සිරි සැප දෙන සිකුරු යෝග

සැප්තැම්බර් 8, 2023

සිකුරු වූ කල්හි ප්‍රධාන වශයෙන් මිනිස් වර්ගයාගේ පැවැත්මට උපකාරීවන ලිංගික ක්‍රියාවලිය සඳහා දායක වන ග්‍රහයෙකි. ඒ හැර මිනිසා ට පී‍්‍රතිමත්වීමට, පිනවීමට අවශ්‍ය කරන ගායන වාදනය වැනි කලා කටයුතුවලටද දායක වන ග්‍රහයෙක් වන්නේ ය. එම සිකුරු තවදුරටත් ස්ත්‍රීන්ට පුරුෂයන්වත්, පුරුෂයන්ට ස්ත්‍රීන්වත් ආකර්ෂණය වන ලස්සන රූප සපුවක් ලබා දීමට මහෝපකාරී වන ග්‍රහයෙක් වනවා සේම මිනිසාට සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සුව පහසු යාන වාහන, නිවාස, ඇඳුම් පැලඳුම් ලබා දෙන ග්‍රහයෙක් ද වන්නේ ය.

ඒ අනුව දුකින් තොරව පී‍්‍රතිමත්ව සාමයෙන් සමඟියෙන් ජීවත්වීමට උපකාරී වන සිකුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන ග්‍රහයෝගයන් පිළිබඳව දැනුවත්වීම සාර්ථක පලාපල කථනයක් සඳහා මහෝපකාරී වන්නේ ය. පහත දැක්වෙන්නේ සිකුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන ග්‍රහයෝගයන් පිළිබඳව කෙරෙන කෙටි විග්‍රහයකි.

 

මාලවී යෝගය

ලග්න 12න් ඕනෑම ලග්නයක සිකුරු ග්‍රහයා 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යන බලයකින් යුතුව පිහිටා ඇති විට මාලවී නම් පංච මහා පුරුෂ යෝගය පැන නඟින්නේ ය. මෙකී මාලවී යෝගය කටක සහ කුම්භ ධනු ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට වඩා උසස් ශුභඵලදානය කරන්නේ ය. මන්දයත්, සිකුරු ග්‍රහයා එකී ලග්නවල 4 වැන්නේ දී ස්ථානය, බලය මෙන්ම දිග් බලයෙන්ද යුතුව මාලවී යෝගය උදා කරන හෙයිනි.

ඒ අනුව මාලවී යෝගයෙන් උපන් ලග්න හිමියන් කෙරෙන් දක්නට ලැබෙන ප්‍රධාන ගති ලක්ෂණයන් වන්නේ අලංකාර ගේ දොර, සුඛෝපභෝගී වාහනවලින් යුත් අයවලුන් වීම, ශෝභන ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන් ප්‍රියකරන අයවලුන් වීම, කලා හැකියාවන්වලින් යුත් අයවලුන්වීම, නැතිනම් කලාවෙන් රස විඳින අයවලුන්වීම යන ගති ලක්ෂණයන් ය. එසේම මෙකී යෝගධාරීන් සැහැල්ලුවෙන් පී‍්‍රතියෙන් දවස ගත කරන අයවලුන් ද වන්නේ ය.

 

මහෞෂධ යෝගය

සිකුරු ග්‍රහයා මීන රාශිගතවීමෙන් මහෞෂධ යෝගය පැන නඟින්නේ ය. මෙකී යෝගයෙන් ජන්ම ලාභය ලබන ජන්මීන් ශෝභමාන රූ සපුවකින් හෙබි අයවලුන් වෙති. ඒ හේතු කොට ගෙන මෙවැන්නන් අන්‍යයන් අතර කුමන ආකාරයකින් හෝ ජනපි‍්‍රය වන අතර, වාසනාවන්ත යුග ජීවිතයකට හිමිකම් කියන මෙකී යෝගධාරීන් විසිතුරු බඩු බාහිරාදි ආදියට හිමිකම් කියන අයවලුන් ද වෙයි.

