විදේශ රැකියාවකට යන්න පුළුවන්ද?

සැප්තැම්බර් 8, 2023

බොහෝ දෙනකු මේ කාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන, බලාපොරොත්තු ඇතිකරගෙන සිටින්නේ විදේශ රැකියාවකට යෑම සඳහාය. එහෙත් අවාසනාවකට මෙන් සමහර අය විදේශගතවුවත් රැකියාවක් ලබාගැනීමට ඇති අපහසුතාවය නිසා ආපසු පැමිණෙති. නැතහොත් කිසිවක් කරගත නොහැකිව අතරමං වෙති. ඒ නිසා විදේශ ගතවීමට පෙර, විදේශ රැකියාවක් සඳහා වාසනාව ඇත්තේදැයි විමසා බැලීම සුදුසුය.

විදේශ රැකියාවක් සඳහා වාසනාව ඇත්තේදැයි විමසා බැලීම තත්කාල කේන්‍ද්‍රයක් මඟින් උත්සාහකර බලන්න.

ප්‍රශ්නයක් විමසන අවස්ථාවේදී ප්‍රශ්නකරුගේ සිත පිළිබඳව තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා ඉඟියක් දෙයි. ඒනිසා මුලින්ම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයාගේ භාව නිවේදකත්වය අනුව ප්‍රශ්නය නිරූපනය කරන්නේ දැයි බලන්න. එසේ වුවහොත් නිවැරදි පිළිතුරක් ලැබේයැයි නිගමනය කළ හැකිය.

මුලින්ම මේ තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයාගේ භාව නිවේදකත්වය බලන්න. සඳු ග්‍රහයා 6 වැනි භාවය හිමිව, 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයා, රාහු සමඟ සංයෝගය. රාහු තැන්පත්ව සිටියේ කුජගේ රාශියකය. කුජ ග්‍රහයා, 3 වැනි සහ 10 වැනි භාව හිමියා විය. ඒ අනුව, සඳු ග්‍රහයාගේ භාව නිවේදකත්වය මඟින් ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව පෙන්වා ඇත.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 9 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, රාහු වෙයි. රාහු තැන්පත්ව සිටියේ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයකය. කේතු 8 වැනි භාවයේ සිකුරුගේ රාශියකය. සිකුරු ග්‍රහයා, 10 වැනි භාව හිමියා විය. 6 වැනි භාවයේ තැන්පත්ව සිටියේය. ඒ අනුව, ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන බව පෙන්වා ඇත.

තවද මෙම තත්කාල කේන්‍ද්‍රයේ 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, කේතු වෙයි. කේතු ග්‍රහයා 3 වැනි සහ 10 වැනි භාව නිවේදකත්වය දරයි. ඒ මඟින් ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන බව නැවතත් පෙන්වා ඇත.

ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 9 වැනි භාවය විදේශ සංචාර පෙන්වන ස්ථානයයි. 9 වැනි භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති ග්‍රහයා 9 වැනි හෝ 3 වැනි හෝ 12 වැනි භාවයක නිවේදකත්වය දරන විට ජන්මියා විදේශ සංචාරවල යෙදීමේ වාසනාව ලබයි.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 9 වැනි භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති කේතු ග්‍රහයා වෙයි, මේ කේතු ග්‍රහයා, 1 වැනි භාවයේ කුජ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. කුජ ග්‍රහයා 3 වැනි සහ 8 වැනි භාව අධිපතිව, 3 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මේ අනුව ප්‍රශ්නකරු විදේශ සංචාරවල යෙදීමේ වාසනාව ලබා ඇති බව ප්‍රකාශ කළ හැකිය.

මේ ප්‍රශ්නකරුගේ විදේශ සංචාර සිදුවන කාල සීමාව නිගමනය කිරීම සඳහා මෙම තත්කාල කේන්‍ද්‍රයේ 9 වැනි, 3 වැනි සහ 12 වැනි භාවයක නිවේදක ග්‍රහයන් යොදා ගන්න.

9 වැනි භාවය; සිකුරු, රවි, බුධ සහ ගුරු. 3 වැනි භාවය; කුජ, කේතු සහ ගුරු 12 වැනි භාවය; ශනි. මේ අනුව, 9 වැනි, 3 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, රවි, බුධ, ගුරු, කුජ, කේතු සහ ශනි යන ග්‍රහයෝ වෙති. මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරනවිට ප්‍රශ්නකරු රැකියාවක් සඳහා විදේශගත වෙයි. මේ තත්කාල කේන්‍ද්‍රය විමර්ෂණය ආරම්භ කළ අවස්ථාවේ පාලක ග්‍රහයෝ වන්නේ;

රවි, බුධ, ගුරු, ශනි සහ, සිකුරු වෙති. මෙම ග්‍රහයෝ අතරෙන් පොදු ග්‍රහයන්, එනම් පලදායී නිවේදක වන්නේ; රවි, බුධ, ගුරු, ශනි සහ, සිකුරු වෙති.

ක්‍රිස්තු වර්ෂ 2021 පෙබරවාරි 24 වැනි දින සිට 2023 නොවැම්බර් මාසයේ 04 වැනි දින දක්වා මේ තත්කාල කේන්‍ද්‍රයේ බුධගේ මහ දශාව සහ ශනිගේ අන්තරය පවතියි. මේ කාල සීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන ඵලදායී නිවේදක ග්‍රහයන්ගේ රාශියක සහ නක්‍ෂත්‍රයක සිදුවන විට එම ප්‍රශ්න කරුගේ බලාපොරොත්තුව ඉටුවෙයි. මෙම කාල සීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න. ඊළඟට සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමනය කරන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.