ධන ලාභ ලැබෙන්නෙ ලොතරැයියකින්ද?

අගෝස්තු 25, 2023

“මට ටිකට් එකක් ඇදෙයිද” යයි යම් අයකු විමසීමක් කළහොත් ඉන් බලාපොරොත්තු වන්නේ ලොතරැයියක් මඟින් හෙවත් ආයාසයකින් තොරව විශාල මුදලක් ලබා ගැනීමේ අපේක්‍ෂාවකි. ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රාණුකූලව ආයාසයකින් තොරව ලැබෙන මුදල් මෙන්ම වාසනාවට හමුවන දේවල් පෙන්වන්නේ ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 8 වැනි භාවය මඟින්ය. අනුමානයෙන් යුතුව උත්සාහ කළවිට යම් දෙයක් ලැබෙයි ද නැතහොත් නොලැබෙයි ද යන බව පෙන්වන්නේ 5 වැනි භාවය මඟිනි. ලිපි හෝ ඔප්පු යනාදිය 3 වැනි භාවය මඟින් පෙන්වයි. මේ ප්‍රශ්නය යොමු කළ අය, ඒ සඳහා උපයෝගී කර ගැනීමට අංක 74 ඉදිරිපත් කර ඇත. මෙම අංකයට අදාල ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රාශි චක්‍රයේ බෙදීම අනුව යෙදෙන ස්ථානය, ලග්න ස්ඵූටයේ ආරම්භය ලෙස සලකා, ප්‍රශ්නය විසඳීම කළ ස්ථානයේ පිහිටීම සහ එම අවස්ථාවේ ග්‍රහ පිහිටීම් යොදා තත්කාල කේන්‍ද්‍රය සකස්කර ඇත. මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා 1 වැනි භාවය හිමිව 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයා සිකුරුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. සිකුරු 4 සහ 11 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයා 3 සහ 12 වැනි භාව අධිපතිව 2 වැනි භාවයේ තැන්පත්ව සිටින බුධ සමඟ සංයෝගවී සිටියි. සඳු ග්‍රහයා 6 සහ 9 වැනි භාව අධිපතිව 10 වැනි භාවයේ තැන්පත්ව සිටින ගුරු වෙත ත්‍රිකෝණ දෘෂ්ඨි ඇති කරයි. ඒ අනුව මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා, ප්‍රශ්න කරුගේ සිතෙහි පැවති, ලොතරැයි පතක් මිලදී ගැනීමේ අදහස පිළිබිඹු කරයි.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 8 වැනි භාවය, ශනි හිමි කුම්භ රාශියේ, රාහු හිමි නක්‍ෂත්‍රයේ සහ බුධ හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානයේ අධිපති බුධ ග්‍රහයා. 3 සහ 12 වැනි භාව අධිපතිව 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මේ බුධ ග්‍රහයා, 4 සහ 11 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටින සිකුරු හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. තවද, මේ බුධ ග්‍රහයා, 5 සහ 10 වැනි භාව අධිපතිව 2 වැනි භාවයේ තැන්පත්ව සිටින කුජ සමඟ සංයෝගව සිටියි.

මෙසේ 8 වැනි භාවයේ උපස්ථානයේ අධිපති බුධ ග්‍රහයා. 3 වැනි, 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකුවන හෙයින් ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන බව තහවුරු කළ හැකිය.

ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටුවන්නේ මේ භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විටයි.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 3 වැනි භාවය, අධිපති ග්‍රහයා බුධය. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සිකුරු තැන්පත්ව සිටියි. 3 වැනි භාවයේ කේතු තැන්පත්ව සිටියි. කේතුගේ නක්‍ෂත්‍රවල රවි සහ රාහු තැන්පත්ව සිටියි. 5 වැනි භාවය අධිපති ග්‍රහයා කුජය. කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කේතු තැන්පත්ව සිටියි. 5 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

11 වැනි භාවය, අධිපති ග්‍රහයා සිකුරු විය. සිකුරුගේ නක්‍ෂත්‍රවල සඳු, බුධ සහ ගුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. 11 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ 3 වැනි. 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, සිකුරු, කේතු, රවි, රාහු, කුජ, සඳු සහ ගුරු වෙති.

නිවේදක ග්‍රහයන් බොහෝ දෙනකු සිටින අවස්ථාවලදී, ඔවුන්ගෙන් වඩාත් පලදායී ග්‍රහයන් තෝරාගැනීම සඳහා පාලක ග්‍රහයන් උපයෝගී කරගන්න. ප්‍රශ්න අවස්ථාවේ පාලක ග්‍රහයන් වූයේ සිකුරු, රවි සහ ගුරු වෙති.

මේ ග්‍රහයන් අතරෙන් පොදු ග්‍රහයන්, වඩාත් පලදායී නිවේදක ග්‍රහයන් වෙති. මේ තත්කාල කේන්‍ද්‍රයේ, ක්‍රිස්තු වර්ෂ 2012 පෙබරවාරි මාසයේ 21 වැනි දින සිට 2032 පෙබරවාරි මාසයේ 21 වැනි දින දක්වා සිකුරුගේ මහ දශාව පවතියි. ක්‍රිස්තු වර්ෂ 2022 අප්‍රේල් මාසයේ 22 වැනි දින සිට 2024 දෙසැම්බර් මාසයේ 21 වැනි දින දක්වා සිකුරුගේ මහ දශාවේ, ගුරුගේ භුක්තිය පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2024 ජනවාරි මාසයේ 24 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 12 වැනි දින දක්වා සිකුරුගේ මහ දශාවේ, ගුරුගේ භුක්තිය සහ රවිගේ අන්තරය පවතියි. මෙම කාල සීමාව තුළ ප්‍රශ්න කරුගේ බලාපොරොත්තුව ඉටුවෙයි.

 

 

ඡ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.