අගෝස්තු මාසයේ උපන් ඔබ ගැනයි...

සැප්තැම්බර් 8, 2023

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්‍ෂක,මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි අගෝස්තු මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු. ජුලි මාසයේ 21 න් පසු 26 දක්වා කටක රාශියේ බලය කෙමෙන් අඩුවන අතර සිංහ රාශීයේ බලය කෙමෙන් වැඩි වේ.

ජුනි මාසයේ 26 සිට රවිගේ බලය අගෝස්තු 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර අගෝස්තු 21න් පසු සිංහ රාශියේ බලය අඩුවෙමින් කන්‍යාවේ බලය වැඩි වෙමින් ගමන් කරයි. අගෝස්තු මාසය ගිනි තිවංකයට අයිති වන අතර රවිගේ බලය ක්‍රියාත්මක වේ.

ප්‍රබල චරිත ලක්ෂණ සහිත ඉහළ බලාපොරොත්තුවලින් හෙබි ස්වකීය උත්සහයෙන් අධිෂ්ඨානශීලිව නැඟී සිටින පුළුල් හදවතක් සහිත පුද්ගලයන් අගෝස්තුවෙන් බිහි වේ. ඔවුන් ඉතාම ස්වාධීන පුද්ගලයන් වන අතර බාධක මැද ජයග්‍රහණය කරා තම අරමුණ මෙහෙයවයි. ඒ වගේම අනිත් අයගේ කැපවීම තමා වෙනුවෙන් ලබා ගැනීමට පුදුමාකාර හැකියාවක් මොවුන් සතුව ඇත. තවද මොවුන් නීතියට ගරු කරන නීතියක් වශයෙන්ම ඉවසිලිවන්ත වන අතර ජයග්‍රහණය වෙත පැමිණීමට දිර්ඝ කාලයක් බලා සිටි. කථාවේ ඇති අවංක හා සෘජු ස්වභාවය නිසා බොහෝ සතුරන් ඇති කර ගනී. එම නිසා අදහස් ප්‍රකාශ කිරීමේදි පරිස්සම් විය යුතුය. මේ අයගේ වැඩවලට වෙනත් පුද්ගලයින් ඇඟිලි ගැසීම් සිදුකරනවාට ඔවුන් කැමති නැත. තමාගේ අභිමතාර්ථ සාධනය උදෙසා අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කිරිම ඔවුන්ගේ ක්‍රමයයි. සියලු බාධක මැද තමාගේ අරමුණු ඔවුහු ජයග්‍රහණය කරති. අනිත් අයගේ කැපවීම තමා වෙනුවෙන් ලබා ගැනීමට පුදුමාකාර හැකියාවක් ඇත. ඔවුන් තුළින් උණුසුම ආදරය පෞද්ගලික ආකර්ෂණය සෑමවිටම දැක ගත හැකි නිසා නිරායාසයෙන්ම ජනප්‍රිය සාධකයක් වේ.

මේ මාසයේ උපන් පුද්ගලයින් මනුෂ්‍ය වර්ගයා පිළිබඳව අනවශ්‍ය විශ්වාසය තැබීම නිසා සිත් වේදනාවලට බඳුන්වීම දැකිය හැකිය. හොඳ සංවිධාන ශක්තියක් ඇති නමුත් වගකීම් ගනිමින් ඉදිරිපත් වීමේදි වුවමනාවට වඩා රාජකීය ස්වභාවයක් විද්‍යාමාන වීම වළක්වා ගත යුතුය. තමාගේ මට්ටමට වඩා ඉහළට එසවීම අවශ්‍ය නිසා සමාජයේ ඉහළ අය සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිති. තමාට ගැළපෙන රැකියාවක් තුළදි ඉතා ධෛර්යයෙන් යුතුව කටයුතු කර අවසාන අරමුණ කරා ළඟාවෙති. යම් කිසි කටයුත්තක් වැරදුණහොත් ඔවුන් දෝෂාරෝපණය කර ගන්නේ තමාටමය.

