සුබ වැඩවලදී මඟහැරිය යුතු මරු

නොවැම්බර් 10, 2023

එදා සාමාන්‍ය මිනිසුන් සහ ඡ්‍යොතිර්වේදීහු ‘මරු’ ගැන වඩ වඩා අවධානය දුන් බව පෙනුනත් අද ක්‍රම ක්‍රමයෙන් ඒවා නොසලකා හරින තත්ත්වයට පත්ව ඇත. “පිටරට මිනිස්සුන්ට ඕවා අදාළ නැත” යන්නද සමහරුන්ගේ අදහසයි. එහෙත් විවිධ රටවල විවිධ විශ්වාස පද්ධතීහු ඇති බවද නොරහසකි. ඡ්‍යොතිෂය යනු විෂයකි.

එහි උපයෝගීතාවය, එය භාවිතයෙන් ඇති වාසි අවාසි විමසා බැලීම බුද්ධිමතාගේ ලක්ෂණයෙකි. මේ විෂය නිසා යමෙකුට යම් අවාසියක් වූයේ නම් ඒ සේවා සපයන්නාගේ නොදැනුවත්කම නිසා හෝ සේවාලාභියාගේ නොසැලකිලිමත්භාවය නිසාවෙන් විය යුතු ය. මා දන්නා පරිදි නම් මේ කියන ඡ්‍යොතිෂ විෂයය අතිශය ඵලදායක අභිවෘද්ධිදායක එකකි.

මාතෘකාවට අදාළ ‘මරු’ සංකල්පය නිර්මාණය වනුයේ උමා ඡ්‍යොතිෂය හෙවත් සූක්ෂ්ම ඡ්‍යොතිෂය ආශ්‍රයෙනි. උමා ඡ්‍යොතිෂය ආශි‍්‍රතව උපදින බොහෝ සංකල්ප අද මහ ඡ්‍යොතිෂය සමඟ මුසුව තිබුණත් ඒවායින් වැඩක් ගත හැකි අය ඇත්තේ කෙනෙක්, දෙන්නෙක් හෝ ඉතා සුළු පිරිසක් පමණි. එක් වසරෙක මරු සිටි දිශාව බලා සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමට යෝජනා වූයේ ජාතික නැකැත් කමිටුව මරු පිළිබඳව තුට්ටුවකටත් මායිම් නොරකන හෙයින් විය යුතු ය. එසේ වූ කල සාමාන්‍ය ජනයා මෙය තුට්ටුවකට හෝ මායිම් නොකිරීම ගැටලුවක් නොවේ. එසේම නූතන ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය වැනි පද්ධතීන් ඉගෙන ගත් අයද එවැනි සමහර ඉගැන්වීම් මායිම් නොකරති. පංචාංග ශුද්ධිය, මරු, යෝගිනී රාහු කාලය ආදිය ගැන ඔවුන් සලකන්නේ නැත. මේ ලිපිය ලියැවෙනුයේ මධ්‍යස්ථ මතධාරීන් උදෙසා ය. එසේම පැරැන්නන් යමක් ඉගැන්වූවා නම් ඒවායෙහි සැඟවුණ හරයක් ඇති බව පෙන්වා දීම සඳහා ය.

‘මරු’ සංකල්පය ඉතා දිගු පරාසයක පැතිර යන මාතෘකාවක දිනි මරු, තිථි මරු, නැකැත් මරු, රාශි මරු, තක්කාල මරු ආදී වශයෙන් න්‍යාය ධර්ම බොහොමයක් වන අතර මරු පිම්ම ආදිය පිළිබඳ දැනුම අතිශය දුර්ලභ වන්නේ සූක්ෂ්ම ඡ්‍යොතිෂය හෙවත් උමා ඡ්‍යොතිෂය පිළිබඳ දැනුම ලොව දුර්ලභ බැවිනි. ‘චුල ඡ්‍යොතිෂය’ නමින් පොත් සමාගමක් විසින් සිදුකළ කුඩා පත පොත කීපයක් 60 - 70 දශකයේ පෞද්ගලිකවත්, කුඩා අධ්‍යාපන ආයතන මට්ටමින්වත් නිකු් කරන ලද ප්‍රකට කරවන ලද ග්‍රන්ථ නොවුයේ නම් ‘චුල ඡ්‍යොතිෂය’ නමින් හෝ මෙම සංකල්ප ඉතිරි වන්නේ නැත. ‘උමා හෝරා’ යන මූලික සංකල්ප බොහෝ විට ගුරුකුල ඇසුරෙහි එන දැනුමකි. මරු පිළිබඳ සංකල්පයෙහි ඇරඹුමද එයය.

