දරුපල ගැන කියන අත්ලේ රේඛා

දෙසැම්බර් 29, 2023

මිනිස් ජිවියේ පැවත්ම උදෙසා විවාහය මෙන්ම විවාහයෙන් පසු දරුවන් බිහි කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේම විවාහයේදී සැමියා බිරිඳ එක්තැන් කරන පුරුක වන්නේ ද දරුවන්ය. එම නිසා හස්ත රේඛා පරික්ෂාවක දී දරු සම්පත් ගැන විශ්ලේෂණය කර ගැනීම සඳහා දරු පල රේඛා ඉතා වැදගත් වේ. මෙහිදී අත්ලක සිකුරු මණ්ඩලය ද දරුපල සම්බන්ධව දැනගැනීමට ඉතාම වැදගත් සාධකයක් බව අමතක කළ නොහැකිය. තවත් කාරණයක් වන්නේ දරුපල රේඛා මනාව ප්‍රදර්ශනය වන්නේ ස්ත්‍රීන්ගේ අත්ල මතය.

පුරුෂයන්ගේ අත්ල මත ද දරුපල රේඛා ප්‍රදර්ශනය වුවත් එම රේඛාවලින් එතරම් නිශ්චිත නිගමනයන්ට එළැඹීමට හැකියාවක් නොමැත. ගැබ් ගැනීමේ පටන් දරු ප්‍රසූතිය

දක්වා ස්ත්‍රිය උසුලන වගකීම විශාල බැවින් ස්ත්‍රියකගේ අත්ලේ දැක්වෙන දරුපල රේඛා ජිවිතයට එක එල්ලේ සම්බන්ධ වූ රේඛා බවට පත් වේ.

පුද්ගලයකුගේ අත්ලේ බන්ධන රේඛා හෙවත් විවාහ රේඛාවල උඩු අතට පිහිටි ඉතා සියුම් රේඛාවලින් දරු සම්පත් සම්බන්ධව කියැ වේ. එසේම බුධ ඇගිල්ලේ පාමුල සිට පහත බන්ධන රේඛාවට ද මේ කුඩා කේෂික රේඛා විහිදේ. කෙසේ නමුත් දරුපල රේඛාවල ස්වභාවය අනුව ලිංග භේදයද, ශක්තිමත් දරුවන් ද දුර්වල දරුවන්ද ආදි කරුණු ද තහවුරුගත හැකිය. පළල රේඛාවලින් පිරිමි දරුවන්ද සියුම් රේඛාවලින් ගැහැනු දරුවන්ද පෙන්වන අතර මේ රේඛා පැහැදිලිතාවය ප්‍රබලතාවය මත ශක්තිමත් දරුවන්ද දුර්වල දරුවන්ද හඳුනාගත හැකිය. ඒ අනුව රේඛාව ප්‍රබලව සෘජුව පිහිටා ඇත්නම් ශක්තිමත් දරුවන්ද අපැහැදිලි වක ගැසුණු රැලි ගැසුණු රේඛාවලින් දුර්වල දරුවන්ද හඳුනාගත හැකිය. එසේම මේ රේඛාවල දූපත් කළු ලප තරු සලකුණු ආදි වු ලක්ෂණවලින් දුර්වල දරුවන් හඳුනාගත හැකිය. එසේම එක ලඟ ප්‍රබල රේඛා දෙකක් ඇත්නම් නිවුන් දරුවන් බලාපොරොත්තු විය හැකිය.

ගැඹුරු දිග දරුපල රේඛා පිහිටා තිබෙන කල ලැබෙන දරුවෝ නිරෝගී වසනාවන්ත අය වෙති. දරුපල රේඛාවන් දුපත් ලක්ෂණයකින් ආරම්භ වි තිබෙනම් රෝගී භාවය නිසා දරුවා මහත් පරිශ්‍රමයකින් ඇති දැඩි කළ යුතුය. මේ රේඛා මඟින් විවාහ රේඛාව කැපී ගොස් හෘද රේඛාව මතට වැටි තිබේනම් මව හෝ පියා විනාශ වන තත්ත්වයක් බව පෙන්නුම් කෙරේ. දරු පල රේඛා මත තාරුකා ලක්ෂණ පියාට අහිතකර පිහිටිමකි.

