වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දරුවාට ඉගෙනගන්න බැරි කේන්දරේ පස්වැනි කොටුවේ ප්‍රශ්නයක් නිසාද?
පියසේන නිස්සංක පත්තර මහ ඇදුරුතුමා අදින් වසර 54කට පමණ පෙර දිනෙක සුබසෙත පත්‍රය අරඹන ලදි. එදා 25 හැවිරිදි තරුණයකු අද වන විට දෙගොඩහරි වියද ඉක්මවූ තලතුනා කෙනෙකු වන්නට ඉඩ ඇත. එදා මෙදා තෙක්ම අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින් නම දෙනා පිළිබඳව කිරණ බල වේගය මිනුම් ක්‍රමයේ තනවාගෙන පුද්ගල ජීවිතය ගැන උපතේ සිට මරණය දක්වාම ගුණ අගුණ පැවසීමේ ක්‍රමවේදයට අනුගත වූ අතිවිශාල පිරිසක් සිටී. පැරණි නැකැත් ඇදුරන් බුලත් හුරුල්ල දෙසවත් නොබලා වේලාපත්කඩය බලා ජීවිතය කියැවූහ.
අද මුලින්ම ගිණුමට මුදල් බැර කර දින, සති, මාස ගණනක් බලා සිට කේන්ද්‍ර බලවා ගන්නා තැනට ක්‍රමක්‍රමයෙන් අවතීර්ණ වී සිටින බැව් ඇත්තකි. වෙනස් වන සොබාදහමේ හැටියකි. එදාට වඩා අද මිනිසුන්ට ඇත්තේ භින්න රුචිකත්වය හරහා ගොඩනැඟුණ අසීමිත ආසාවන්ය. එහි කෙළවරක් නොමැතිව පිම්මේ දුවන තරගයකට මැදිවී සිටින බව නම් පැහැදිලිය. වැඩුණු අයට කෙසේ වෙතත් අද දරුවන්ද රේස් එකට ඇදගෙන තිබේ.
ළමා කාලයක් නැතිව නිදහසේ දුව පැන සෙල්ලම් කරන සොබාදහමේ අස්වැද්දුම පුරන් වී ගොස්ය. රාමුවකට කොටුකර තිබෙන දරුවන්ගේ ජීවිතවල සිනහවක් නැත, ඇත්තේ තරහවකි. පාන්දර හතරට අවදි කර මුහුණ කට සෝදා ක්ෂණික ආහාරයක් කටේ ඔබා කිලෝ 15ක් පමණ බර ඇති බෑගයක් පිටේ දමා කොන්ද කුදු ගසාගෙන බස් රථයෙන් පාසලට ගොස් දහවල් එකහමාරෙන් පසු ඉංගී‍්‍රසි, ගණිතය, සංගීත, චිත්‍ර, නැටුම්, චෙස් ක්‍රීඩා ආදී විවිධ විෂය ක්ෂේත්‍රවලට බලයෙන් තල්ලු කර මේ දරුවා ආපසු ගෙදර එන්නේ රාත්‍රී 7ට පමණය.
මුහුණකට සෝදාගෙන ගෙදර වැඩ (home work) කරයි. රෑට කෑමක් ඇතිව හෝ නැතිව නිදන්දට යන දරුවා අද යන්ත්‍රයක් නොවේද?
ඇයි මේ තරම් දරුවෙකුට වද දෙන්නේ. මේ සියල්ලම ග්‍රහයින් කරන වැඩද? සමහර විට දරුවා ඉගෙනීමට අලස වුවහොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සරස්වතී යන්ත්‍ර තෙල්, ගාන අතර නොකරන ශාන්තිකර්මයක් නැත. දරුවාට නිදහසේ ඉගෙන ගන්නට ඉඩ දෙන්නේ නැත.
මේ විදියට ගියොත් අනාගතේදී මානසික අසහනයෙන් පීඩා විඳින තරුණ පිරිසක් ඉතිරි වේවි.
මේකයි ඇත්තම ඇත්ත කතාව. හරියට මේක නම් අශ්ව රේස් එකක් වගේ පේන්නෙ. සෑම දරුවෙක්ම දොස්තර හෝ ඉංජිනේරුවෙක් කරන්න හැකිවේද? ළමයිට විවිධ දක්ෂතා ඇති බව සැබෑවකි. පීඩනකාරි මෙවන් අධ්‍යාපන රටාව බැඳී සිටින දරුවාට හිතේ සතුටක් ලබන්නේ කවදාද ප්‍රශ්නයක්? එයට උත්තරයක් නැත.
උපදින සෑම දරුවෙකුට ඉගෙන ගන්න හැකියි. එය ජානමය අපේ දායාදයකි. විදේශීය කිසිම ළමයෙකුට ශ්‍රී ලංකාවේ දරුවකු දෙවැනි නොවන්නේ අපේ දරුවන්ට විදේශීය ගීතයක් ගැයීමටත්, ඕනෑම රටාවකට අනුව චිත්‍ර ඇඳීමටත්, ඕනෑම නැටුම් සම්ප්‍රදායකට අනුව රඟ පෑමටත්, උපතින්ම ඇති දක්ෂතාවය වෙන කිසිම රටක ළමයින්ට නැති වීම නිසාය.
කේන්ද්‍රයේ පස්වැනි කොටුව හාර හාරා ඉගන ගන්න පුළුවන්ද කියන එක ගැන සොයා සොයා ග්‍රහයින්ට පුද පූජා තබා පහන් දල්වනවාට වඩා අපේ මේ හරසුන් අධ්‍යාපන ක්‍රමවේදය වහාම දරුවාගේ මනස සංහිඳියාවකට පත්වන අයුරින් සකස් කර ගැනීමට ඒ ඒ නිසි බලධාරින්ගේ දෙනෙත් යොමු කර ගැනීමට කාලය එළඹ තිබේ.
ඉගෙනීමට උපතින්ම ඉතාම දක්ෂ දරුවන් මේ වන විට කලකිරීමකින් පසුවන බැව් ප්‍රසිද්ධ රහසකි. මෙවන් සටහනකින් අපි අපේක්ෂා කරනුයේ (සෑම දෙමාපියෙක්ම මේ අදහසට යටි සිතින් කැමතියි) සෞන්දර්යයේ රස විඳීමට හැකි යහපත් වාතාවරණයක් ඔස්සේ තම දරුවාට අධ්‍යාපන කටයුතු කර ගැනීමට හිරකර තිබෙන අධ්‍යාපනික බැමි බුරුල් කර දෙන ලෙසටය. බලධාරින්ගේ දෙනෙත් යොමුවේවා.