ඔබට ගැළපෙන මැණික

අගෝස්තු 25, 2023

මිණිකැට කෙරෙහි මිනිසා ආකර්ෂණයට පත්වීම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නකි. නොයෙක් ඉපැරැණි සංස්කෘතීන් තුළ ආශ්චර්යවත් ලක්ෂණික හා ගුණයන් බොහෝ මැණික් ඇති බව විශ්වාස කෙරෙයි. ඈත අතීතයේ සිටම මැණික් සහ ඡ්‍යොතිෂ විද්‍යාව අතර නොබිඳිය හැකි සම්බන්ධතාවයක් දක්නට ඇත. අධම භූතාත්ම දුරු කිරීම, රෝග සුව කිරීම සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා මේවා උපයෝගී කරගෙන ඇත. මේ පෘථිවි තලයේ පිහිටි සියලුම රටවල ඡ්‍යොතිෂය හා සබැඳි මැණික් පිළිබඳ ගුප්තමය විශ්වාසය මහත් සේ කලක් තිස්සේම මුල් බැසගෙන ඇති බව පෙනෙයි. මෙම මැණික් පලඳනා, යන්ත්‍ර සහ වශීකරණ ලෙස භාවිත වෙයි. යාඥා හෝ ජප කිරීම් සහිත කැටයම් කළ මැණික් විවිධ ආගමික පිළිවෙත් සඳහා ද යොදාගෙන ඇති බව පෙනෙයි.

මින් සමහර මිණිකැට කෙතරම් වටින්නේ ද යත් ඒවා විනිමය මාධ්‍යයක් වශයෙන් විනිමය මතභේදවලට තුඩුදුන් හේතුන් ද විය.

බුදුන්වහන්සේ ජීවමානව සිටි කල චූලෝදර මහෝදර දෙසොයුරන් මැණික් පුටුවකට යුද වැදී සිටි අවස්ථාවක් ලංකාවේ කැලණිය විහාර වංශයේ සඳහන්ය. ලෝකය දෙස බැලීමේදී මැණික් ආකරයක අයිතිය මත යුද වැදී ඇති අවස්ථාද රජ පෙළපත් සිය අගනා මැණික් වස්තු සම්භාර නිසා බලය ලබාගත් අවස්ථාද වෙයි.

බොහෝ මැණික් වටිනා ඛනිජ වේ. පොළොවේ සැදෙන නියත රසායනික සංයුතියක් ඇති අකාබනිකව වටිනාකම රඳා පවතිනුයේ එහි වර්ණය (Colour), පිරිසුදු බව (clarity), විශේෂ ප්‍රකාශන ගුණ (Special phenomena ),

කැපුම (cut), කල්පැවැත්ම (Durability), පිළිගැනීම (Acceptability) ,විරල බව (Rarity) මතය.

ග්‍රහ වස්තුන් නවයක ගෝචර ගමන ඡ්‍යොතිෂයේ මූලික පදනම වී ඇත. එබැවින් මුළු ලෝකයේම චිර ප්‍රසිද්ධියට පත්වී ඇති මැණික් ගණන ද නවයකි. ඡ්‍යොතිෂයට මැණික් සම්බන්ධ කර තිබීමේ මූලික හේතුවද මෙය විය හැකිය.

ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව සෑම ග්‍රහයකුටම අදාළ සුවිශේෂ මැණිකක් සම්බන්ධ කර ඇත. ඒ ග්‍රහ වස්තුන්ගෙන් තම දිවිපෙවතට වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඒ අදාළ මැණික් ඒ ඒ කලට පැලඳිය යුතුය යන්න ඡ්‍යොතිෂ විශ්වාසයයි.

එමෙන්ම ග්‍රහයන් ගෙන් නරක අයහපත් බලපෑමෙන් මිදෙන්නට එක් එක් නිශ්චිත මැණික් විශේෂය තෝරාගෙන පැලඳිය යුතුය යන්න බලවත් විශ්වාසයක් සමාජය තුළ පැතිර පවතියි.

විශේෂයෙන් හින්දු චාරිත්‍රවලට අනුකූලව ඒ ඒ ග්‍රහයන්ගේ අනුග්‍රහය තමා වෙත ලබා ගැනීම සඳහා ග්‍රහ වස්තුන් නවය වන්දනාමාන කිරීමත් විවිධ ග්‍රහ පූජා කිරීමේදී ද විවිධ වර්ණ පුෂ්පයන් පූජා කිරීම වෙනුවට නවරත්න පූජා කිරීමද සිදු කරනු ඇත.

