මැරෙන හැටි මැරෙන දවස දැනගන්නට කැමතිද?

දෙසැම්බර් 8, 2023

 

ඡ්‍යොතිෂය කියන්නෙ ඔබ හිතනවාට වඩා ගොඩක් සුන්දර දේවල් දැනගන්න පුළුවන් විෂයයක්. ඒකනේ මම හැමදාම කියන්නෙ ඡ්‍යොතිෂය විෂය නිකමට වගේ හොඳ ගුරුවරයෙක් යටතේ හදාරන්න කියලා. මේ විෂය සමඟ මිත්‍ර වන්ට ඕනෑ. මිත්‍ර වන්න නම් බොහෝ ඡ්‍යොතිෂ පොත් කියවලා අලුත් දේ අවබෝධ කරගන්ට ඕනෑ. ඔය ලොකු උපාධි තිබුණාට වැඩක් නැහැ ඒවා ඡ්‍යොතිෂයට සම්බන්ධ නැත්නම්. අමාරු නැහැ. ඔබ ඡ්‍යොතිෂයට ආදරය වන්න. එතකොට ඡ්‍යොතිෂයත් ඔබට ආදරය කරල ඔබේ ධාරණයේ පවතීවි.

ඔබට මතකනේ පුංචි කාලෙ හෝඩියේ පන්තියේ ඔබ කියවපු පාඩම් සහ කළ දේවල්. සීසී මේවර පුසී, කිරිල්ල ගෙඩි කන්නට පෙර කුරුල්ලා හඬයි. මේ දීසියේ දෝසිද? වැනි දේවල් තාමත් මතකනේ. ඒ ඔබ ආදරයෙන් ඒ කවි කිය කියා නටමින් පාඩම් කළ නිසා. ඕනෑම දෙයක් ඔබට ආදරය කරාවි ඔබ ආදරය කළොත්.

අපි මැරුණු දවසට එගොඩට ගෙනයන්නෙ මොනවද ඇහුවාම ඉරිදා දහම් පාසැලෙදී නම් කිව්වේ කළ කුසලය හා අකුසලය විතරයි කියලා. එච්චරත් නොවේ ඊට අමතරව අපේ බුද්ධියත් ලබන ආත්මෙට ගෙන යනවා. ඒ කිව්වේ අපි අවබෝධ කරගත් දේ එහෙමත් නැත්නම් ධාරණය කරගත් දේත් ගෙන යනවා. ඒක ගෙනියන්නෙ බුද්ධියට අධිපති බුධ ග්‍රහයා විසින්. පෙර භවයෙන් ගෙනාවා කියල ඡ්‍යොතිෂයේ පෙන්වන්නෙ චන්ද්‍රයා විසින්. ඡ්‍යොතිෂයේ ඒක හඳුන්වා දෙනවා. ඔය උගත් අය ඒ දැනුම ගෙනාවේ මේ භවයෙන්ම නොවේ. පසුගිය භවවලින් ගෙනාවේ.

ඔබ දන්නවද ඔබේ මරණය සිදුවන්නෙ කවද ද? කොහොමද කියල දැනගන්න පුළුවන් ශාස්ත්‍ර තුනකින් විතරයි. එනම් චූල නක්ශස්ත්‍රය, නාඩි ශාස්ත්‍රය සහ ඡ්‍යොතිෂය යන විෂයන්වලින් විතරයි.

එහෙම කිව්වට ඉගෙන ගත්තට ඒක කියන්ට එපා කියල ඒ ඒ ඍෂිවරු තහංචියක් දමල පනවල තිබෙනවා. මොනවා කිව්වත් කෙනෙක් මැරෙන දවස කියන්න එපා කියලා. පාරම්පරික පන්තිවල ඒක ඉගැන්නුවා, උගන්වනවා තමයි. ඒක ඡ්‍යොතිෂයේ අවසාන පාඩම. අවසාන වූ වහාම ඒ තහංචිය දමනවා. ප්‍රායෝගිකව කරන්න එපා කියලා.

මැරෙන දවස කියන එකත් අහන එකත් හරියට අවතාර හොල්මන් ගැන අහනව වගේ. ඒවා කතා අහන්ට කැමැතියි. ඒත් තනියම දකින්ට කැමැති නැහැ. කිසිදු හොල්මනකට කිසිවකුට කිසිම කරදරයක් කරන්ට බැහැ. ඒවා දැකලා තමුන් කරදරයකට පත්වීමයි වන්නෙ. ඒත් චිත්ත භීතිය නිසා බලන්ට කැමැති නැහැ. හැබැයි ගුරුකම් කරන අය නම් හොල්මන් දැක්කට බය නැහැ. බය නම් ගුරුකම් කරන්නත් බැහැනේ. හොල්මන් කියන්නෙ නුපුරුදු තැනක පෙනෙන එක්තරා දර්ශනයක්. සාමාන්‍යයෙන් ඒක භයංකර වන්නත් පුළුවන්, නැතිවන්නත් පුළුවන්. හැබැයි ඒ දර්ශනය එතැනට ආවේනික නැහැ. එනිසා බය වනවා.

