යහපත් දරුවන් හිමිවන ග්‍රහයෝග

දෙසැම්බර් 8, 2023

 

දරුවන් යහමඟට යොමු කිරීමේදී පළමුව මවුපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුය. මෙහිදී පියාට වඩා වැඩි වගකීමක් මවක තුළ තිබිය යුතුය. එසේ නම් මවගේ ගතිගුණ වඩා වැදගත් විය යුතුය. මවගේ කේන්දරයේ කුජ ග්‍රහයා සතුරු වී පීඩාවට පත්ව පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝගවලට ලක්වී හතරවැන්නේ සිටියේ නම් ඇය දරදඬු දුෂ්ට සිත් ඇත්තියකි. එමෙන්ම කේන්දරයේ සිත ගැන කියන්නේ හතරවැන්නයි. මේනිසා හැමවිට කෝප සහගතවන අන් අය සමඟ අඬදබර ඇතිකර ගන්නා තැනැත්තියට විනීත කීකරු දරුවකු පාලනය කර ගැනීම කොහෙත්ම කළ නොහැකිය.

මවගේ කේන්දරයේ මවු කාරක වන චන්ද්‍රයා නීච වී පාප පීඩිතව පාප දෘෂ්ටි සහිතව සිටියේ නම් ඇය දූෂිත සිතිවිලිවලින් යුතු මුදු මොලොක් ගතියක් නැති හොඳ, නරක නාඳුනන තැනැත්තියක් වෙයි. එවැනි අයගේ පියයුරු පවා වර්ධනය නොවන අතර ඇය ලබන දරුවන්ද මුරණ්ඩු වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය, ආදරය, බුද්ධිය ගැන සොයා බලනුයේ කේන්දරයේ පස් වැන්නෙනි. එහෙයින් පස්වැන්නෙහි අසුභ ග්‍රහයින් සිටීම පාප දෘෂ්ටිවලින් පස්වැන්න දූෂ්‍යවීම නිසා එම තැනැත්තාට දූ දරුවන් නිසා කරදර ඇති කරයි. සඳු, සිකුරු යන ග්‍රහයින් ස්ත්‍රීකාරක ග්‍රහයන් ලෙස සැලකේ. සඳු, සිකුරු පස්වැන්නේ යෝගව සිටියදී පස්වැන්න අධිපති ස්ත්‍රී රාශියක සිටි විට එය ගැහැනු දරුවන් අධිකව ලැබීමට හේතු වේ. පුත්‍රකාරක වශයෙන් සලකනුයේ ගුරු පසුවැන්නේ සිටීම හෝ නමවැන්නේ සිට පස්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ටි හෙලීම පිරිමි දරුවන් වැඩිපුර ලැබීමට හේතුවක් වෙයි.

යහපත් දරුවන් ලබාදීමට දෙමාපියන්ගේ කේන්දරවල පස්වැන්න ප්‍රධාන වෙයි. පහ අධිපති බලවත්ව පිහිටීම, ශුභව ස්ථානගතවීම උපන් ලග්නයට ශුභයකුගේ නැකතක ගමන් කිරීම, පස්වැන්න ෂඩ් වර්ගයෙන් බලවත්වීම ආදියෙන් යහපත් වූ විට ද රටට දැයට වැඩ ඇති වාසනාවන්ත දරුවන් හිමිවෙයි.

උගත් වැදගත් සමාජයේ ගෞරවණීය ලෙස ජීවත් වන දෙමාපියන්ගේ දරුවන්ද ඇතැම් විට දෙමාපියන් මුළා කරගෙන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නොයෙකුත් දුරාචාරයන්ට යොමුවීම ආදියට වරදකරුවන් වූ අවස්ථාද අපිට කොතෙකුත් දැකිය හැකිය. එවන් මාපියන් තම ජීවිතයේ බොහෝ බලාපොරොත්තු නිෂ්ඵල කර ගන්නේ කලකිරීමෙන් යුතුවයි. එසේ වන්නේ පස්වැන්න හෝ පහ අධිපතියා පාප පීඩිත වීම නිසාවෙනි.

පස්වැන්න අධිපතියා නම වෙනි රාශියේත්, නමවැන්න අධිපතියා පස්වෙනි රාශියෙන් පිහිටා උසස් පරිවර්තන යෝගයක් ඇත්නම් එය ගුණවත්, බලවත්, නැණවත් වාසනාවන්ත දරුවන් හිමිවන ප්‍රබල පිහිටීමකි. මේ අයුරින් ග්‍රහ පිහිටීම් ඇතිව උපන්නත් ජීවිතයේ සියලු සිතුම් පැතුම් නිසි කලට ඉටු කරගන්නේ මෙවැනි දරුවන්ගේ මාපියන් ජීවිතයේ අවසන් කාලය දරුවන්ගේ ආදරය, සැලකිල්ල ලබමින් දරුවන්ගේ දියුණුව දැකීමට හැකි භාග්‍යවන්තයෝ වෙති. මීන ලග්නයෙන් උපන් අය කුජට ශුභ දෘෂ්ටි ලබා පිහිටා තිබීම වැදගත්ය.

පහ අධිපතියා හතට ගොස් ඇත්තේ නම් ද දෙමාපියන්ට සලකන ගුණවත් දරුවන් හිමිවීමකි. මේෂ, තුලා ලග්නවලදී රවි, ශනි, නීච භංගවීමද සතුරු නොවීමද වැදගත්ය. පහ අධිපතියා දහයේ නම් ද ඉතා තේජාන්විත උගත්කමක් ලැබූ ගුණවත් දරුවෝ හිමිවෙති.