එක් එක් ග්‍රහයන්ට ඡ්‍යොතිෂ මූලාශ්‍ර අනුව වෙන්කර ඇති මැණික් මෙලෙස වර්ග කර දැක්විය හැකිය.

ග්‍රහයන්ට අයත් මැණික් වර්ග

 

රවි ( සූර්යයා) රතු කැටද චන්ද්‍රයා ( සඳු) – මුතු ද කුජ ( අඟහරු) කොරල් ද බුධ - මරකත මැණිකද ගුරු (බ්‍රහස්පති) පදියන් සිකුරු - දියමන්ති ශනි ( සෙනසුරු) නිල් මැණික්, රාහු – රබහ කේතු – කන්‍යා , කනක - වෛරෝඩි ද වෙති.

එක් එක් ග්‍රහ තාරකාවන්ට මැණික් සම්බන්ධ කර ඇත්තේ වර්ණය අනුවය. එබැවින් අපි ඒ ඒ ග්‍රහයන්ට අදාළ වර්ණයන් හඳුනා ගනිමු.

රවි (සූර්යයා) – රතු

චන්ද්‍ර (සඳු) – සුදු, මුත

කුජ (අඟහරු) – රතු,

ශනි (සෙනසුරු) – කළු,

කේතු – රතු ,

බුද – කොළ,

ගුරු (බ්‍රහස්පති) – කහ,

ශුක්‍ර – (සිකුරු) සුදු,

රාහු – කලු

 

ලග්නයට අදාළ ශුභ මැණික් හඳුනා ගනිමු

 

මේෂ ලග්නයට – රතු කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නයට – රතු කොරල්, රතු මැණික්

මිථුන ලග්නයට – පච්ච

කටක ලග්නයට – මුතු

සිංහ ලග්නයට – පත්මරාග

කන්‍යා ලග්නයට – පච්ච, ගෝමේද

තුලා ලග්නයට – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නයට – රතු මැණික්, රතු කොරල්

ධනු ලග්නයට – පුෂ්පරාග

මකර ලග්නයට – නිල් මැණික්

කුම්භ ලග්නයට – කාක නිල

මීන ලග්නයට – පුෂ්පරාග, වෛරෝඩි

 

අපි එක් එක් ග්‍රහ අපලවලට පලඳින මැණික් විශේෂයන්ද හඳුනා ගනිමු.

 

රවිගේ අපලවලට – පද්මරාග,රතුකැට

සඳුගේ අපලවලට – මුතු

කුජගේ අපලවලට – කොරල්, රතු මැණික්

බුධගේ අපලවලට – පච්ච, මරකත

ගුරුගේ අපලවලට – පුෂ්පරාග, පදියන්

සිකුරුගේ අපලවලට – දියමන්ති, සුදු මැණික්

ශනිගේ අපලවලට – කාක නිල නිල් මැණික්

රාහුගේ අපලවලට – ගෝමේද, රබහ

කේතුගේ අපලවලට - කනක, වෛරෝඩි

 

ජන්ම දිනයට සුදුසු මැණික් පිළිබඳ පෙර, අපරදිග මෙන්ම බටහිරට විශේෂ වූ භාවිත වන ක්‍රම කිහිපයක්ද ඇත. පෙර අපරදිග රටවල් අතර මේ පලඳින මැණික් අතර යම් වෙනස්කම් කිහිපයක්ම දක්නට ලැබේ.

අංක විද්‍යාවට අනුකූලව ඒ ඒ වාසනා අංකයන්ට නැතහොත් ඒකකයකට මැණිකක් සම්බන්ධ කර ඇත.

කිසියම් පුද්ගලයකු ඔහු හෝ ඇය තමාට නියමිත හිමි අංකයට සම්බන්ධ මැණික පලදින්නේ නම් එයින් ජීවිතයේ යහපැවැත්මට හේතු වන බවට විශ්වාස කෙරෙයි. ඒ අනුව අංක 9ක් ලැයිස්තුගත කර ඇත.

1.රතු

2.මුතු

3.පදියන්

4.රබහ

5.මරකත

6. දියමන්ති

7. කනක වෛරෝඩි

8.නිල්

9.කොරල්

කිසියම් පුද්ගලයකුගේ උපන් මාසයට සැබැඳි ශුභ සහ වාසනා ගුණයට, ශෝභමාන භාවයට හෝ කිසියම් වැඩදායක බල පැවැත්මේ සංකේතයක් ලෙස ජනපි‍්‍රයව පලඳිනු ලබන ඉතා අගනා හෝ අර්ධව අගනා මැණික් විශේෂයන් වෙයි.