දරුපල රේඛා ත්‍රිශූල ලක්ෂණයකින් අවසන් වන්නේ නම් දරුවන් සමාජයේ උසස් තත්වයකට පත් වනු ඇත. මේ රේඛා මැදින් කැඩි බිඳී ගොස් තිබේ නම් දරුවන් අකල් මරණයට පත් විය හැකිය. බුධ ඇගිල්ල දෙසට නොවැටි විවාහ රේඛාවේ පහතින් පටන්ගෙන හෘද රේඛාව දෙසට දරුපල රේඛා වැටී තිබේ නම් ගබ්සාවීම් සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

එමෙන්ම මේ රේඛා මත කලු තිත් වැටිම නිසා අංග විකල දරුවන් ලබන බව මෙන්ම ස්ත්‍රී අත්ලක බන්ධන රේඛාවලට ඉහළින් කතිරයක් ඇතිනම් ගබ්සාවීම් සිදුවිය හැකි බවද ප්‍රකාශ වේ. එසේම ජීවන රේඛාව මඟින් සිකුරු මණ්ඩලය කුඩා වීමද ශීර්ෂ රේඛාව සහ සුව රේඛාව කැපෙන තැන කතිරයක් පිහිටිමද පළමු මනි බන්ධන රේඛාවේ මධ්‍ය අත්ල දෙසට නැවීම වැනි ලක්ෂණයන්ද වඳභාවයේ ලක්ෂණයන් වේ. එසේම අත්ලේ ශීර්ෂ රේඛාවත් හෘද රේඛාවත් අතර ඇති කුජ මණ්ඩලය මත දරු පල රේඛා පෙන්වන අතර රේඛා ගණන් කරන්නේ හෘද රේඛාවේ සිට ශීර්ෂ රේඛාව දෙසටය. තවද සුලැඟිල්ලේ මැද පුරුකේ මැද සහ මැදැඟිල්ලේ මැද පුරුකේ වැටෙන රේඛා ද දරුපල රේඛා විශේෂයකි. මේවා ගණන් කරන්නේ වම් පස සිට දකුණයටය.

විවාහ ජිවිතයට පා නොතැබු අයගේ අත්ලේ පවා දරුපල රේඛා ප්‍රදර්ශනය වේ. දරුවන් බිහි කිරිමට තමා තුළ තිබෙන ආශාවන් අන්‍යයන්ගේ දරුවන් හෝ හා වඩා ගන්නා දරුවන් වෙනුවෙන් තමා දක්වන ඇල්මක් හේතු කොට ගෙන මේ රේඛා වැටි තිබේ.

විවාහ ජිවිතයට තිබෙන ඇල්ම හේතුකරගෙන මේ රේඛා වැටී තිබෙන අවස්ථා ද දැකිය හැකිය.

බ්‍රහ්මචාරි ජිවිත ගත කරන එවැනි අයගේ අත්ලේ වැටෙන රේඛා මඟින් පෙන්නුම් කරන්නේ තමාගේ භාරයේ ඇතිදැඩි වන ගෝලයන් පිළිබඳවයි. සමහර අවස්ථාවල වඳභාවයෙන් පසුවන ස්ත්‍රි පුරුෂයන්ගේ අත්ලෙහි ද දරුපල රේඛා වැටී තිබෙන අවස්ථා දැකිය හැකිය. වඳභාවයට පත්වන්නේ ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ ම හෝ එක් කෙනකුගේ ජිව විද්‍යාත්මක දුර්වලතාවයක් හේතු කර ගෙනය. වඳභාවයට පත්වන අයගේ සිකුරු හා කුජ මණ්ඩල විකෘති වී තිබීම එයට උදාහරණ වේ. මේ අතරම බුධ මණ්ඩලයේ සිට මැණික් කටුව දක්වා දකුණු අත්ලේ නම් වම් පස පිට දාරයේ තිරස්ව පිහිටි රේඛා සංඛ්‍යාව මඟින් අත්ල හිමි පුද්ගලයා සමඟ එකම වහලක් යට ජිවත් වන පිරිස සංඛාත්මකව සොයාගත හැකිය. රේඛා විශාල සංඛ්‍යාවක් ඇත්නම් විශාල සාමාජික සංඛ්‍යාවකින් යුත් පවුලකින් පැවැත එන බව ද රේඛා ස්වල්පයක් නම් කුඩා සාමාජික සංඛ්‍යාවකින් පැවැත එන පුද්ගලයෙකු වශයෙන්ද හඳුනාගත හැකිය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.