වාසනාව ගැන කියැවෙන්නේ නමවෙනි භාවයෙනි. නමවැන්නාධිපති පස්වැන්නේ සිටීම සහ අධිපති සමඟ සංයෝගවීම හෝ නමය අධිපති සමඟ රාශි මාරු කරගෙන සිටීම ද වාසනාවන්ත ගුණයෙන් පිරිපුන් දරුවන් ලැබීමට හේතුවෙයි. සෙනසුරු ග්‍රහයා පස්වැන්නේ සිටි කල ලැබෙන දරුවන් එතරම් ලස්සන කීකරු දරුවෝ නොවෙති. රවි පස්වැන්නේ සිටි විට ආඩම්බර ගති ඇති දරුවන් ලැබීමට හේතුවන අතර රාහු පස්වැන්නේ සිටි කල එම යෝගය අධාපනයට යහපත් නොවන අතර, එය පුද්ගලයා බුද්ධිමතෙකු කිරීමටද හේතු නොවේ. කේතු හකුළුවන ග්‍රහයා බැවින් පස්වැන්නේ කේතු සිටි විට ජන්මියා දේපළ හීන අයෙකු කරයි. නමුත් ලැබෙන දරුවා ලස්සන රුව ඇති දියණියක වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

කුජ ග්‍රහයා පස්වැන්නේ සිටි විට එම අයට ලැබෙන දරුවන් ගුණගරුක නොවේ. දරුණු ගති ඇති අය වේ. මෙය දෙමාපියන්ගේ කේන්දරවල දරුවන්ට අපල ගෙන දෙන ග්‍රහ යෝගයක් ලෙස හැඳින්වෙයි. කේන්දරයේ පස්වැන්න අධිපතියා හයවැන්නේ සිටියේ නම් හයවැන්න සතුරු ස්ථානයක් බැවින් තම දරුවන් තමාට ද සතුරුවීමට පුළුවන. එසේ නැති නම් දරුවන් රෝගීන් වීමටද ඉඩ ඇත. පහ අධිපතියා අටවැන්නේ සිටීමද අට අධිපතියා පස්වැන්නේ සිටීමද දරුවන් විපත් කරදරවලට ගොදුරු වන පිහිටීමකි.

දහය අධිපති පස්වැන්නේ නම් යහපත් දරුවන් ලබා ඔවුන් දියුණු වී උසස් ජීවිත ගත කරන අයුරු දැක සතුටුවීමේ භාග්‍යය උදාවෙයි. දහය අධිපතිගේ බල දුබලතාව මත දරුවන්ගේ උසස්කම රඳා පවතී.

එකොළොස් වැන්නාධිපති හතරවැන්නේ පිහිටීමෙන් ඉතා ධනවත්භාවයට පත් වී දරුවන්ද උගත් අයකොට සමාජයට වැඩදායක පුද්ගලයන් කිරීමේ භාග්‍යය දෙමාපියන්ට හිමිවේ. පහ අධිපතියා අයස්ථානයේ නම් ද උසස් දරුවෝ හිමි වෙති. ධනවත් බලවත් එම දරුවන් ආදර්ශමත් සමාජ සේවයේ යෙදෙන අය වෙති.

ඔබ උපදින මොහොතේ පස්වැන්න අධිපතියා හයවැන්නේ නම් එතරම් ශුභ නොවේ. ඉගෙනීමට බොහෝ බාධක ගෙන දෙන අතර මන්දගාමී අධ්‍යාපන ගමනක යෙදේ. දරුවන් පිළිබඳ උසස් දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.

ඔබේ කේන්දරයේ පහ අධිපතියා අටවැන්නේ නම් නිතරම දරුවන් පිළිබඳ දුකෙන් කල් ගෙවන්නට සිදුවේ. යට ගිය අතීතය යළි යළි සිහිකරමින් දුක්වීමට හේතුවෙයි.

කේන්දරයේ පස්වැන්න අධිපතියා දහවැන්නේ වීම ද ඉගෙනීමට හොඳ පිහිටීමකි. උගත්කම මුල්කරගෙන කරන කටයුතුවලින් දියුණුවට පත්වන අයෙකු වෙයි. උද්‍යෝගිමත් නැණවත්, බලවත් දරුවන් ලබන්නට මෙය හොඳ පිහිටීමකි. සැප විඳීමටත්, විනෝදයෙන් කල් ගෙවීමටත් වරම් ලබන මෙවැන්නෝ සියලු දේ ක්‍රමානුකූලව කරන බැවින් හැම විටම ජයග්‍රහණය ලබති. පහ අධිපති දොළොසේ නම් ශුභඵල නොවේ. තම ධනය නිතරම දරුවන් වෙනුවෙන් වැය කරන්නට සිදු වුවත් දරුවන්ගේ දියුණුව මන්දගාමී ලෙසිනි. ඉගෙනීමට දක්ෂකමක් නොදක්වන මොවුන් දෙමාපියන්ට ද කීකරු නොවේ.

මේ සියල්ල අනෙකුත් ග්‍රහ බලපෑම් මත වෙනස් වීමට ද ඉඩ ඇත.

 

ඡ්‍යොතිෂවේදී හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.