 

පියුමාකාර යෝගය

ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා තුලා රාශි ගතවීමෙන් මෙකී පියුමාකාර යෝගය යෙදේ. ඒ අනුව සිකුරු තුලාවේ මුල් අංශක 15 තුළදී මූල ත්‍රිකෝණ බලය ලබන අතර ග්‍රහ අංශක 15 දී ස්වක්ෂේත්‍ර බලය ලබයි. ඒ අනුව මෙකී මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර යන බල දෙකෙන්ම යුත් තුලා රාශි තුළ යෙදෙන පියුමාකාර යෝගයෙන් උපන් ජන්මියාට ගේ දොර යාන වාහන හිමිකර දෙයි. තුලාව වෙළෙඳාම සංකේතවත් කරන රැසක් නිසා මෙකී යෝගයෙන් උපන් ජන්මීන් වෙළහෙළඳාමට ද දක්ෂය. ඉන් දියුණුවක් ලබයි. මෙකී යෝගධාරියා කුමන පසුබිමක වාසය කළත් උසස් හැඟීම්වලින් හා සමානාත්මතාවයෙන් යුතු අයවලුන් වෙති. සෑම විටම යහපත් අයම ඇසුරු කරයි. සිකුරු හිමි තුලා රැස විශ්ව කේන්දරයේ 7 වැන්න හෙවත් විවාහය නිවේදන කෙරෙන රැසක් වන හෙයින් මෙවැන්නන් ඒ පිළිබඳව බලවත් අවධානයක් ගෞරවයක් දක්වන අතර, ඒ හේතු කොටගෙන යහපත් විවාහයක් කර ගන්නා මොවුන් එකී යුග ජීවිතය නො කැළැල් ව පවත්වාගෙන යෑමට වග බලා ගනියි.

 

විෂ්ණු යෝගය

සිකුරු ග්‍රහයා තම ස්වක්ෂේත්‍ර රැස වන වෘෂභ රැසෙහි සිටීමෙන් විෂ්ණු යෝගය පැන නඟියි. මොවුන්ට ගේ දොර යාන වාහන ලැබෙන අතර ජීවිතයේ හැම අතින්ම දියුණුවක් සැපවත්කමක් අන් අයගේ ගෞරවයක් හිතවත්කමක් යෙදේ. ප්‍රසන්න පෙනුමකින් යුත් මෙකී යෝගධාරීන් අලංකාරය, විනෝදය පි‍්‍රය කරයි. සැප සම්පත් භුක්ති විඳීමේ භාග්‍ය ඇති මෙවැන්නන් ස්ථිර ගති ගුණවලින් යුත් නොවෙනස් වන අය වෙති. මෙහිදී බොහෝ දුරට ස්ථිරත්වයක් පවතින්නේ විවාහය පිළිබඳවය. මෙවැන්නන්ගේ පළමු විවාහය අසාර්ථක වුවහොත් දෙවෙනි විවාහයක් කර ගැනීමට ඉඩ කඩ ඉතා අල්පය.

 

සිකුරු දීප්ත යෝගය

රාහු, කේතු ගෙන් එක් පසක සිකුරු ග්‍රහයා පමණක් සිටීමෙන් සිකුරු දීප්ත යෝගය පැන නඟියි. ඒ අනුව මෙකී සිකුරු දීප්ත යෝගය අන් ලග්නවලට වඩා සිකුරු ලග්නාධිපති වන වෘෂභ, තුලා ලග්නවලට සහ සිකුරු යෝගකාරක වන මිථුන, කන්‍යා, මකර, කුම්භ යන ලග්නවලට උසස් ශුභඵල ගෙන දෙන්නේ ය. මෙකී යෝගයෙහි පලවිපාක වශයෙන් සඳහන් කළ හැක්කේ මෙකී යෝගධාරියාට ජීවිතයේ මුල් කාලයේ දී අගහිඟකම්, දුෂ්කරතා යෙදුණ ද පසු කලෙකදී විශේෂයෙන් ම සිකුරු මහ දශා ලැබූ විටදී, අන්‍යයන්ගේ නෙත් සිත් ඇද ගන්නා රූප සම්පත්තිය, මිත්‍රශීලීබව, ආදරය, කරුණාව වැනි යහපත් ගතිගුණ වැනි ගති ලක්ෂණවලින් හෙබි අයෙක් වීම, රංගන ගායන වැනි කලා කුසලතා, ක්‍රීඩා දක්ෂතාවයන් වැනි හැකියාවන් නිසා පසුකලෙකදී දියුණු සමෘද්ධිමත් පුද්ගලයෙක් වන බවය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.