ලංකාවෙන් මිල කළ නොහැකි මැණික් මතුවන සමයක්

ජනවාරි 12, 2024

එළැඹුණු 2024 වසරේ තත්කාල සටහනට අනුව ලග්නාධිපති ගුරු පස්වැන්නේ සිටින අතර, පස්වැන්නාධිපති ලග්නයේ යෙදී පස්වැන්න හා ලග්නය අතර මහා පරිවර්තන යෝගයක් තනයි.

රවි සඳු කුජ එකිනෙකාගෙන් ත්‍රිකෝණගතව උදාවන ත්‍රිලෝචන ග්‍රහයෝග බලයද මෙහි විද්‍යමාන වේ. යෝග රැසකින් උදාවන අතර, මෙකී යෝගවලින් පෙර පින් බලය කීර්තිය, විද්වතුන් බිහිවීම, හදිසි ධන ලාභ යන මෙකී කරුණු නිරූපණය වේ.

කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු වක්‍රයෙන් මිදී ඉදිරියට ගමන් ගනී.

සෙනසුරුගෙන් නීල මාණික්‍ය පිළිබඳ කියවෙන අතර, ශ්‍රී ලංකා ධරණි තලයෙන් මිල කළ නොහැකි මැණික් මතුවේ. ත්‍රිලෝචන යෝග බලයෙන් ද ධන සම්පත් පිළිබඳ කියවෙන නිසා ධන සම්පත් විදේශවලින් ද ගලා එනු ඇත.

ගුරු පස්වැන්නේ බලවත් නිසා ලෝක පූජිත උගතුන් වයස් භේදයකින් තොරව අප රටෙන් ද පහළ වේ. යුද සේනාධිපති කුජ නොහොත් අඟහරු උදා ලග්නයේ සභා අවස්ථාවේ පසුවන නිසා ආරක්ෂක අංශය ක්‍රියාශීලිව කටයුතු කරන බව පෙනේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද නව වාර්තා තබමින් ඉදිරියට යන අතර, පුද සත්කාර සම්මාන ලබයි.

යුරේනස් වැනි පාප ග්‍රහයින් මෙකී අවස්ථාවේ වැඩි යුද ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබන නිසා ද කම්කරු ජනතාව නියෝජනය කරන සෙනසුරු වසරේ යුද ජයග්‍රහණ වැඩි ප්‍රතිශතයක් පරාජය වීම නිසා ද කම්කරු අසහන වියවුල් අරගල මෙන්ම, මුහුදු කුණාටු, සුනාමි, ජල විපත්, සුළි සුළං, ජල උල්පත් සිඳීයන තරමේ දැඩි නියඟයද අප රටේ මෙන්ම ලොව දස අතින් දකින්නට, අසන්නට ලැබේ. වසංගත රෝග ද හිස ඔසවයි.

මේෂ, කන්‍යා, ධනු, මකර, වෘෂභ ලග්නවලට ශුභ ඵල සහිත වුවද සඳු, මකර, කුම්භ, මීන රාශිවල උපතේ දී ගමන් ගත් අයට මේ ශුභ ඵල යම් ප්‍රමාණයකින් හීන විය හැකිය.

 

 

කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත

සාම විනිසුරු

උඩදුම්බර මිනිපේ

ප්‍රධාන අධිකරණය සංඝ නායක

කුඹල්ගමුවේ ධම්මාලංකාර හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.