ඒ එක් එක් මාසයට යෝග්‍ය මැණික පැලඳවීම එම පුද්ගලයාගේ සෞභාග්‍යයට එය හේතු වේ යැයි, මුල් අවධියේදී සලකන ලදී.

එහෙත් කෙනෙකුගේ උපන් මාසයට අදාළ මැණික පැලඳීමේ සිරිත 18 වැනි සියවස වන විට ඉතා ජනපි‍්‍රයව පැවතුණු බව පෙනෙයි.

මෙම මැණික් අදාළ කරගත් පුරාණ වෘත්තාන්ත සහ කලක් තිස්සේ පැවැති විශ්වාසයන් ද ගොනු වී ඇත. අඹතේස්ත පෙබරවාරි මාසයට අදාළ මැණික පුරතාන බැකස් දෙවිඳුන් හා සබැඳේ. දේව විශ්වාසයන් මැණික්වලට ආරෝපණය වී ඇති බව මින් පෙනෙයි.

එමෙන්ම මුතු සහ නිල් සැෆාය (ර්) යන වර්ග දෙක ඖෂධ ගුණයෙන් අනූන යයිද එමෙන්ම විෂ නසන බෙහෙතක් ලෙස ද කලක් සලකන ලදී.

පෙරිඩොට් සහ දියමන්ති පාපී බලපෑම්වලින් මිනිසා ආරක්ෂා කරතැයි කියයි. රතු කැට පැළ නිවීමට හෝ සැඟවීමට නොහැකි සුවිශේෂ වූ අග්නි දහරාවක් අන්තර්ගතව පවතින බවටද විශ්වාසයක් පැවතිණි.

රතුකැට තුළ ඇති උණුසුම් රතු දීප්තිය එයට ඉවහල් වී ඇති බව පෙනෙයි. නූතනයේද මේ ජන්ම මාණික්‍ය පලඳින්නා හට ගුප්ත බලයක් ඇති බවත්, එමඟින් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බවත් කියැවෙයි.

 

උපන් මාසයට අනුව සුදුසු මාණික්‍යත් ඒවායේ සංකේත අර්ථයත් මෙලෙස දැක්විය හැකිය

 

ජනවාරි මාසය – රබහ (Garnet) – අවපලභාවය සඳහා යොදාගනී.

පෙබරවාරි මාසය – අමතේස්ත (Amethyst)) – නිර්ව්‍යාජත්වය සඳහා

මාර්තු මාසය – බ්ලස්ටොන් දියතාරිප්පු (Blood stone or Aquamarine) – ධෛර්ය වැඩීම සඳහා

අපේ‍්‍රල් මාසය – දියමන්ති (Diamond) නිර්දෝෂභාවය සඳහා

මැයි මාසය – මරකත – (Emerald) ආදරයේ සඵලතාව සඳහා

ජුනි මාසය – මුතු /චන්ද්‍රකාන්ත හෝ පසිංගල් (Pearl, Moon stone or Alexandrite) සෞඛ්‍ය හා දීර්ඝායුෂ සඳහා

ජූලි මාසය – රතුකැට (Ruby) – ආත්ම තෘප්තිය සඳහා

අගෝස්තු මාසය – සාඩොනික්ස් හෝ පෙරිඩොට් (Sardonyx or Peridot) පාරදෘශ්‍ය වෙරළු කොළ /කහකොළ මැණික් විශේෂයකි - විවාහ සතුට හෝ මිත්‍රත්වය සඳහා

සැප්තැම්බර් මාසය – නිල්කැට (Blue Sapphire)– පැහැදිලිව සිතීම සඳහා

ඔක්තෝබර් මාසය – ඕපල් හෝ තෝරමල්ලි (Opal or Tourmaline) - අපේක්ෂාව / බලාපොරොත්තු සඳහා

නොවැම්බර් මාසය – පඩියන් (Topaz) විශ්වසනීයත්වය සඳහා

දෙසැම්බර් මාසය – නීලමිණි, ජාශුන් හෝ ලාපිස් ලසුලි (Turquoise, Eircon or Lapis Laquli) සෞභාග්‍යය සඳහා

 

රාශි චක්‍රය අනුව වසර පුරා ඒ ඒ දිනයන්වල භාවිත කළ යුතු මැණික් ගල් විශේෂයන්ද හඳුන්වා දී ඇත.

