දැන උගත් ශාස්ත්‍රයෙන් සමාජයට සේවය කරන ඡ්‍යොතිෂවේදියා යසපාල දික්මාදුගොඩ

දෙසැම්බර් 15, 2023

උපත

1947 වසරේ ජනවාරි 08 වැනිදා උපත ලද යසපාල දික්මාදුගොඩ මහතා මූලික අධ්‍යාපනය සඳහා මව්පියන් ඇතුළත් කරන්නේ තෙලිජ්ජවිල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයටය. මූලික අධ්‍යාපනය සාර්ථකව නිම කරන කුඩා යසපාලට පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමත් සමඟ තම ගම් පෙදෙසින් පිටවන්නට සිදු වන්නේය. ඒ තම ද්විතීක අධ්‍යාපනය වෙනුවෙනි.

ගාල්ල කතළුව මහා විද්‍යාලයට ඇතුළත් වන ඔහු පසුව ගාල්ල කරන්දෙනිය මාධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන්නේය. පාසල් වියේ සිටම ගණිතය හා විද්‍යා විෂයන් කෙරෙහි ඔහු තුළ වූයේ දක්ෂතාවයකි.

මෙම විදුහල්වලින් පිළිවෙළින් තම ද්විතීයික අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කරන ඔහු උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වන්නේය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට නොයා වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙනට තරුණ යසපාල තීරණය කරන්නේ තමා දැන උගත් ගණිත හා විද්‍යා විෂයන්ගෙන් ඉදිරියට යනු පිණිසය. යසපාල මහතා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විකිරණ ශිල්පී විද්‍යාවත්, විකිරණ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවත්, ලන්ඩන් විකිරණ තාක්ෂණ විද්‍යාලයෙන් විකිරණ තාක්ෂණය පිළිබඳව ඩිප්ලෝමාවත් ලබා ගන්නේ වෘත්තීය අධ්‍යාපනය සාර්ථක කර ගනිමිණි.

මේ කාලය තුළ ද ඔහු තමා දැන සිටි ගණිත ශාස්ත්‍රය හා විද්‍යාව යන විෂයයන් නිසාම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කෙරෙහි බලවත් ආසාවක් කැමැත්තක් ඔහු තුළ පැළපදියම් වී තිබිණි. මෙනිසා ඡ්‍යොතිෂය පිළිබඳ පොත පත පරීශීලනයට නිතර ඔහු උනන්දු විය.

මේ අතරතුර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විකිරණ තාක්ෂණවේදියකු වශයෙන් තමාගේ වෘත්තීමය රැකියාව සේවයක් ලෙස ආරම්භ කරන්නට මොහු වාසනාවන්ත වන්නේය.

ඒ අනුව කොළඹ මහ රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් රෝහල, අංගොඩ මානසික රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල, කොළඹ දන්තායතනය ආදී රෝහල්වල විකිරණ තාක්ෂණවේදියකු වශයෙන් අගනා සේවයක් කර නැවත කොළඹ මහ රෝහලේ ස්නායු වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කරන්නට ඔහු කටයුතු කරන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන්ද ජනතාවට සේවය කරමිනි.

විවාහය

1972.12.31 දින තම දිවියේ සුවිශේෂී කාල පරිච්ජේදයක් ආරම්භ කරන්නට ඔහු සමත් වන්නේ කෝට්ටේ බැද්දගානේ කමලා සිරිවර්ධන මෙනෙවිය සමඟ විවාහවීමෙනි. මේ වන විට ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. මාලක හා දිනේෂ් පුතුන් දෙදෙනා සමඟ බැද්දගානේ පදිංචි වී සිටින අතර 1979.06.11 දින යසපාල මහතා විදෙස් ගත වන්නේ කුවේට් දේශය බලායි. පසුව තම ආදරණීය බිරිඳ හා දරු දෙදෙනාද තමා සේවය කළ කුවේට් රටට ගෙන්වා ගන්නා ලද්දේය.

මේ කාල සීමාවේදී ඔහු තුළ පැවැති ඡ්‍යොතිෂ ගාස්ත්‍රය පිළිබඳ ආසාව අත්නොහැරියේය. කුවේට්හි අල්සතා රෝහලේ වසර 8ක් පමණ විකිරණ තාක්ෂණවේදීයකු වශයෙන් සේවය කරන සමයේද ඡ්‍යොතිෂ පොත පත පරිශිලනය කළේය.

