පෙබරවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 7,8,9 හිමි ඔබ ගැනයි...

නොවැම්බර් 24, 2023

 

පෙබරවාරි මාසයේ 7, 16, 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර මොවුන්ගෙන් 7, 16 දිනවල උපන් අය නෙප්චුන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. පෙබරවාරි 25 මීනයට අවතිර්ණ වී ඇති නිසා එම දින උපන් අය ගුරු සහ ශනිගේ කම්පනයන්ට යටත් වේ.

පෙබරවාරි 7 සහ 16 උපන් අයවලුන් අසාමාන්‍ය නිර්මාණ ශක්තියක් සහිත පුද්ගලයන් වන මුත් සංවේදි පුද්ගලයන් වේ. ජීවන වෘත්තිය තෝරා ගැනීමේදි ආත්ම විශ්වාසයේ මඳකම නිසාවෙන් නිශ්චිත තීරණවලට එළඹීමේ ගැටලුවලට නිරන්තරයෙන් මුහුණදීමට මොවුන්ට සිදු වේ. දීර්ඝකාලිනවද එම තත්ත්වය මේ දිනවල උපන් පුද්ගලයන්ගේ දැකිය හැකි වීමටද පුළුවන. නමුත් කෙසේ හෝ යම් හෙයකින් ඔවුන් තම ගමන් මඟ තෝරා ගතහොත් අරමුණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම සිදු වේ.

ගුප්ත ශාස්ත්‍ර ඡ්‍යොතිෂය වැනි විෂයන් හැදැරීමට මෙන්ම ගවේෂණය කිරීමටද නැඹුරුතාවයක් මේ පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු විය හැකිය. කලාව සම්බන්ධ කටයුතුත් මොවුන්ගේ එක අංශයක් වන අතර, දැනුම එකරාශි කර ගැනීම සිදුවන්නේ මානසික ශක්තින් උපයෝගිතාවයෙන් වීම විශේෂත්වයකි.

පෙබරවාරි 25 උපන් අයවලුන් මීන රාශියේ යම් දුරක් ගමන් කර ඇති බැවින් ගුරුගේ බලය ඔවුන්ට ක්‍රියාත්මක වේ. එ බැවින් හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම මොවුන්ගෙන් දැකිය හැකිය.

ආර්ථිකමය කටයුතුවලදි සාර්ථකත්වයක් මොවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි අතර, සූදු සහ ඔට්ටු දැමීම මොවුන් ආර්ථික ප්‍රපාතයකට ඇද දැමීමට හේතු වන බැවින් එවැනි මුදල් ඉපයීම්වලින් ඉවත්ව කටයුතු කිරීම සුබදායක වෙයි. මේ දිනවල උපන් පුද්ගලයන් හොඳ කායික සෞඛ්‍යයකින් උපදින අතර රෝගයකට ගොදුරු වුවහොත්

රෝගය හඳුනා ගැනීම වෛද්‍යවරුන්ට පවා අපහසු වනු ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂකාරි තත්ත්ව ඇතිවිය හැකිය. එසේම මානසික ආතතිය නිසා අසනීප තත්ත්වයන් බලාපොරොත්තු විය හැකිය.

මොවුන් සෑම කටයුත්තක් සඳහාම 2, 7, 10, 11, 16, 19, 20, 25, 29 යන දිනයන් හෙවත් අංක1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

පෙබරවාරි මාසයේ 8, 17, 26 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, මොවුන්ගෙන් 8, 17 දිනවල උපන් අය පෞද්ගලික අංකයට අදාළව සහ මාසයේ බලයෙන් ශනි ග්‍රහයාගේ කම්පනයට යටත් වේ. මාසයේ බලයෙන් සහ උපන් දිනයෙන් ශනි ද්විත්ව ආකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් මේ දිනවල උපන් පුද්ගලයන්ට බරපතළ වගකීම් දරා ගැනීමට සිදු වේ. විශේෂයෙන් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26 ආදි වු අංක 4 හා අංක 8 යෙදන වසර වලදි අතිශය පීඩාකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. එදිනෙදා

කටයුතුවලදි පවා ප්‍රබල මානසික කඩා වැටීම්වලට මොවුන්ට මුහුණ පෑමට සිදුවේ. පෙබරවාරි 26 මීනයට අවතිර්ණ වී ඇති නිසා එම දින උපන් අය ගුරු සහ ශනිගේ කම්පනයන්ට යටත් වේ.

ගැඹුරු දාර්ශනික අදහස් ඇති පුද්ගලයන් මේ දිනවලවල උත්පත්තිය ලබන අතර, කුමන ක්‍ෂේත්‍රයක කටයුතු කළත් ඔවුන් ගේ එම ස්වභාවය පවති.

දෛවෝගත සිදුවීම් බහුල අතර බලාපොරොත්තු නොවන වගකීම් සේම තනතුරුවලට හිමිකමක් ඔවුන් සතුය. පෙබරවාරි 26 දින උපන් අය ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වන හෙයින් ලෞකික සාර්ථකත්වයක් ඇතිවන නමුත් පෞද්ගලික අංකයට යටත්ව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වන හෙයින් රහස් සතුරන් ඇතිවීම විවේචනයට ලක්වීම නිරන්තරයෙන් බලාපොරොත්තු විය යුතුය. පොදුවේ මොවුන්ට පීඩාකාරි ආදර සම්බන්ධතා මෙන්ම වේදනාකාරි විවාහ ජීවිතවලට මුහුණ දීමට සිදුවේ.

බලාපොරොත්තු රහිත ලෙස අසනීපවලට මඟ පෑදෙන අතර හෘද රෝගයන් සහ අංශභාග රෝගයන් මේ අතර ප්‍රධාන වේ. මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 1, 2, 7, 10, 11, 16 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

පෙබරවාරි මාසයේ 9 18 27 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර මොවුන්ගෙන් 9, 18 දිනවල උපන් අය කුජ සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. පෙබරවාරි 27 මීනයට අවතිර්ණ වී ඇති නිසා එම දිනයේ උපන් අය ගුරු සහ කුජගේ කම්පනයන්ට යටත් වේ.

ප්‍රබල තර්කන ශක්තියක් උරුම කර ගනිමින් උත්පත්තිය ලබන අතර, නමුත් ස්වාධීනත්වය ඔවුන් කෙරේ දැකිය හැකිය. විවාදයේ ඔවුන් දක්ෂය. හොඳ සංවිධාන ශක්තියක් ඇත. එසේම තමා යෙදෙන ඕනෑම කටයුත්තක් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ හැකියාවක් මොවුන් සතුය. ඉවසීම බොහෝ සෙයින් අඩු නිසා කරදර විපත්තිවලට මුහුණ පෑමට සිදුවේ.

සෞඛය පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කරන්නේ නැත. එසේ නමුත් හොඳ නිරෝගිතාවයක් හිමිවේ. නමුත් හෘද්‍යාබාධ පෙණහලු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 9,18, 27 යන දිනයන් භාවිතා කිරීම සුබපල ලැබීමට හේතු වේ. සුබ වර්ණ වනුයේ රතු පැහැය සහ රෝස පැහැය වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.