 

කුම්භ – ජනවාරි 21 සිට පෙබරවාරි 19 දක්වා – ඔනික්ස් (onyx)

මීන – පෙබරවාරි 20 සිට මාර්තු 20 දක්වා – ජැස්පාර් (Jasper)

මේෂ – මාර්තු 21 සිට අපේ‍්‍රල් 20 දක්වා – කානේලියන් (Carnelion)

වෘෂභ – අපේ‍්‍රල් 21 සිට මැයි 21 දක්වා පදියන් (Topaz)

මිථුන – මැයි 22 සිට ජූලි 21 දක්වා මරකත (Emerald)

කටක – ජුනි 22 සිට ජූලි 23 දක්වා – රතු මැණික් (Red sapprie)

සිංහ – ජූලි 24 සිට අගෝස්තු 23 දක්වා – නිල් මැණික් (Blue sapprie)

කන්‍යා – අගෝස්තු 24 සිට සැප්තැම්බර් 23 දක්වා – දියමන්ති (Diamond)

තුලා – සැප්තැම්බර් 24 සිට ඔක්තෝම්බර් 23 දක්වා – ජාගූන් (Jargoon)

වෘශ්චික - ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 22 දක්වා අගස්ති (Agate)

ධනු – නොවැම්බර් 23 සිට දෙසැම්බර් 22 දක්වා – අමතේස්ත (Amethyst)

මකර – දෙසැම්බර් 23 සිට ජනවාරි 20 දක්වා – පෙරිඩොට් (Peridot)

 

නවරත්න මුදු පැලඳීම

 

පුරාතනයේ සිටම නවරත්න මුදුව ගැන පොත් පත්වල සඳහන් වෙයි. මැණික් වර්ග නවයකින් යුතු මුද්දක් පැලඳීමෙන් එය පලඳින්නාට වාසනාව සම ඉසුරු සම්පත් උදාවෙතැයි මුල් බැසගත් විශ්වාසයක් පවතියි. එම මුදුව රන් හෝ රිදී වුවද එබ්බ විය යුතු අනුපිළිවෙළ පිළිබඳව විස්තර වෙයි. මෙහිදී එක පෙලකට මැණික් තුනක් එබ්බවිය යුතුය. මේ අනුව මුළු මැණික් නවයම පේළි තුනකට එබ්බවිය යුතුය. එහි අනුපිළිවෙළ ඉතා වැදගත්ය.

පළමු පේළිය, මරකත, දියමන්ති, මුතු

දෙවන පේළිය පදියන්, රතු, කොරල්

තුන්වන පේළිය – වෛරෝඩි, නිල්, රබහ

 

මෙම අනුපිළිවෙළ සකසා ඇත්තේ නවග්‍රහයන්ගේ අනුපිළිවෙළ අනුව වෙයි.

 

රවි (සූර්යයා) මධ්‍යයේය.

සිකුරු නැඟෙනහිරය.

චන්ද්‍රයා ගිණිකොනය.

කුජ (අඟහරු) දකුණේය.

රාහු නිරිතේය.

ශනි ( සෙනසුරු) බටහිරය)

කේතු වයඹය.

ගුරු (බ්‍රහස්පති) උතුෙර්ය.

බුධ ඊශාන දිග පැත්තට වන්නටය.

 

මේ අනුපිළිවෙළ මැණික් දෙස බැලුවහොත් රතු මැණික මධ්‍යයේය. කොරල් දකුණු පැත්තටය. රබහ කොරල්වලට පහළිනි. වෛරෝඩියට ඉහළිනි.

මරකත ඊටත් ඉහළිනි. ඊට කෙළින් දියමන්ති සහ මුතුකැටය පිහිටා ඇත.

මුදුව පලඳින විට මරකත, දියමන්ති, මුතු එබ්බවූ පේළිය, ඉහළින්ම විය යුතුය.

මේ නවරත්න මුද්ද පැලඳ ගැනීමෙන් නවග්‍රහයන්ගේ අපල දුරු වෙතැයි තදබල විශ්වාසයක් අතීත කාල වකවානුවේ සිටම පැවත එයි.

මෙලෙස බැලීමේදී අපට පෙනී යන්නේ මිනිසා මේ ආකෂණීය මිණිකැට කෙරෙහි කෙතරම් දුරට වශීකෘතව තම ජීවිතය දිනීම සඳහා මේවා උපයෝගී කර ගැනීමට පෙළෙඹ සිටි බවයි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.