මොහු එහිදී උපන් බාල දියණිය ශාමලී දියණිය ද සමඟ නැවත දිවයිනට පැමිණ යළිත් රජයේ සේවයට එක්විය. එතැන් පටන් වසර 15ක් පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විකිරණ තාක්ෂණවේදියකු වශයෙන් සේවය කරන අතර තුර ඡ්‍යොතිෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගන්නට කටයුතු කළේය.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට පිවිසීම

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී සැම්සන් එදිරිසිංහ මහතාගෙන් ඡ්‍යොතිෂයේ ‘අ’ යන්න කියැවූ යසපාල මහතා තම දැනුම පරිණත කිරීම සඳහා කේ.ඩී.සී අතුකෝරල ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියාගෙන්ද ඡ්‍යොතිෂය හදාරා අනතුරුව පියසේන රතුවිතාන ඡ්‍යොතිර්විද්‍යා පීඨයට ඇතුළුවී පූර්ණකාලීනව ඡ්‍යොතිෂය පිළිබඳව පර්යේෂණ කරන ලදී.

ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර, ඡ්‍යොතිෂ නන්දන, සුබසෙත උසස් ඡ්‍යොතිෂ ඩිප්ලෝමා ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඒ මහතා ශ්‍රී ලංකා ඡ්‍යොතිෂ සංගමයේද ක්‍රියාකාරි සාමාජිකයෙකි.

සුබසෙතට 50 වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සම්මාන උලළේදී “ඡ්‍යොතිෂ ගෞරව අභිමානී” නම් වූ ගෞරව සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.

හස්ත රේඛා දැනුම

ප්‍රවීණ හස්ත රේඛා ශාස්ත්‍රඥයෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලන ඒ මහතා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා සුබසෙත මඟින් සංවිධාන කරනු ලබන සියලුම ප්‍රාදේශීය ඡ්‍යොතිෂ සායනයන්ට තම සේවාදායකත්වය නොඅඩුව සැපයූවේය. සේවා ඇගයීමක් වශයෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් ඇගයීම් සහිතකයක්ද පිරිනමන ලදී.

එසේම 2013 වසරේදී පවත්වන ලද ඡ්‍යොතිර්විද්‍යා “ඡ්‍යොතිෂපති” සම්මාන උලළේදී එවකට කථානායකව සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ සුරතින් ඡ්‍යොතිෂපති විශිෂ්ට සම්මානයෙන්ද පිදුම් ලබන ලද්දේය.

දැනටද ක්‍රියාකාරීව ඡ්‍යොතිෂ සේවයේ යෙදී සිටින යසපාල දික්මාදුගොඩ මහතා පදිංචිව සිටිනුයේ අංක 72, බැද්දගාන පාර උතුර, පිටකෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයේය.

ඡ්‍යොතිෂ ලේඛකයකු වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලන ඒ මහතා සුබසෙත ඇතුළු ඡ්‍යොතිෂ පුවත්පත්වලට විශේෂාංග ලිපි මඟින් තම සේවා දායකත්වය ලබා දෙන්නේය.

කුඩා කල සිටම චිත්‍ර ශිල්පය කෙරෙහිද විශේෂ දස්කම් පෙන්වන ලද යසපාලයන් ප්‍රාදේශීය තරගවලින්ද තම දස්කම් පෙන්වා ඇත. පාසල් අවදියේදී කලා සංගම්වල ද විශේෂ නිලතල දරමින් අන්තර් පාසල් කථික තරගවලටද ඉදිරිපත්ව ජයග්‍රහණ ලබා ඇත.

සමාජ සේවා කටයුතු, සමාජ සුබසාධන කටයුතු මෙන්ම ආගමික හා කලා කටයුතු කෙරෙහිද මහත් උනන්දුවෙන් තම කාලය මිඩංගු කරන යසපාල දික්මාදුගොඩ මහතා, ඡ්‍යොතිර්වේදියෙකු වශයෙන් තම සේවස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට නොමිලේ ඡ්‍යොතිෂමය උපදෙස් දීමෙන් ද ප්‍රසාදයට ලක්වී සිටියේය. අද ද ඔහු සිදුකරන සේවය අගය කළ යුතුය. සමාජයට වැඩදායී ලෙස තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඔහු හසුරු වන්නේ සමස්ත ඡ්‍යොතිෂවේදිනට ද ආදර්ශයක් ලබා දෙමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.