අගෝස්තුවේ පුද්ගලයන් ව්‍යාපාර කරන්නේ නම් විශාල පරිමාණයේ ව්‍යාපාර වන අතර එම ව්‍යාපාර සාමාන්‍ය ජනතාවගේ ගෞරවයට පාත්‍ර වේ. රත්‍රන්, පතල්, තඹ, පිළිබඳ කටයුතු දියමන්ති ආනයන, වෙළෙඳාම වැනි අංශවලින් මුදල් ඉපයීමේ හැකියාව ඇත. මොවුන් නිත්‍යානුකූල ව්‍යාපාරවලින් සාර්ථක වේ. නමුත් සුරාසූදුවෙන්ද සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකිය. එමෙන්ම තමාට වඩා වයසින් වැඩි පුද්ගලයන්ගෙන් ආර්ථික වාසි මේ මාසයේ පුද්ගලයෝ ලබා ගනිති. එසේම විශේෂයෙන්ම අගෝස්තු 01,10,19, උපන් අය නිරායාසයෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයට ප්‍රියවේ. මාසයේ 02,11,20 දින උපන් අය බුද්ධිය මෙහෙයවා රැකියාවක් කිරිම තුළින් හෝ කලාත්මක හැකියාවන් තුළින් මුදල් උපයනු ඇත. 03,12,21,උපන් අයවලුන් නීතිඥ වෘත්තිය, කර්මාන්තමය ව්‍යාපාරික කටයුතුවලින් ද 04,13,22 යන දින උපන් අය මුල්‍ය ආයතනවල කටයුතු ද 5,14,23,6,15,24 දින උපන් අයවලුන් සංගීතය සහ සාහිත්‍ය අතරින්ද මුදල් උපයනු ඇත.

අගොස්තු මාසයේ උපන් අය පහසුවෙන් සෞඛ්‍යමය ගැටලු ඇති නොවන අතර එහෙත් හෘද රෝග සෑදීමේ වැඩි ඉඩකඩක් පවති. මොවුන් අකැමැති පරිසරයක පදිංචි වී සිටිමට සිදුවීම රෝගාබාධයන්ට අත වැනීමක් වැනිය. එසේම නිතර කනස්සල්ලෙන් සිටීමට සිදුවීම ද අසනීපවලට මුල් වේ. අතරයිටිස්වලට භාජනය වීමටද වැඩි ඉඩකඩක් තිබේ. උණ රෝගයන්ද අගෝස්තු පුද්ගලයන්ට වැලඳිය හැකි අතර පිරිසුදු වාතය හිරු එළිය ඖෂධවලට වඩා ප්‍රතිකාරයන් වේ.

අගෝස්තු මාසයේ උපන් පුද්ගලයන්ට විවාහයට සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ගිනි තිවංකයට අයත් ජුලි 21 සිට අගොස්තු 21 දක්වා අයවලුන් සහ නොවැම්බර් 21 සිට දෙසැම්බර් 21 දක්වාද මාර්තු 19 සිට අප්‍රේල් 21 දක්වා උපන් අයද වේ. රෝහිත බෝගොල්ලාගම, රංජිත් මද්දුම බණ්ඩාර, හෙට්ටර් කොබ්බෑකඩුව, වි ජේ මු ලොකුබණ්ඩාර, නෙරන්ජන් විජේරත්න යන දේශපාලනඥායන් ද ක්ලැරන්ස් විජේවර්ධන, ගුණදාස කපුගේ වැනි කලාකරුවන් ද අගෝස්තු මාසයේ උපන් අයවේ.

ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය,ව්‍යාපාර,රැකියා, සෞඛ්‍ය,අධ්‍යාපනය ඉන් කිහිපයකි.එම නිසා ජීවිතයේ සාර්ථකත්වයට බලපාන එම සාධක නිවැරැදි මඟක හසුරුවා ගැනීම සිදු කළ යුතුය. එසේ ක්‍රියාකිරීමට නම් එම සාධක අපගේ ජීවිතයට බලපාන්නේ කෙසේදැයි පුර්ව අවබෝධයකට පැමිණිය යුතුය. ඒ සඳහා අප සැමට අංක විද්‍යාව මහඟු පිටිවහලක් වනු නිසැකය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.