහැනු දරුවන්ද පෙන්වන අතර මේ රේඛා පැහැදිලිතාවය ප්‍රබලතාවය මත ශක්තිමත් දරුවන්ද දුර්වල දරුවන්ද හඳුනාගත හැකිය.

බලපෑම් රේඛා

ජිවන රේඛාව ආරම්භ ස්ථානයට පහළින් සහ මහපට ඇඟිල්ල අත්ලට සවිවෙන ස්ථානයේ සිට මෙන්ම සුලැඟිල්ලට පහළින් ආරම්භ වි අත්ල පුරා විහිදෙන රේඛා බලපෑම් රේඛා වශයෙන් හඳුනාගත හැකිය. බලපෑම් රේඛාවලින් පෙන්නුම් කරන්නේ අපට බලපාන බාහිර සාධක පිළිබඳවයි. එනම් වෙනත් පාර්ශවයන් විසින් අපට එල්ල කරන කරදර බාධක මෙම රේඛාවලින් හඳුනාගත හැකිය. රේඛාවේ හැසිරීම් ස්වභාවය මත කුමන පාර්ශ්වයක් බලපෑම් එල්ල කරන්නේදැයි හඳුනාගත හැකිය.

පවුල් රේඛා

මැණික් කටුවේ සිට හෘද රේඛාවේ අවසානය සටහන් කරන සුලැඟිල්ල පහළ කොටස දක්වා අත්ලේ පිට දාරයේ කුඩා තිරස් රේඛා පවුල් රේඛා වශයෙන් හඳුනාගත හැකිය. මේ රේඛාවලින් අත්ල හිමි පුද්ගලයා සමඟ එකම වහලක් යට සිටින පුද්ගලයන් සංඛ්‍යාව හඳුනාගත හැකිය.

සංචාරක රේඛා

පුද්ගලයාගේ විදේශ ගමන් සම්බන්ධව පෙන්වන රේඛා මේ නමින් හඳුන්වන අතර මැණික් කටු සංධියේ සිට ඉහළට වශයෙන්ද සුලැඟිල්ලට පහළ අත්ලේ පිට දාරයේ සිට අත්ල තුළට තිරස් රේඛා වශයෙන් සහ ජීවන රේඛාවෙන් අතු ශාඛාවක් වශයෙන්ද හඳුනාගත හැකිය. රේඛාවේ ආරම්භක ස්ථානය අනුව මොන රටට විදේශගත වන්නේ දැයි තීරණය කළ හැකිය. එසේම රේඛාවේ ස්වභාවය මත සංචාරය සාර්ථක වනවාද නැද්ද වශයෙන් නිවැරදි වූ තීන්දු තීරණවලට පැමිණිය හැකිය.

මුල්‍ය රේඛා

දෛව්‍ය රේඛාවේ ඉහළ කොටසේදි විශේෂයෙන් හෘද රේඛාවට ඉහළින් සිරස්ව මැදඟිල්ල දෙසට විහිදෙන අමතර රේඛා මූල්‍ය රේඛා ලෙස හඳුනාගත හැකිය. සමහර අවස්ථාවල තරමක් ආනතවද මේ රේඛා පිහිටා තිබිය හැකිය. ඉතා පැහැදිලිව මූල්‍ය රේඛා තමාට මියයන තුරුම ජිවත් විමට ආදායමක් ලැබෙන බව පෙන්වයි.

සොලමන් මුදුව

සොලමන් මුදුව කලාතුරකින් අත්ලක දක්නට ලැබෙන අතර දබර ඇඟිල්ල මුල අර්ධ කවයක් පරිදි ගුරු මණ්ඩලය මත පිහිටා තිබේ. ගුප්ත ශාස්ත්‍රවලට දක්ෂයෙක් වු ඒ වගෙම බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇතිව රජකළ සොලමන් රජුගේ නමින් මේ මුදු රේඛාව නම් කර තිබේ. මේ රේඛාව පිහිටා ඇති අත්ල හිමියන් ගුප්ත විද්‍යා විෂයන්වලට දැඩි ආශාවක් දක්වන අතර එම විද්‍යාවන් ප්‍රගුණ කිරිමටත් එම විෂයන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීමටත් හැකියාව ලැබේ. දාර්ශනික මනසක් ඇති පුද්ගලයන්ගේ අත්ලවල මෙන්ම විනිසුරුවරුන් මනෝවිද්‍යාඥයන් වැනි අයගේ අත්ලවලද මෙම මුදුව බෙහෝවිට දක්නට ලැබේ.

ශනි මුදුව

ශනි මුදුව කලාතුරකින් දැකිය හැකි ලක්ෂණයක් වන අතර මැදඟිල්ල මුල අර්ධ කවාකාරව ශනි මණ්ඩලය මත පිහිටයි. ශනි මුදුව අත්ලක නොපිහිටිය යුතු ලක්ෂණයක් වන අතර බොහෝවිට මැදඟිල්ලේ දෙපැත්තෙන් කෙටි රේඛා වශයෙන් ආරම්භවී ශනි මණ්ඩලය මැදදී සම්බන්ධ නොවි පවතින අවස්ථාවද දකින්න ලැබේ. කෙසේ නමුත් ශනි මුදුව සහිත අත්ල හිමි පුද්ගලයා නිතරම කලකිරුනු ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෙක් වන අතර එකම රැකියාව වැඩිකාලයක් කරන්නේද නැත. දුරදිග නොබලා කටයුතු කරන අතර කිපෙන සුළුබව නිරන්තරයෙන් දකින්න හැකි පුද්ගලයන්ගේ අත්ලේ පිහිටා ඇත.

රවි මුදුව

කලාතුරකින් වෙදඟිල්ල හෙවත් රවි ඇඟිල්ල පාමුල අර්ධ කවාකාර ව පිහිටි රේඛාව රවි මුදුව ලෙස හැඳින්විය හැකිය. රවි මුදුව සහිත අත්ල හිමියා ඉතා වසනාවන්ත පුද්ගලයෙකි. ඉතා ඉහළ සදාචාරාත්මක හැදියාවක් ඔහු සතුවන අතර නිෂ්චිත අරමුණක් කරා සාර්ථකව ගමන් කර ජයග්‍රහණය අත්පත් කර ගැනිමට දක්ෂ වේ. ලස්සනට මොවුන් කැමැතිය. සුඛෝපහෝගි දිවියකට කැමැතිය. නමුත් රවි මුදුව රවි මණ්ඩලය සම්පුර්ණයෙන් ආවරණය කරයි නම් එය බාධකයක් ලෙසද ක්‍රියා කරයි. සෑම දෙයක සුබවාදි පාර්ශ්වය පමණක් බලන ස්වභාවයක් ඇති නිසා නිර්මාණ ශක්තිය අඩු විය හැකිය.

ලබන සතියේ අත්ලේ මණ්ඩල හඳුනා ගනිමු.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.