මල් තබන නිමිත්තෙන් ලෙඩේ සොයන අත්දුටු ඉපැරැණි ක්‍රමවේද

ජනවාරි 19, 2024

 

මෙලොව වෙසෙන සෑම ජීවියෙකුටම කුමන හෝ ලෙඩක් සෑදෙයි. අඩුම තරමේ හිසේ කැක්කුමක් හෝ සෑදෙයි. කායික ලෙඩ හා මානසික ලෙඩ ලෙස රෝග දෙආකාරයි. “සබ්බේ සත්තා උම්මට්ඨිකා” සියලු සත්ත්වයෝ උම්මන්තිකයෝය. බුදුන් වහන්සේ වදාළෝ එයයි. අඩුම තරමේ මානසික ලෙඩක් හෝ ඇත. කායික රෝග බෙහෙත් පෙත්තකින් මර්දනය කරගත හැකි අතර මානසික රෝග සුවපත් කර ගත හැක්කේ තම සිතුවිලි තුළින්මය.

එබැවින් රෝග නිධානය සොයා ගැනීමේ හස්තසාර ක්‍රමයක් පාඨක ඔබ හට නව වසරේ මෙලෙස තිළිණ කරමි.

පහත රාශි චක්‍රය ඡ්‍යොතිෂ ගුප්ත ශාස්ත්‍රානුකූලව තඹ පතක ඇඳ එහි 1 - 12 දක්වා රාශි පිහිටුවා ගන්න. “ඕං රාක්ෂ” යන පහත මන්ත්‍රයෙන් 1008 වර ජප කළ මලක් හෝ පුවක් ගෙඩියක් තුණුරුවන් දෙවියන් සිහිපත් කොට මගේ ලෙඩේ හරියටම හසු වේවායි සිතාගෙන කැමති අංකයක් මත තබා තබන ලද රාශියට අනුව පහත පරිදි පැදි පෙළින් දැක්වෙන අයුරින් ලෙඩේ සොයාගන්න.

හරි හතරැස් තඹ පතක ( තඹ හෝ රිදී අඟල් 4ය4) තහඩුවක ශුභ දිනක, වේලාවක, හෝරාවක ද්විත්ව ඉරෙන් ප්‍රස්තාර කරගෙන මේ රාශි යන්ත්‍රය පුදසුනක තබා නිසි පරිදි පේකොට නිමිති කටයුතු සඳහා භාවිත කරන්න. මා වෙත ඡ්‍යොතිෂ ගුප්ත විද්‍යා කටයුතු සඳහා පැමිණෙන සේවාදායකයන්ගේ රෝග නිධානය නිශ්චිතවම හඳුනාගෙන පිළියම් කිරීමට දීර්ඝ කාලයක සිට භාවිත කරන අත්දුටු ක්‍රමවේදයකි.

 

මල් තබන නිමිති චක්‍රය

මේසය බඩ ලෙඩ ඉඟෙන් පහළ ලෙඩ උණ හෝ ඉස ගිනියන් දන්නේ
පිටි මුසු කැවිලිද කාලා ආ ලෙඩ ගෙවල යකුන් හට යැද පන්නේ
වෘෂභය සුදු කැවිලිද කිරි මුසුකොට කාලා ආ ලෙඩ දැන ගන්නේ
වැදියක් කඩවර දෝසෙට පුදමින් අවුසද කරපන් ගුණ වන්නේ

මිථුනය සුනු සාලේ බත්කිරි සහ කාලා ඉදිමුම් නැති වන්නේ
ඉඟෙන පහළ ලෙඩ ග්‍රහ අපලය සහ වීරමුණ්ඩ දෙවි දොස් වන්නේ
කටකය හිල්බත් බැදුන් ද කාලා බෙල්ලෙන් උඩ ඇස් ලෙඩ වන්නේ
ඊට මහත් දෙවි දෝසෙට නැතිනම් වැදියක් කඩවර පුදමින්නේ

සිංහය දඩමස් පලාද කාලා බඩ හිස පිත දත ලෙඩ දන්නේ
පත්තිනි දේවිගෙ දෝසෙට නැත්නම් අබිමානය යකු පුදමින්නේ
කන්‍යා කටුසර දේවල් කාලා නොයෙක් ව්‍යාධි ලෙඩ පැමිණෙන්නේ
දැඩි මුණ්ඩ දෙවියන් යැදගෙන සකියනි වෙදකම් කරපන් ගුණ වෙන්නේ

තුලාව නිඹුලුද බත් ඇඹුලක් කා උණ හිසරද අරුචිය කියනා
කොසඹ යකුන්ගේ දෝසෙට නැත්නම් ගෙවල යකුන් හට පුද දෙමිනා
වෘශ්චික අන් ගෙදරක බත් කාලා උණ ඉඳිමුන් කැසි ලෙඩ තිබෙනා
ගරා යකුන් යැද ගුණවෙයි නැත්නම් පුළුටු යකුන් පුද ගුණ කරනා

ධනුවද මී මුසු කැවිලිද කාලා උණ ඉසරද බඩ ලෙඩ වන්නේ
පනික්කු යක්කුයි මහ දෙවි දෝෂයි උන් හට යැදපන් ගුණවන්නේ
මකරය හිල්බත් අනුන්ගෙ ගේකින් කාලා බඩ ලෙඩයයි දන්නේ
රජ්ජුරු දෙවියන් දෝෂයි දැනගෙන පාට වතක් පුදනුය සොඳිනේ

කුම්භය සුනු සාලේ බත් සමඟින් පලාද කාලා ලෙඩ වන්නේ
බඩ ලෙඩ හිසරද පිත් අදිකේ ලෙඩ අබිමානය යැද ගුණ ගන්නේ
මීනය කුඩ මැස්සන් කාලා උණ ඉසරද ලෙඩ බව දැනගන්නේ
කොහොඹා යක් දෝෂය වත් නියතය නැතහොත් පනික්කු යකු වන්නේ


ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී ගුප්ත විද්‍යා ශාස්ත්‍රවේදී
කොත්මලේ නාරද ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.