ඒ වගේ මැරෙන දවස කෙනෙක් අහන්නෙ ඉතාම ආශාවෙන් තමයි. ඇහුණට පස්සේ, දැන ගත්තට පස්සේ නොමැරී මැරෙනවා. ඒක නිසා ඒ දවස පවසන්ට අපට තහංචියි. සමහර අය මැරුණාම වළලන තැනත් කලින් ලකුණුූ කරනවා. ඒ වගේ බොරු සංදර්ශන කරන අයත් නැතුවා නොවේ. දිනය දැන ගන්න බයයි. කරුණු එහෙම වුණත් මැරෙන කාලවකවානුව, මැරෙන හැටි දැනගන්න ඡ්‍යොතිෂයේ රාශි, යෝග, දෘෂ්ටි ටිකක් ඉගෙන ගත්තානම් පුළුවන්.

ජන්මියා උපදිනකොට නැඟෙනහිර සිතිජයෙන් උදා වන රාශිය ලග්නය වනවා. සමහර පංචාංග ලිතක එහි ප්‍රමාණය සඳහන් කර නැති වුණත් තවත් ලිතක සඳහන් අංශක ගණන පෙන්වනවා. මේ ලග්නය වටා රාශි චක්‍රයේ කොටස් 12ක් නැත්නම් රාශි 12ක් තිබෙන බව දන්නවනේ. මරණය ගැන සෑම රාශියකින්ම නොදැක්වූවාට විශේෂිත වූ 6,8,12 ( 2 +7) මරණය ගැන ස්ථිරවම පවසනවා. බොහෝදුරට ශරීරයේ ඔළුවේ ස්නායුවලට අධිපතිය රවි, සෙමට අධිපතියා සඳු, ලේවලට අධිපතියා කුජ, නහර ගැන ගුරු යටිබඩේ සිට අක්මාව හිර කිරීම සෙනසුරු මේ රාශි වළල්ලේ කිසියම් තැනක අයිතිකාරයා වෙලා ඉන්නවා. මේ අය නපුරු තැනකට ගියාම නපුරක් වනවා. එක ග්‍රහයකුට රාශි 2 බැගින් තිබෙනවා රවිට සඳුට හැර. ඒ කිව්වේ කටක, සඳුටත් සිංහ රවිටත් හැර. මෙහෙම කිව්වට අනිත් ග්‍රහයෝ ළඟත් වක්‍රව මරණය නැතුවා නොවෙයි. ලෝකයේ නොමැරෙන දෙයක් නැහැ. නොවෙනස් වන දෙයක් නැහැ කිව්වට, නැඟෙනහිරින් ඉර පායන එක, බටහිරින් හිරු බැසයන එක, සියල්ල නැසෙන එක වැනි දේවලුත් තිබෙනවා. අපි පුංචි කාලේ සරලව ඉගෙන ගත්දේ ලොකු වුණාම සංකීර්ණව බලනකොට ලොකු වෙනසක් තිබෙනවා. නපුරු ග්‍රහයෙක් නපුරු වෙලා නපුරු රාශියකට ආවොත් නපුරක්ම තමයි සිදු වන්නේ. ඒක එහෙම නම් මරණය ගැන කියන්න බැරිවන්ට බැහැනේ.

මම දුටුවා මුහුණූ පොතේ ඡ්‍යොතිෂ එකතුවේ සමහර දවස්වලට ලොකු බොරු දමල තිබෙනවා. පිළිතුරු වශයෙන් ඡ්‍යොතිෂයේ සමහර කෑලි අහුලන කෙනා ඒවා තම මනසට අරැගෙන එහි පුරවා ගන්නවා. සමහර ඒවා හරිද කියල මගෙනුත් අහනවා. තම කේන්දරයේ මරණ කාරකයා ආයුෂ ගැන කියන අෂ්ඨමයේ පිහිටීම හේතුකොට ගෙන තම මරණය ගැන කියන්ට දැනගන්න අංජනම් බලන්න ඕනද? මේ කරුණුවල පිහිටීම සම්බන්ධ ඡ්‍යොතිෂ කරුණු ඔබ නොදන්නවා නම් ඔබට වැටහෙන්නෙ නැතුව ඇති. ඔබ ඡ්‍යොතිෂ ප්‍රාඥයෙක් නිසා දන්නා කෙනෙක්ගෙන් අහන්නත් මැළිවනවා. ලජ්ජයි.

