උපන් දිනයෙන් පමණක් විස්මිත අනාවැකි කිව හැකි ඉන්දීය භිර්ගුනන්දන නාඩි ක්‍රමය

ජනවාරි 12, 2024

සරල ලෙස ඡ්‍යොතිෂය හදාරමින් සුළු ඡ්‍යොතිෂ දැනුමක් පවතින කෙනෙකුට පවා පුද්ගලයාට මෙන්ම ලෝකයටම වුවත් අනාවැකි කිව හැකි පුදුමාකාර විස්මිත ශක්තියක් අඩංගු ක්‍රමවේදයකි,”ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත” ක්‍රමවේදය.

“ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රය” තුළ ගැබ්වුණ ප්‍රබල විශේෂත්වය වන්නේ මනුෂ්‍යයා කාලීන වශයෙන් බලාපොරොත්තු වන පෞද්ගලික ඡ්‍යොතිෂ පලාපල විචාරය දැනට භාවිත වන කිසිදු පුද්ගල ජන්ම පත්‍රයක් ප්‍රයෝජනයට නොගෙන ප්‍රකාශ කිරීමේ හැකියාවක් පැවතීමය.

ඒ අනුව “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර” සම්ප්‍රදාය භාවිත කරනු ලබන ශාස්ත්‍රඥයන් දස දෙනෙකු ළඟට ගියත් සේවාදායකයාට එම සියලු දෙනාගෙන්ම ලැබෙනුයේ එකම ඡ්‍යොතිෂ පලාපලයක් වීම නිසා ඡ්‍යොතිෂය මෙන්ම ශාස්ත්‍රඥයා කෙරෙහි පවතින විශ්වාසය තහවුරු වීමද සිදු කෙරෙනු ලබන්නේ ය.

ඕනෑම කෙනෙකුට මෙසේ “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්” ඔස්සේ විස්මිත අනාවැකි ගෙන එනු ලබන්නේ එකී පුද්ගලයා ජන්ම ලාභය ලැබූ දිනය පමණක්ම පාදක කර ගෙන වීම මෙහි පවතින ප්‍රබල විශේෂත්වය වන්නේ ය.

මෙවැනි ලිපි පෙළක් “සුබසෙත” පුවත් පත ඔස්සේ ඉදිරිපත් කරනු ලබන මොහොතේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ දී ඉන්දීය සෘර්ගු නන්දන නාඩි සූත්‍රය වෙතට පර්යේෂණාත්මකව මා මෙහෙයවූ ආදරබර ගුරුපියාණන් වන අතුල මංචනායක ශූරීන් සිහිපත් කළ යුතුªමය.

නාඩි සම්ප්‍රදායන් මහා භාරතයේ ඇරඹී ඇති අතර එකී මූල ධර්ම ග්‍රන්ථයන් දෙමළ, තෙළිඟු, මලයාල, කණ්ණාඩ වැනි භාෂාවලින් සැකසී ඇත.

භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත පිළිබඳ සංස්කෘත ශ්ලෝක 8000ක් පමණ ඇත. එකී මුල්ම අත්පිටපත දැනට දකුණු ඉන්දියාවේ අඩයාර්හි ඇති පුස්තකාලයේ ප්‍රදර්ශනය සඳහා සුරක්ෂිතව පවතී.

ඉන්දියාවේ නාඩි ගුරු කුල විස්සකටත් අධික ප්‍රමාණයක් ඇත. ඒ පිළිබඳව සලකා බලනවා නම් වශයෙන් නාඩි කිහිපයක් සඳහන් කළ යුතුව පවතී.

භිර්ගු නන්දන නාඩිය, දේව කේරළම් නාඩිය, ගුරු නාඩිය, සප්ත ඝෘෂි නාඩිය, අගස්ති නාඩිය, කුමාර නාඩිය, බුධ නාඩිය, නව නාඩිය, නන්දි නාඩිය, කුජ නාඩිය, සූර්ය නාඩිය, ගර්ග නාඩිය, කාකක කුජන්දර නාඩිය, සත්‍ය නාඩිය, කපිල නාඩිය, සුබ නාඩිය, ඊශ්වර නාඩිය, භාර්ගව නාඩිය, ශනි නාඩිය, බ්‍රැව නාඩිය යනු ඉන් සමහරකි.

“භිර්ගු නන්දන නාඩි සූත්‍රය” සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇත. ඉන්දීය පඬිවරුන් වන ආර්.ජී.රාවෝ සහ කේ.ඒ. රාවෝ යන පඬිවරුන් එය ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත. එකී ඉංගී‍්‍රසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කර භාවිතා කිරීමද කැලණිය විශ්වවිද්‍යාලය තුළදී ද ඉගැන්වීම පිණිස අතුල මංචනායක ගත් කතුවරයා මහත් වෙහෙසක් ගන්නා ලදී.

පුද්ගලයාට ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රයෙන් පලාපල පැවසීම සඳහා ලග්නයක්, නවාංශකයක්, උපත ලැබූ නැකතක්, දශා ශේෂයක්, දැනට පවතින දශාවන් ආදී කිසිදු දත්තයක් අවශ්‍ය වන්නේ නැත.

එසේ නම් අවශ්‍ය වනුයේ උපන් දිනයට අදාළ ග්‍රහ ගෝචර ශක්තිය පමණකි. එයද සටහන් කර ගනු ලබන්නේ “මීනාදී දක්ෂිණාවක උත්පත්ති ග්‍රහ සටහන් කුණ්ඩලියකය. එකී කුණ්ඩලිය පහත සඳහන් කරනු ලබන්නේ ය. භාවිතය සඳහා එය අධ්‍යයනය කළ හැකිය.

මෙය තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා කෙනෙකුගේ උත්පත්ති දින ග්‍රහ ගෝචර සටහනක් යොදාගත හැකිය. ඒ අනුව උදාහරණයක් වශයෙන් 2024 ජනවාරි 01 වෙනිදා උපත ලැබූ කෙනෙකුගේ උත්පත්ති ජන්ම දින ග්‍රහ කුණ්ඩලි සටහන පහත සඳහන් පරිදි වෙයි.

මෙදින රාහු මීනයේ ය. ගුරු මේෂයේය. සඳු සිංහයේය. කේතු කන්‍යාවේ ය. ශුක්‍ර, බුධ, වෘශ්චිකයේ ය. කුජ, රවි ධනුවේ ය. ශනි කුම්භයේ ය.

අංක 01 දරන රූප සටහනට අනුව අංක 02 දරන රූප සටහනෙහි ග්‍රහයින් තැන්පත් කර ඇත. මෙම පිහිටීම් අධ්‍යයනය කරන්න.

ඊළඟ ලිපිවලදී රූප සටහන්වලට අංක ලබාදීමේ දී අංක 01 රූප සටහනෙහි සිට ඉදිරියට අංක ලබා දෙමින් පැහැදිලි කිරීම් සිදු කරන නිසා “සුබසෙත” මෙම ලිපි මාලාව එකතු කරගෙන ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්‍රදාය හඳුනා ගන්න.

මතු සම්බන්ධයි

 

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.