මේ කතා බහ පසෙක තබා බොහෝ දෙනෙකු කතා කරන දින මරු ගැන අවධානය යොමු කරන විට ඉරිදා උතුෙර්ය, සඳුදා වයඹේය, අඟහරුවාදා බටහිරය, බදාදා නිරිතය. බ්‍රහස්පතින්දා දකුණේ ය. සිකුරාදා ගිනිකොනය, සෙනසුරාදා නැඟෙනහිරය වශයෙන් දවසේ මරු සිටින දිශාව යෝජනා කර තිබේ. ශුභ කාර්යයක් සිදු කරන විට මරුට පිටුපා කටයුතු කළයුතු බව පැරැණි ඉගැන්වීම වේ. මෙහිදී ඊසාන දිශාවේ දවස් උදාවේදී මරු නොපිහිටන නිසා ඊසානෙහි මරු නැත යන අසත්‍ය, බොරු අදහසද සමාජගතව ඇත. එහෙත් එහි අර්ධ සත්‍යයක් පවතින බවද පිළිගත යුතුව ඇත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කාරණාවක් වේ. කිසියම් සිදුවීමක් සිදු කිරීමෙහිලා ඒකීය ශක්ති ප්‍රභවයක් ප්‍රමාණවත් නොවේ. එය ඒකීය ශුල ශක්ති ප්‍රභවයක් සේ අවබෝධ කරගත යුතුය. ‘අඟහරු ග්‍රහයාට’ පමණක් කිසිවක් කළ නොහැකිය. අඟහරුගේ නියෝජනය තුළ වෙනත් ශක්තීන් අන්තර්ගත වන හෙයින් අඟහරු ග්‍රහයාගේ ගුණ අගුණ විපාක තනිව ගත් කල ද කිසියම් දුරකට ප්‍රකාශ කළ හැකිය. එහෙත් ග්‍රහයෙකු වශයෙන් විමසන විට අඟහරු ග්‍රහයාගේ උපග්‍රහ ප්‍රභේද බොහෝමයක් පවතී. මරු සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම ග්‍රහ සංකල්පයකට මෙය සාධාරණය.

දවසේ මරු දවස පුරා එම දිශාවෙහි ස්වකීය බලය විහිදාලයි. ඉරිදා නම් දවස පුරා උතුරු දිසාවේ අසුබ ශක්ති කිරණ විහිදුවයි. එහෙත් ඉරිදාවක සුබ කටයුතු කරන යමෙකු උතුර බලා කටයුතු කළ පමණින්ම අසුබ ඵල නොගෙනෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. යමක් සිදුවීම සඳහා බලපාන අංගෝපාංග සමුදායක් තිබේ. මෙහිදී යෝජනා කරනුයේ දිශාවය. මරුගේ වෙනත් ශක්ති ප්‍රභේද හතරක්, නැකැත්මරු, තිථිමරු, රාශිමරු, චන්ද්‍රමරු පෙර දක්වන ලදී. මේවායින් දෙකක් දවසේ මරු සමඟ සූක්ෂ්මව එක්වුවහොත් ‘නිසැක මරු’ දැකිය හැකි බව ඉගැන්වීම වේ. අප කටයුතු කරන විට සෙසු මරු සංකල්ප සූක්ෂ්ම වශයෙන් කෙසේ වෙතත් දළ වශයෙන් හෝ නොවිමසන බව අමුතුවෙන් කිවයුතු නැත. ඉදින් එවන් අවස්ථාවක දළ මරු චාරය මඟ හැරියොත් කාර්ය සිද්ධිය අශුභදායක ලෙස සිදුනොවනු ඇත.

මෙහිදී ඉරිදාවක නම් මරු උතුරේ සිටින විට, නැකත් මරු හෝ රාශි මරු දළ වශයෙන් සහ සූක්ෂ්ම වශයෙන් උරට පැමිණියේ නම් උතුර බලා කරන කටයුතු සියල්ලෙන් හානිය ගෙනදෙනු ඇත.

 

යමයා සිටි සුං අකුරේ
මරු සිටියා එකොළතුරේ
සිටි යමයා නැඟෙනහිරේ
ගලවත් සෙල්ලුව ඉදිරේ

 

මේ යමයා මරු සහ සුං අකුරු කලාවේ සම්මිශ්‍රණය ගැන පවසන කවියකි. සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන සප්ත යෝග ශාස්ත්‍රයෙහි එන අනු අංගයක් වන දඬුමරණ ශාස්ත්‍රය තුළ ඉගැන්වෙන යම යුදය නම් ශාස්ත්‍රයට අදාළ කවියකි. ඒ අතිශය පුරාණ ඉගැන්වීමක් තොටගමුවේ රාහුල හිමියන් විසින් සරල සිංහලට නඟා ඇති අයුරුයි ඒ.

ඉදින් යමෙකු දළ මරු හෙවත් දවසේ මරු සහ වෙනත් සූක්ෂ්ම මරු සංකල්පයක් සංයෝග කරන්නේ නම් අසුබ ප්‍රතිඵල ගොඩනැඟෙනු ඇත. මේවා ස්වාභාවික කර්මානුරූපීව ද විය හැකිය. එහෙත් ඉරිදා උතුරේ, සඳුදා වයඹේ ආදී වශයෙන් ඉගැන්වෙන දින මරු චාරය වළකා මරුට පිටුපා හෝ මරු මඟහැර කටයුතු කිරීම ඵලදායකය. විශේෂයෙන් ශුභ නැකත්වලදී මරු සිටින දිශාව යෝජනා කළ හැකි අයෙකු වේ නම් හේ දිශා ඤාණය පිළිබඳව ප්‍රාමාණික හැදෑරීමක් කළයුතු කෙනෙකු විය යුතුය. එවැන්නෙකුට එය ප්‍රායෝගික තලයෙහි ඔප්පු කර පෙන්වීමේ හැකියාවද තිබිය යුතු බව දත යුතුය.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.