බොහෝ අය විවාහය ගැන කියන්නෙ 7 වැනි රාශිය දිහා බලලා. මම කලින් දාපු සටහනක කාම ත්‍රිකෝණය ගැන කියවලා දැන් ඒකෙ විස්තර අහනවා. ඡ්‍යොතිෂය කරන බොහෝ අය කාම ත්‍රිකෝණය කියන්නෙ මොකද්ද කියල නොදැන සිටි බව තේරෙනවා. ඡ්‍යොතිෂය කරද්දි ත්‍රිකෝණ 4වත් දන්නේ නැතුව බැහැ. හැබැයි සමහර උදවිය ඡ්‍යොතිෂ පන්තිත් ආරම්භ කරලා. තවත් දෙයක් සමහර අය පොරොන්දම් පරික්ෂා කරලා කෙනෙකුට ලැබෙන්න ඉන්න සුරංගනාවියෝ අහිමි කරල යක්ෂණියන් වෙසින් එන ස්ත්‍රීන් ලබාදෙනවා. ඡ්‍යොතිර්වේදින් විශ්වාස කරල ඒ අයත් ඒ පොරොන්දම් බාර ගන්නවා. මේ විදියට ඡ්‍යොතිෂය විකුණාගෙන කනවා. ශාස්ත්‍රයක් විකුණාගෙන කන එක පාපයක්. එහෙම කළාම කිසිම උපදින ආත්මෙක දැනීම පිහිටන්නෙ නැහැ.

කේන්දරයක ධර්ම ස්ථානයෙත් කර්ම ස්ථානයෙත් නපුරු ග්‍රහයෙක් නපුරු විදියට උත්පත්ති කේන්දරයේ පිහිටියොත් ඒ අනුසාරයෙන් මරණය සිදුවන ස්ථානය පෙන්වනවා. අපි හිතමු ධර්ම ස්ථානයේ රවි – බුධ යෝගය පිහිටලා නපුරට. ඒ ධර්ම ස්ථානය අයිති අඟහරුවට නම් මේ කොච්චර රාජ මන්දිර ජන්මියට තිබුණත් මැරෙන්නෙ පොදු රෝහලක ලේ හෝ ස්නායු කලබල කිරීමකින් කාලයත් දැනගන්න ඕන නම් ආයුෂ ගුණ කියන අෂ්ඨමයේ පිහිටීම දැක්කාම කාල වකවානුවත් දැනගන්න පුළුවන්. මෙහෙම ග්‍රහ පිහිටීම ඇති වුණාම නොඑන ගමන් යාම නවත්වන්ට පුළුවන් වන්නෙ අභිසම්භිධානය යන්ත්‍රයට පමණයි. ඒත් මරණය නොවේ කාලසීමාව.

11 වැනි රාශිය අයිති අඟහරුවට නම් අඟහරුවා රාශියේ ඉන්නව නම් තත්කාලයේ අඟහරුවා හතුරු හෝ මුඨ හතුරු නම් ලේ හලාගෙන මිය යනවා හෝ හදිසි අනතුරු වාට්ටුවක ඇඳක ඉන්නවා.

උත්පත්ති කේන්දරයේ ලග්නය හතුරු නම් ගෝචරය 8 දි දුර්වල නම් ස්නායු රෝගයකින් පෙළෙනවා. මේවා බොහෝ සෙයින් වන්නෙ තත්කාල කේන්දර කාලෙදී බවත් හිතන්න.

වගකීමෙන් තව එකක් කියා අවසන් කරන්නම්. භාර්යාවගේ 8 වැන්න පාපියෙකු හිටියොත් 8 රාශියේ ඉන්න පාපියාගේ දසා කාලයට ස්වාමියා මිය යනවා. ස්ත්‍රියගේ 8 වැන්නෙ පාපියෙක් ඉඳලා 2 වැනි රාශියේ සුබයෙක් හිටියොත් පුරුෂයාට ප්‍රථම ස්ත්‍රිය මිය යනවා.

 

පවිටෙකු සමඟ තනුපති, සය අට දොළස

වැස සිටි කලට අඩුවෙයි ගත සුව පහස

කෙදුරෙහි හෝ තෙකොනෙහි සිටියොත් නොලස

අත්වෙයි උපනුන්ට නීරෝගි සැප වෙසෙස”

(ජාතක රත්නාකරය - 1963)

 

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවිද්‍යා

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.